Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here ප්‍රශ්න 10ක් අපෙන් දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා මහතාට

දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා මහතාට

  • පී.ඩී.එෆ් (PDF)
shan_wijelala_de_silva

1. දකුණු පළාත් සභාවේ වත්මන් කාර්යයන් මොනවාද?

මහින්ද චින්තනය අනුගමනය කරමින් දකුණු පළාත් සංවර්ධනයට විශාල කාර්යභාරයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උපදෙස් මත සිදු වෙනවා. දකුණු පළාත් සභාවට ඒ වෙනුවෙන් පැවරෙන වගකීම් නිසියාකාර ව ඉටුකරමින් පවතිනවා.

2. දකුණු පළාතේ මේ වනවිට සිදුවන මහා පරිමාණ සංවර්ධන කටයුතු ?

ප්‍රධාන ම ව්‍යාපෘති කිහිපයක් තිබෙනවා. පළමුවෙන් ම දක්ෂිණ අධිවේගී මාර්ගය. මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපොළ. ඒ වගේ ම හම්බන්තොට අන්තර්ජාතික වරාය. අන්තර්ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය වැනි සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු ලහිලහියේ සිදුවෙනවා.

3. මේ ව්‍යාපෘතිවලට දකුණු පළාත් සභාවේ දායකත්වයක් තිබෙනවා ද?

අපි එක ම දම්වැළක පුරුක් වගේ. මේ සංවර්ධන කටයුතුවලදී මධ්‍යම රජයෙන් ඉටුකරන සංවර්ධන කටයුතුවලදී පළාත් සභාවෙන් ඉටුකළ යුතු කාර්යභාරයක් තිබෙනවා. අපි ඒවා සියල්ල ඉටුකරනවා.

4. දකුණු පළාතේ ජනතාව මේ වනවිට මුහුණපාන ප්‍රධාන ගැටලු මොනවාද?

අපේ ජනතාව මුහුණපා තිබෙන ප්‍රධාන ගැටළු දෙකක් තිබෙනවා. එකක් දුප්පත්කම. දෙවැන්න විරැකියාව.

මේ ගැටලුවලට කිසියම් ප්‍රමාණයක විසඳුම් පසුගිය කාලයේ ලබාදිය හැකි වුණා. ජනතාවගේ ආර්ථිකය නැංවීම සඳහා ස්වයංරැකියා වර්ධනය කිරීමේ වැඩසටහනක් දක්ෂිණ සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කරනවා.

5. ඒ යටතේ හඳුන්වා දෙන ස්වයං රැකියාවන් මොනවාද?

ඒ ඒ ප්‍රදේශවල තිබෙන සම්පත් උපයෝගී කරගෙන මේ ස්වයංරැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය, පාවහන් නිෂ්පාදනය, විද්‍යානුකූලව පැණි, හකුරු නිෂ්පාදනය, නවීන උපකරණ මඟින් තේ දළු නෙළීම, කුරුඳු තැලීමේ පුහුණුව හා උපකරණ ලබාදීම, වඩු සහ මේසන් කර්මාන්ත සඳහා නවීන තාක්ෂණය ලබාදීම වැනි ස්වයංරැකියාවලට රැකියා වියුක්තිකයන් යොමු කරනවා.

6. මේ සඳහා සහය වෙන රාජ්‍ය ආයතන තිබෙනවාද?

ඔව්. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, වෘත්තීය පුහුණු අධිකාරිය වැනි ආයතන මනා සහයෝගයක් අපට ලබා දෙනවා.


7. සංචාරක කර්මාන්තය දකුණු පළාතේ ආර්ථිකයට වැදගත් වෙනවා නේද?

ඒ සඳහා අපි නව දැක්මකින් කටයුතු කරනවා. මීට පෙර සියලු සංචාරක කටයුතු කේන්ද්‍ර වී තිබුණේ වෙරළාශ්‍රිතවයි. අපි විදෙස් සංචාරකයන් පමණක් නො ව දේශීය සංචාරකයන් ගැනත් වැඩි අවධානයක් යොමුකරමින් කටයුතු ආරම්භ කර තිබෙනවා. දකුණු පළාතේ රට මැද තිබෙන සංචාරක ආකර්ශනය දිනා ගන්නා ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කරමින් එම ස්ථානවලට සංචාරකයින් ඇදගැනීමට කටයුතු කෙරෙනවා.

8. එවැනි ස්ථාන ලෙස හඳුන්වන්නේ මොනවාද?

මදුනාගල උණුදිය උල්පත් ගැන නොදන්නා අය තව ම ඉන්නවා. එතැන අපි යටිතල පහසුකම් සංවර්ධනය කර තිබෙනවා. ඒ වගේ ම නෙළුව දූවිලි ඇල්ල, හුම්මානය සහ ඓතිහාසික වශයෙන් වැදගත් වන පූජනීය ස්ථාන රැසක් ම සංවර්ධනය කිරීම සංචාරක කර්මාන්තයේ දී අපට වැදගත්. කොග්ගල සහ වැලිගම වෙරළ උද්‍යාන සංවර්ධන කළේ පළාත් සභාවෙන්.

ලංකාවට සංචාරකයන් එනවා. ඒ වගේ ම දකුණු පළාත නිසා සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම අපේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් දකුණු පළාත් සභාව කටයුතු කරනවා.

9. දකුණේ පාසල්වල අඩුපාඩුකම් ගැන පාර්ලිමේන්තුවේ නිතර ප්‍රශ්න කරනවා. මේ පාසල් පළාත් සභාවට අයත් පාසල් නේද?

පාසල් සංවර්ධනය අප අතපසු කරන්නේ නෑ. ළමයි නැති වුණා ම පාසල් වැහෙනවා. ඒ වගේ ම ප්‍රවාහන පද්ධති, ගමනාගමන පහසුකම් සංවර්ධනය වීමත් සමඟ ගමයි නගරයයි එදාට වඩා අද ළං වෙලා. ඉතිං ගමේ ළමයි බහුතරයක් නගරයේ පාසල් කරා ඇදෙමින් තිබෙනවා.

පළමුවෙන් ම දෙමව්පියන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. මගේ දරුවා ජනප්‍රිය පාසලකට ම පමණක් ඇතුළු කළ යුතුයි යන්න හැම කෙනෙකුගෙම ආකල්පය. නමුත් ජනාධිපතිතුමාගේ නව සංකල්පය අනුව පාසල් 1000ක් රටේ සියලු පහසුකම් සහිත පාසල් බවට පත්වෙනවා. මේ පාසල් පළාත් සභාවලට අයත් පාසල්. මේ මඟින් ජනප්‍රිය පාසල් ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි වේවි.

10. පළාත් මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ තත්ත්වය ගැන ඔබ පවසන්නේ කුමක් ද?

පළාත් සභාවේ මාර්ග සංවර්ධනයට රජය ඍජු ව ම දායක වූ වසරක් ලෙස මේ වසර හැඳින්විය හැකි යි. දක්ෂිණ අධිවේගී මාර්ගය ගාල්ල දක්වා මේ වසරේ විවෘත වෙනවා. අතිගරු ජනාධිපතිතුමා පළාත් මාර්ග සංවර්ධනයට අය-වැයෙන් වෙන්කළ විශාල මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් පළාත් සභාවලට ලබා දෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් පළාත් මාර්ග කිලෝමීටර් 310ක් කාපට් අතුරනවා. ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතිහාසයේ මේ තාක් දකුණු පළාත් සභාවට වෙන් නොකළ තරම් මුදලක් වෙන් කර තිබෙනවා. රුපියල් ලක්ෂ 3100ක් ඒ වෙනුවෙන් වැය කරනවා.

Hc