Saturday, May 27th

Last update04:58:08 PM GMT

You are here ප්‍රශ්න 10ක් අපෙන් අසාධාරණයට එරෙහි ව මහජන පෙත්සම් කාරක සභාව

අසාධාරණයට එරෙහි ව මහජන පෙත්සම් කාරක සභාව

  • පී.ඩී.එෆ් (PDF)
mp_janaka_bandara

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන කාරක සභා අතරින් මහජන පෙත්සම් කාරක සභාව ඉතා ම වැදගත් කාරක සභාවක් වන්නේ එය පොදු මහජනතාවගේ නොවිසඳුණු ගැටලුවලට පිළියම් ලබාදිය හැකි ඉහළ ම ආයතනයක් වන නිසා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 128 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාර ව ස්ථාපිත මහජන පෙත්සම් කාරක සභාව ස්ථාවර නියෝග 25අ යටතේ එයට යොමු කරන මහජන පෙත්සම් සලකා බැලීම සිය කාර්යභාරය කර ගනී.

1981 අංක 17 දරන පනත මඟින් පරිපාලන කටයුතු පිළිබඳ ව පාර්ලිමේන්තු මහ කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) ධුරය ඇති කරන ලද අතර 1981 නොවැම්බර් 03 වැනි දින පාර්ලිමේන්තුවේ එතෙක් පැවති ස්ථාවර  නියෝගවලට එකතුකරන ලද සංශෝධනයක් මඟින් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබූ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් සමන්විත වන පරිදි හා ගණපූරණය 03 දෙනෙකු වන පරිදි මහජන පෙත්සම් කාරක සභාවක් පිහිටුවිය යුතු බවට විධිවිධාන යොදා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභා කාර්යාලයේ අනු කාරක සභාවක් ලෙස මහජන පෙත්සම් කාරක සභාව කටයුතු ආරම්භ කර ඇත.

එම කාරක සභාවේ සභාපතිවරුන් ලෙස අල්හාජ් අබ්දුල් බාකීර් මාකාර් (1983-88), ස්ටැන්ලි තිලකරත්න (1989-90), චන්ද්‍රා රණතුංග (1991-94), මහින්ද විජේසේකර (1995-99), චමල් රාජපක්ෂ (2000-2001), ලක්ෂ්මන් යාපා අබේවර්ධන (2002-03), ඩිව් ගුණසේකර (2004-05), මහින්ද යාපා අබේවර්ධන (2006-10) මහජන නියෝජිතවරුන් කටයුතු කර තිබේ.

2004 සිට 2010 දක්වා මහජන පෙත්සම් කාරක සභාවට යොමු කර ඇති පෙත්සම් ගණන 3587කි. කාරක සභාව සලකා බලා ඇති ගණන 1356ක් වන අතර ඉන් 1186ක වැඩ අවසන් කර තිබේ.

මහජන පෙත්සම් කාරක සභාවේ වත්මන් සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතායි. ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා නීතිඥවරයෙකු ලෙසත් පසු ව කොළඹ, පැල්මඬුල්ල, රක්වාන, වැල්ලවාය, බිබිල යන අධිකරණයන්හි මහේස්ත්‍රාත්වරයෙකු හා අතිරේක දිසා විනිසුරුවරයෙකු ලෙසත් සේවය කර තිබේ. ජනාධිපතිවරයාගේ ආගමික කටයුතු උපදේශකවරයෙක් ලෙස ද මහාභාරකරු ලෙස ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස ද සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළ බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස ජනාධිපතිතුමා විසින් පත් කරන ලදී.

මහජන පෙත්සම් කාරක සභාවේ වත්මන් සභාපති ජානක ප්‍රියන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට අපේ ප්‍රශ්න යොමුවන්නේ ඒ පිළිබඳ අවබෝධයක් පොදු මහජනතාවට ලබාදීමටයි.  

01. මහජන පෙත්සම් කාරක සභාවක් අවශ්‍ය වුණේ ඇයි?

ඇත්තට ම රාජ්‍ය නිලධාරින්ගෙන් අසාධාරණයට අවනීතියට අයුක්තියට ලක්වන ජනතාවට ඔවුන්ගේ දුක් ගැනවිලි උත්තරීතර පාර්ලිමේන්තුවට. ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කරලා එමඟින් සහනයක් ලබාගැනීම සඳහා යම් ඉඩක් තිබිය යුතුය යන ආකල්පයයි මෙහි පදනම වන්නේ.

තමන්ට අසාධාරණයක් වුණා ම ජනතාව අධිකරණයට, කම්කරු විනිශ්චය සභාවලට යනවා. නමුත් ඒ සියල්ලට ම ගොස් අවසාන වශයෙන් පාර්ලිමේන්තුවට නැතිනම් නීති හදන තැනට, ව්‍යවස්ථාදායකයට යොමු කිරීමට මේ මඟින් හැකිවෙනවා. උසාවියකට ගියා ම එතැන කාලසීමා ප්‍රශ්නයක් තිබෙනවා. ඒවා තර්ක විතර්ක මැද බොහොම තාක්ෂණික විදියටයි නිර්වචනය වන්නේ. නමුත් පාර්ලිමේන්තුවට ආවා ම අපි ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුව බැලුබැල්මට අසාධාරණයක් සිදු වී තිබෙනවාද? මේ පුද්ගලයාට යම්කිසි සහනයක් සලසා දිය යුතුද? යනුවෙන් මානුෂික ව, සාධාරණ ව මෙහිදී සලකා බලනවා. රාජ්‍ය නිලධාරින් සහ පෙත්සම්කරුවන් අතර යම්කිසි එකඟතාවක් ඇතිකරලා ලබාදිය හැකි සහන ලබාදීමයි අප සිදු කරන්නේ.


02. රජයේ සේවකයන් හැර පොදු මහජනතාවටත් සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාවට සිය පෙත්සම් ඉදිරිපත් කළ හැකි ද? අධිකරණයෙන් හෝ පොලිසිය මඟින් හෝ සමථ මණ්ඩල මඟින් හෝ විසඳාගත නොහැකි වූ ප්‍රශ්න ද මේ මහජන පෙත්සම් කාරක සභාවට යොමුවන්නේ?

ඔව්. රාජ්‍ය නිලධාරියෙක් ගෙන් අසාධාරණයට ලක් වුණු කෙනෙකුටත් පෙත්සම් ඉදිරිපත් කළ හැකියි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් නො වේ පෙත්සම් ඉදිරිපත්කළ හැක්කේ.

එම ආයතනවල තිබෙන ප්‍රශ්න ගැන පවා අපට පෙත්සම් ලැබෙනවා. නමුත් අපි ප්‍රතිපත්තියක් හැටියට අධිකරණයේ නඩු කටයුත්තක් විභාග වෙමින් තිබෙනවා නම් ඒ තීන්දුව දෙනතුරු එය පෙත්සම් කාරක සභාවේ විභාගයට ගැනීමක් සිදු වන්නේ නැහැ.

අධිකරණයේ හරි ඔම්බුඩ්ස්මන්වරයා ළඟ හරි කම්කරු විනිශ්චය සභාවේ හරි මානව හිමිකම් කොමිසම් සභාවේ හරි විනිශ්චයට භාජනය වී ඇති කරුණු අවසන් විනිශ්චයක් දෙනතුරු අපි විභාගයට ගන්නේ නැහැ. නමුත් ඒ ආයතනවලින් දෙන තීන්දුවෙන් අතෘප්තියට පත් කෙනෙක්ට පෙත්සම් කාරක සභාවට ඒමට බාධාවක් ඇත්තේ නැහැ. එතැනදී අපි කරන්නේ අධිකරණ තීන්දුව අභියෝගයට ලක්කිරීමක් හෝ එය නිර්වචනය කිරීමක් හෝ නොවෙයි. ඒ නඩු කටයුත්ත අවසන් නිසා අධිකරණයේ දී යම්කිසි තාක්ෂණික හේතුවක් නිසා ඒ නඩු කටයුත්ත ප්‍රතික්ෂේප වී තිබෙන්නට පුළුවන්. මානව හිමිකම් නඩුවක් දින 30ක් ඇතුළත නොදැම්මොත් ප්‍රතික්ෂේප වෙනවා. එවැනි අවස්ථාවල අප සාකච්ඡා කරලා, නිලධාරීන් සමඟ එකඟතාවක් ඇති කරලා සහනයක් ලබා දීමයි බලාපොරොත්තු වන්නේ.


03. මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ මන්ත්‍රීවරයෙක් හරහා පමණද? පෙත්සමක් සකස් කර ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකියාවක් ඇත්තේ නැහැ. මෙතනදී ඔවුන් පෙත්සමක් සකස් කරගන්නේ කොහොමද? 

ඔව්. මහජන නියෝජිතයෙක් හරහා පමණයි මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකිවන්නේ.

අසාධාරණයක් වුණා ම උසාවියට යන්න ඕන කියන එක දන්නවා. කම්කරු  විනිශ්චය සභාවට යාහැකි බව දන්නවා. නමුත් මහජන පෙත්සම් කාරක සභාව කියන ආයතනය ගැන පොදු මහජනතාවගේ දැනුවත්භාවය බොහොම අඩු මට්ටමක තිබෙන්නේ.

මහජන නියෝජිතයන් හරහා යම් ප්‍රමාණයක දැනුවත්භාවයක් මේ වනවිට තිබෙනවා. එතැනදි අපි මහජන නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා, පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කරන්නේ කෙසේ ද? කියා. අපි දැන් තීරණයක් ගෙන තිබෙනවා යම්කිසි පොදු ආකෘතියක් මහජන නියෝජිතවරුන්ට ලබාදීමට.

පෙත්සම්වල තිබිය යුතු කරුණු මොනවාද? ආමන්ත්‍රණය කළ යුත්තේ කාට ද වැනි පෙත්සමේ අන්තර්ගතය සහ ඒ ආකෘතිය ගැන පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලි ව ම දක්වනවා. ඒ ගැන මහජන නියෝජිතයන් දැනුවත්. අපි දන්නවා ගමේ ගොඩේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ මන්ත්‍රීතුමාට. මන්ත්‍රීතුමා කියන්නේ නීති සම්පාදනය කරන ආයතනයේ නියෝජිතයා. මන්ත්‍රීතුමා දන්නවා පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාවක් තිබෙන බව. උසාවියෙන්, කම්කරු විනිශ්චය සභාවෙන් මානව හිමිකම් කොමිසම් සභාවෙන් සහනයක් ලැබුණේ නැත්නම් අපි මහජන පෙත්සම් කාරක සභාවට යවමු නේද ? යන යෝජනාව මන්ත්‍රීතුමා හරහාමයි එන්නේ. ඒ අනුවයි අපේ ආකෘතියට අනුව පෙත්සමක් හදලා ඉදිරිපත් කරන්නේ.


04. තමන්ට කිසියම් දේශපාලනයක් තිබුණත් දේශපාලඥයින් සමඟ ඍජු සබඳතා නොපවත්වන අය ගම්වල ඉන්නවා. එවැනි කෙනෙකුට මන්ත්‍රීවරයා සමග සම්බන්ධ නො වී මහජන පෙත්සම් කාරක සභාවට ලිඛිත ව හෝ තම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැද්ද?

එහෙම ප්‍රතිපාදනයක් නැහැ. මන්ත්‍රීවරයෙක් හරහා පමණයි ව්‍යවස්ථාදායකයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකි වන්නේ.

05. මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් පෙත්සමක් යොමු කළ විට එය විසඳීමේ ක්‍රමවේදය හා කොපමණ පෙත්සම් සංඛ්‍යාවක් මේ කාලය තුළ විසඳීමට කාරක සභාවට හැකි වී තිබෙනවාද?

පෙත්සම කතානායකතුමාට ආමන්ත්‍රණය කරලා මන්ත්‍රීතුමා අත්සන් කරලා එය පෙත්සම් කාරක සභාවට යොමුකරනවා. ඉන් පසු ව පෙත්සම් කාරක සභාව විසින් එය කතානායක තුමාට යොමුකරලා පාර්ලිමේන්තුවේ එය සභාගත කිරීමක් සිදු කරනවා. ඉන් පසුව අපි එම පෙත්සම යොමුකරනවා අදාළ අමාත්‍යංශ්‍යට හෝ දෙපාර්තමේන්තුවට හෝ අදාළ රාජ්‍ය ආයතනයට. පෙත්සම්කරුගේ එම පෙත්සමේ ඇති කරුණු සම්බන්ධයෙන් ඒ ආයතනයේ පැහැදිලි කිරීමක් ලබා ගන්නවා. එම පැහැදිලි කිරීම අපි නැවත පෙත්සම්කරු වෙත යොමු කරලා පෙත්සම්කරුගෙන් එම ආයතනය ලබාදුන් පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔහුට දීමට ඇති කරුණු නැවත ලබා ගන්නවා. එය උසාවියක නඩුවකදී පැමිණිල්ල, උත්තරය හා ප්‍රති උත්තරය කියා තිබෙන ස්වරූපය ම තමයි. ඊට පස්සෙ අපි එය විභාගය සඳහා පෙත්සම්කරුත් අදාළ ආයනතයේ නිලධාරීන් කැඳවනවා. ඒ කැඳවීමේදී අපි පෙත්සමට අදාළ සියලු පාර්ශවකරුවන් කැඳවීමට අපේක්ෂා කරනවා. දෙපාර්තමේන්තුවක් නම් එය පමණක් නොවෙයි අමාත්‍යංශ ලේකම් සහ එයට අදාළ සියලු පාර්ශවකරුවන් කැඳවනවා. විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නම් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂතුමා සහ නියෝජිතයින්. ඒ සියලු පාර්ශවයන් කැඳවලා අපි පළමුව අවස්ථාව දෙනවා පෙත්සම්කරුට තම පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කරන්න. එවිට ඔහු සත්‍ය සාක්ෂි දෙන බවට ප්‍රතිඥාවක් දීමෙන් පසු ව හරියට උසාවියකදී වගේ ම ඔහුගේ කරුණු ඉදිරිපත් කරලා කරුණු තහවුරු කරනවා. ඉන් පසු ව රාජ්‍ය නිලධාරිනුත් එවැනි ම ප්‍රතිඥාවක් දීලා පෙත්සම් කරු ඉදිරිපත් කළ කරුණු ගැන ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කරනවා. අප මෙහිදී ඇත්තට ම බලන්නේ ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි, ඒ වගේ ආයතනික විධිවිධාන, නීතිරීති කියන තාක්ෂණික කරුණුවලට ම හිරවෙන්නේ නැතුව පෙත්සම්කරු හා රාජ්‍ය නිලධාරීන් අතර එකඟතාවක් ඇති කරන්න අපි හැම වෙලාවෙ ම උත්සාහ කරනවා.

පෙත්සම්කරුටත් අසාධාරණයක් ඇති නොවන විදියට රාජ්‍ය ආයතනවල පිළිගත් පටිපාටි සහ පැවැත්මට හානියක් නොවන ලෙස යම්කිසි සාධාරණ මධ්‍යස්ථ තැනකට ඇවිත් කිසියම් සාධාරණයක් පෙත්සම්කරුට ලබාදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ.  

හත්වැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට මේ අවුරුද්දේ ලැබුණු පෙත්සම් ප්‍රමාණයෙන් පෙත්සම් 414ක විභාගය අපි ආරම්භ කර තිබෙනවා. පෙත්සම් 1569ක් ලැබී තිබෙනවා. ඉන් විධිමත් නොවන ආකාරයෙන් ඉදිරිපත් කළ පෙත්සම් 282ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. විභාගය ආරම්භ කර තිබෙනවා පෙත්සම් 299ක්. විභාගයෙන් පසු ව සම්පූර්ණයෙන් නිරාකරණය කර අවසාන තීන්දු දී තිබෙනවා පෙත්සම් 67කට.

06. මහජන පෙත්සම් කාරක සභාවේ සංයුතිය කෙබඳු ද?

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙකේ ම මහජන නියෝජිතයන්ගෙන් මෙය සමන්විතයි. සාමාජිකයන් 10ක් හා ගණපූර්ණය 3 දෙනෙකු ලෙසයි මුලදී දක්වා තිබෙන්නේ. නමුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වැඩි වීමත් සමඟ මහජන පෙත්සම් කාරක සභාවේ සාමාජිකයන් ගණනත් 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ආණ්ඩු පක්ෂයෙන් 16ක් සහ විරුද්ධ පක්ෂයෙන් 13ක් ලෙස සමන්විත වෙනවා. දැනටත් ගණපූරණය ලෙස සැලකෙන්නේ තුනයි.


07. අපි දකිනවා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මහජන පෙත්සම් ඉදිරිපත් කරන්නට කතානායකතුමා නම් අඬගසන විට ඇතැම් විට එය ඉදිරිපත් කරන්නට මන්ත්‍රීවරුන් සභාවේ නැහැ. ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ ද මන්ත්‍රීවරුන්ගේ ස්වභාවය එයයි. එවැන්නක් සිදුවන්නේ මේ බව මන්ත්‍රීවරයාට දැනුම් නොදීම නිසා ද? එවැනි අවස්ථාවක් මඟහැරුණු විට එම පෙත්සමට සිදුවන්නේ කුමක් ද?

අපි දැනුම්දීමක් කරනවා. මහජන පෙත්සම් කාරක සභාවට එවැනි දුක්ගැනවිලි ලැබෙන්නේත් මන්ත්‍රීතුමන්ලා හරහාමයි. නමුත් මන්ත්‍රීතුමන්ලාගේ යම් අතපසුවීමක් නිසා පෙත්සම්කරුට අසාධාරණයක් සිදුවන, පෙත්සම් සභාවට ඉදිරිපත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවන අවස්ථා තිබෙනවා. එය මන්ත්‍රීතුමන්ලාගේ පැත්තේ අඩුපාඩුවක්. මන්ත්‍රීවරුන්ගේ යුතුකමක්, වගකීමක් තිබෙනවා එය සභාවට ඉදිරිපත් කිරීමට. මිනිසුන් චෝදනා කරන්නේ පෙත්සම් කාරක සභාව තම පෙත්සම ගැන ක්‍රියාකරන්නේ නැති බවට. අපට ලැබෙන පෙත්සම් ගැන අපේ මහජන පෙත්සම් කාරක සභා කාර්යංශයෙන් කිසි ම අතපසුවීමක් සිදුවන්නේ නැහැ.

අපට පෙත්සමක් ලැබුණු විට අපි එම පෙත්සමේ සාරාංශයක් සකස් කර එයට පෙත්සමත් අමුණා එය කතානායකතුමාගේ අනුමැතියට යවනවා. එම අනුමැතිය ලැබී එන පෙත්සම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය ගැන එය ඉදිරිපත් කළ මන්ත්‍රීවරයාට අපි කල් ඇති ව ම දැනුම් දෙනවා. දූරකතනයෙනුත් ඒ දැනුම්දීම කරනවා. පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී ම මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමට න්‍යාය පත්‍රයට ඇතුළත් වෙනවා. එම නිසා සභාව ආරම්භ කරන විට පෙත්සම් ඉදිරිපත් කරන මන්ත්‍රීවරුන් සිටිය යුතු යි. එසේ ඉදිරිපත් නොකරන පෙත්සම් විභාගය සඳහා වන පටිපාටිය කල්යනවා. එය නැවතත් සභාවට ඉදිරිපත් කළ යුතු වෙනවා. ඇතැම් මන්ත්‍රීවරුන් අපට කල්තියා දැනුම් දෙනවා එම දිනට පැමිණිය නොහැකි බව. එවිට එය අපි වෙනත් දිනයකට දානවා. ඇතැම්විට එසේ මාස ගණන් පහුවෙන ඒවා තිබෙනවා. එය මහජන පෙත්සම් කාරක සභාවේ ප්‍රමාදයක් නො වේ.

08. මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය තුළින් තම ගැටළු විසඳාගත් අය ඉන්නවාද?

විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෙය පුදුමාකාර තැනක්. උසාවි ගිහින් නඩු කියලා. අවුරුදු ගණන් ඉඳලා විනය පරීක්ෂණ වැනි නොයෙකුත් දේවල්වලට මුහුණදීලා අවුරුදු 20, 25 ගිය සමහර කාරණා අප ළඟට එනවා. ඒ ගැන දෙපාර්ශවය ම කැඳවලා මහජන පෙත්සම් කාරක සභාවේ කරුණු විභාග කරලා අපි යෝජනා කරන යම් දෙයක්, සමහර විට අවුරුදු ගණනාවක් ගිහින් කරගන්න බැරි වුණු දේ, පෙත්සම්කරු අපේක්ෂා කරන දෙය ම නොවුණත් කිසිවක් ම නැතිව තිබිලා, සානුකම්පිත දීමනාවක් සමහර විට විශ්‍රාම සහනයක් ලැබීමෙන් පෙත්සම්කරුවන් ඉතා සංතෝෂයෙන් යන අයුරු අපි දැක තිබෙනවා.

09. මහජන පෙත්සම් කාරක සභාව වඩා විධිමත් කර ගැනීමට ඔබතුමාට තිබෙන යෝජනා මොනවාද?

පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව ක්‍රියාත්මක වන්නේ අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අපට ලැබෙන බලයත්, බලතල හා වරප්‍රසාද පනත යටතේ අපට ලැබෙන බලයත් තුළ.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ පැහැදිලි ව ම ප්‍රතිපාදන තිබෙනවා අපේ නිර්දේශයක් සම්බන්ධයෙන් අප ඉදිරියේ නිලධාරීන් හා පාර්ශවකරුවන් අතර එකඟතාවක් ඇති වුණොත් එය ක්‍රියාත්මක කළ යුතු බවට. එසේ නො කිරීම වරදක් වෙනවා. එය සලකන්නේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙසයි. මෙතනදි එකඟවෙලා යනවා. නමුත් කරන්නේ නැහැ. එහෙම අවස්ථාවක අපට පැහැදිලි ප්‍රතිපාදන තිබෙනවා ඒ අයට විරුද්ධ ව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ක්‍රියාකරන්න. පාර්ලිමේන්තුවට ගෙන්නලා. කතානායකතුමා ඉදිරියට ගෙන්නලා. අවවාද කරලා. නීතිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන යන්න හැකියාව තිබෙනවා. යම් නීතිමය බලයක් තිබෙනවා පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවේ නිර්දේශයන් එකඟතාවන් ක්‍රියාත්මක කර ගැනීම සම්බන්ධයෙන්. කිසියම් ආකාරයක අධිකරණ බලයක් තිබෙනවා.

7 වෙනි පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව හැටියට අප එය අත්හදාබලමින් සහ යොදා ගනිමින් ඉන්නවා. විශේෂයෙන් අප දැන් එකඟතාවන් සටහන් කර ගැනීම ආරම්භ කරලා තිබෙනවා. මෙතෙක් සටහන් කර ගැනීමක් සිදු ව තිබුණේ නැහැ. අපි අදාළ නිලධාරියාගෙන් ලිඛිත ව සටහන් කරලා මේ දේ මෙපමණ කාලයක් තුළ දීමට එකඟවන බවට අත්සන් ලබාගැනීමක් කරනවා. ඒ තීරණය අදාළ ආයතන වෙත ලිඛිත ව යවනවා. ඒ මත අපට ඔවුන්ට එරෙහි ව පියවර ගන්න පුළුවන් එසේ නොකරපු අවස්ථාවන්වල. ඒ නිසා මෙය ක්‍රියාත්මක වීමේ වැඩි ශක්‍යතාවක් තිබෙනවා. එසේ ක්‍රියාත්මක නොවුණොත් පෙත්සම්කරු අපෙන් විමසීමක් කරනවා.

පොදුවේ ගත්කළ පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව ඵලදායී ආයතනයක් කරන්නට නම් එයට මීට වඩා සාමූහික බලයක්, ව්‍යවස්ථාපිත බලයක් ලැබෙන්නට ඕන. කිසියම් ආකාරයක අධිකරණමය බලයක් ලැබිය යුතුය යන්න මගේ පෞද්ගලික මතයයි. ඒ සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ පනතටත් සංශෝධන අවශ්‍යයි. ඒ සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වන කාරක සභාවක් දැනට පාර්ලිමෙන්තුවේ ක්‍රියාත්මක වෙනවා. අපි එයට යෝජනා කර තිබෙනවා පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව පූර්ණ බලැති ආයතනයක් බවට පත්කිරීමට අවශ්‍ය සංශෝධන කරන ලෙස. එහෙම වුණොත් මීට වඩා වැඩි සේවයක් ජනතාවගේ පැත්තෙන් බලා ඉටු කළ හැකි වෙනවා.

පාර්ලිමේන්තුව රැස්වෙන හැම දිනයකදී ම අපි සවස 2.00 සිට එදිනට සලකා බලන සියලු පෙත්සම් විභාග කරන තුරු රැස්වෙනවා. සභාපතිතුමා ලෙස මට පාර්ලිමේන්තුවේ වෙන කිසි ම කටයුත්තකට සහභාගී වීමට ලැබෙන්නේ නැහැ පූර්ණ කාලීන ව මෙතනට කැපවීම නිසා.

ඒ වගේ ම පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාවේ කාර්ය මණ්ඩලය විශාල වෙහෙසක් දරනවා. සියලු පෙත්සම් සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තා සකස් කරනවා. පෙත්සම්කරුගේ පෙත්සමේ තිබෙන කාරණා සහ අමාත්‍යංශය කියන කාරණා ඇතුළත් ව. එම වාර්තා ව හැම මන්ත්‍රීවරයෙකුට ම යොමු කරනවා. අපි කරන නිර්දේශයන් නියෝගයන් අමාත්‍යංශවලට ලියනවා. ඒ ගැන පසු විපරම් කරනවා. එමනිසා මෙයට අපේ කාර්ය මණ්ඩලය විශාල වෙහෙසක් දරනවා. ඇත්තට ම අපට දැනට සිටින කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නැහැ. ඒ ගැන කතානායකතුමාටත් දන්වා තිබෙනවා.

නෛතික බලයේ මදිකමත්, කාර්ය මණ්ඩලයේ මදිකමත් පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාවේ කටයුතු තවත් කාර්යක්ෂම කර ගැනීමට බලපා තිබෙනවා. මාසයක පාර්ලිමේන්තු දවස් අටේ ම විශාල කැපවීමකින් අපි කටයුතු කළත් විශාල පෙත්සම් ප්‍රමාණයක් ගොඩගැසෙමින් පවතිනවා. පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව ගැන මහජනතාවගේ විශාල දැනුවත්වීමත් නැතත් එයට විශාල ප්‍රමාණයක් පෙත්සම් ලැබෙමින් පවතිනවා. ඒවාට ඉක්මනින් කඩිනමින් සහනයක් ලබාදීමට අවශ්‍ය යාන්ත්‍රණය අපට නැහැ. ඒ සඳහා විසඳුම් දෙකක් තියෙනවා.

එකක් තමයි පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව අතුරු කමිටු තුනකට පමණ කඩා එක ම දවසේ පෙත්සම් 10 බැගින් එම කමිටුවල සාකච්ඡා කිරීමට පියවර ගැනීම. එවිට දවසකට 30ක් පමණ කළ හැකියි. එම පෙත්සම් 30 මගේ ප්‍රධානත්වයෙන් තිබෙන ප්‍රධාන කමිටුවට යොමුකර ක්‍රියාත්මක කිරීමට පියවර ගත හැකියි. එය දිනකට පෙත්සම් 50ක් පමණ දක්වාත් යා හැකියි. එහෙම කරන්නට නම් අපට කාර්ය මණ්ඩලය වැඩිවිය යුතුයි. එහෙම පහසුකම් ලැබෙනවා නම් මෙය වඩා කාර්යක්ෂම වෙනවා.


10. පාර්ලිමේන්තුව රැස්වෙන දින හැර වෙනත් දවස්වලට මේ සඳහා රැස්විය නොහැකි ද?

ඇත්තටම මමත් කාර්ය මණ්ඩලයත් ඒකට සූදානම්. මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය ගැටළුවක් වෙනවා. ගණ පූර්ණය නො මැති ව අපට මෙය පවත්වා ගෙන යන්නට බැරි නිසා. අඩු ම වශයෙන් තුන්දෙනෙක්වත් සිටිය යුතුයි.

දැන් අපේ කාර්ය මණ්ඩලය අද කමිටුව පස්වරු 4.00ට අවසන් වුණාට හෙට තියෙන කමිටු රැස්වීමට සූදානම් විය යුතුයි. ඔවුන්ට විභාගයට ගන්නා පෙත්සම්වල පසුවිපරම් කිරීමත් සිදු කරන්න වෙනවා.

පාර්ලිමේන්තුව රැස් නොවන සතියේ තමයි රැස් වූ සතියේ සියලු කටයුතු සමාලෝචනය කරලා ඊළඟ සතියේ විභාගයට ගන්නා පෙත්සම් සියල්ල සකස් කර ගන්නේ. පැය විසි හතර ම වැඩ කළත් ඉවර කරන්න බැරි තරමට වැඩ තියෙනවා. අපේ අරමුණ පෙත්සම් ප්‍රමාණය අඩුකරගෙන වැඩ අඩුකරගැනීම නම් ලැබෙන පෙත්සම් විශාල ප්‍රමාණයක් කපා හරින්න පුළුවන්. ආයාචනය විධිමත් නැති නිසා අවුරුදු 20ට වැඩි නිසා වැනි කාරණාවලින්. නමුත් අපි ප්‍රතිපත්තියක් ලෙස ලැබෙන හැම පෙත්සමක් ම භාර ගෙන පෙත්සම්කරුට මානුෂික ව සාධාරණ සවන්දීමක් කිරීමට කටයුතු කරනවා. පෙත්සම්කරුවෝ කැඳවන්නේ නැති ව ලේඛන මත පදනම් ව තීරණයක් දෙනවා නම් අපට බොහො ම වේගවත් ව මේ කාර්යය ඉටුකළ හැකියි. දවසකට පෙත්සම් 50ක් පමණ විභාග කළ හැකියි. නමුත් අප උත්සාහ කරන්නේ අපේ වගකීමත් හරියට කරමින් නිවැරදි විභාගයක් කරන්නට. ඒ නිසා කිසියම් ප්‍රමාදයක් ඇති වෙනවා.


සංවාදය : හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි

මෙය සකස් කිරීමේ දී සහය වූ පෙත්සම් කාරක සභාවේ ලේකම් රමණී ජයවර්ධන මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට අපේ ස්තූතිය.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

තේරීම් කාරක සභාව නම් කරන සාමාජිකයන් දස දෙනෙකුගෙන් මෙය සමන්විත වේ. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ මහජනතාව විසින් යොමු කරන ලදුව පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරනු ලබන පෙත්සම් සලකා බලා ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ තම අදහස් පාර්ලිමේන්තුවට නැවත වාර්තා කිරීමයි. තමන් ඉදිරියට ඕනෑ ම පුද්ගලයෙකු කැඳවීමට හා ප්‍රශ්න කිරීමටත්, ඕනෑ ම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක්, හෝ වෙනත් ලේඛනයක් ගෙන්වාගෙන පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපොළවලට ප්‍රවේශ වීමටත් මේ කාරක සභාවට බලය ඇත.

ස්ථාවර නියෝග අනුව මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කරන පිළිවෙළ

ස්ථාවර නියෝග 25අ - පෙත්සම්

(1)     පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සෑම ‍පෙත්සමක් ම කතානායකතුමා නමට ඉදිරිපත් කළ යුතු අතර මන්ත්‍රීවරයකු විසින් පිළිගන්වනු ලැබිය යුතුය.

(2)     සෑම පෙත්සමක් ම ගෞරවාන්විත භාෂාවෙන් විය යුතු අතර, එහි අදාළ නොවන ප්‍රකාශ අන්තර්ගත නොවිය යුතුය.

(3)     සෑම පෙත්සමක් ම පැහැදිලි ව කියවිය හැකි විය යුතු අතර, ඉල්ලා සිටිනු ලබන සහනය ප්‍රකාශ කෙරෙන ආයාචනයකින් එය අවසන් විය යුතුය.

(4)     අසනීපයක් හේතුවෙන් නොහැකියාවට පත් වූ අවස්ථාවක හැර සෑම පෙත්සමක් ම පෙත්සම්කරු හෝ පෙත්සම්කරුවන් හෝ විසින් අත්සන් කරනු ලැබිය යුතුය. ලිවිය නොහැකි කෙනකු සාක්ෂිකරුවකු ඉදිරියේ තම සලකුණු තැබිය යුතුය. පෙත්සමකට අත්සන් තබන සෑම තැනැත්තකුගේ ම සම්පූර්ණ නම හා ලිපිනය එහි සඳහන් ව තිබිය යුතුය.

(5)     යම් පෙත්සමකට කවර හෝ ලිපි, දිවුරුම් පත්‍ර හෝ වෙනත් ලේඛන අමුණා නොතිබිය යුතුය.

(6)     යම් පෙත්සමක, පාර්ලිමේන්තුවේ කිසි ම විවාදයක් පිළිබඳ සඳහනක් නොකළ යුතුය.

(7)     තමාගේ ම පෙත්සමක් පිළිගැන්වීමේ බලය මන්ත්‍රීවරයකුට නොතිබිය යුතුය; එහෙත් එය වෙන යම් මන්ත්‍රීවරයකු විසින් පිළි‍ගන්වනු ලැබිය හැකිය.

(8)     සෑම පෙත්සමක් ම එය පිළිගැන්වීමට පෙර මුලින් එය භාර මන්ත්‍රීවරයා විසින් අත්සන් කරනු ලැබ, යටත් පිරිසෙයින් සම්පූර්ණ දින දෙකක්වත් මහ ලේකම්වරයා වෙත තිබෙන සේ එය ඔහුට භාරදිය යුතුය. ඔහු විසින් එය කථානායකතුමාගේ අනුමතය සඳහා ඉදිරිපත් කරනු ලැබිය යුතුය. තවද කිසි ම පෙත්සමක් එසේ අනුමත කරනු ලබන තුරු නොපිළිගැන්විය යුතුය.

(9)     පෙත්සමක් පිළිගන්වනු ලබන මන්ත්‍රීවරයකු විසින් තම ප්‍රකාශය පහත දැක්වෙන ආකෘතියට සීමා කළ යුතුය :-

ගරු කථානායකතුමනි, .............................. (ලිපිනය) පදිංචි .............................. ගෙන් (පෙත්සම්කරුගේ නම) සහ වෙනත් .............................. දෙනෙකුගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.’

මේ ප්‍රකාශය මත කිසිම විවාදයකට අවසර නොදිය යුතුය.

(10)     පෙත්සමක් පාර්ලිමේන්තුවට පිළිගැන්වීමෙන් පසු එය මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත පැවරී තිබිය යුතුය.