Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග රාජපක්ෂ පරපුරේ 75 වසරක දේශපාලන ගමන් මග

රාජපක්ෂ පරපුරේ 75 වසරක දේශපාලන ගමන් මග

  • පී.ඩී.එෆ් (PDF)

1936 සිට ඇරැඹි අද දක්වා දිගහැරෙන මහින්ද රාජපක්ෂ පරපුරේ දේශපාලන සම්ප්‍රදාය එදා මෙන්ම අදටද ඉදිරියටද ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාව පෝෂණය කරන බව ප්‍රත්‍යක්‍ෂ සත්‍යයකි. ජනතාව විසින් ආදරයෙන් වැළඳගත් මේ සම්ප්‍රදායෙහි අපූර්වත්වය කෙබඳුවීදැයි විමසීම කාලෝචිත වේ. 1936.03.07 දින දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට ආසනය වෙනුවෙන් ඩී.එම්. රාජපක්ෂ මහතා මැති සබයට පිවිසෙනවා. ජනතා ඡන්දයෙන් පැමිණි මේ ගමනට පූර්වයෙන් අපූරු කතාන්දරයක් තියෙනවා. එවකට මේ රට පාලනය කරමින් සිටියේ සුදු ජාතිකයන්.

f-3

රජයේ සියලු ඉහළ තානාන්තර දැරුවේ ඔවුන්. ඔවුන් යටතේ තමයි දේශීය මුදලි මුහන්දිරවරු සිටියේ. ජනතාවගෙන් බදු අය කළේ ඔවුන්, සාමාන්‍ය ජනතාව ප්‍රශ්නවලින් මිරිකිලයි සිටියේ. උසුලා ගන්න බැරිතරම් රාජ්‍ය බදු සාමාන්‍ය ජනතාව මත පැටවිලයි තිබුණේ. එමෙන්ම මුදලි මුහන්දිරම්වරුන්ගේ තාඩන පීඩන, මැලේරියා වසංගතය, පැරැණි වැව් අමුණු සියල්ල කැඩී බිඳී යාම, ආහාර හිඟය බෙහෙත් හිඟය, ඊට අමතරව රදල පීඩනය, සාමාන්‍ය මිනිසුන් මත පැටවිලා තිබුණා. මේ වකවානුවෙම තමයි මේ රටේ වාමාංශික ව්‍යාපාරය පෙළගැසෙමින් තිබුණේ.

කඩවත් බදු ක්‍රමය විසින් ගොවියන්ගේ නිෂ්පාදන කුණු කොල්ලයට ගත්තා. කුල පීඩනය නිසා කාන්තාවන්ට උඩුකය නිරාවරණය කරගෙන තමයි ඉන්න සිද්ධ වුණේ. ඩී.එම් රාජපක්ෂ මේ සාමාන්‍ය මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. සුදු පාලකයන්ට මෙන්ම මුදලි මුහන්දිරම්වරුන්ටත් විරුද්ධව සටන් කරනවා. ඒ කාලේ ක්‍රමවත් මාර්ග පද්ධතියක් තිබුණේ නැහැ. තිබුණු බොහෝ පාරවල් මඩ ගොහොරු පිරුණු බොරළු මාර්ග, ප්‍රභූන් ගමන් ගත්තේ අශ්ව කරත්තවලින් සාමාන්‍ය මිනිස්සු ගමන් කළේ පයින්. එහෙම නැත්නම් ගොන්නු බැඳලා ඇදගෙන යන කරත්තවලින්.

සමහරවිට අලුතින් මාර්ග කපාගෙන තමයි ගමන් කරන්න සිද්ධවුණේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බහුතර ජනතාව ගොවියෝ. ඔවුන් හේන් ගොවිතැන සහ කුඹුරු ගොවිතැන තමයි ප්‍රධාන වශයෙන් කළේ. බත් ප්‍රධාන ආහාරය වූ අතර ඒ හා සමානවම කුරක්කන්ද භාවිතා කළා. ඩී.එම්. රාජපක්ෂ තමාගේ සාටකයේ වර්ණයක් වශයෙන් තෝරා ගත්තේ කුරක්කන් පාට. ජනතාව මේ පුද්ගලයාව ආදරයෙන් වැළදගන්නවා ඡන්දය දීලා දිනවලා ඔහු කොළඹට ගෙන එනවා.

රුහුණේ සිංහයා

මේ රටේ එවකට මෝදු වෙමින් තිබුණ සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ සටන්වලට ඩී.එම් සහභාගි වෙනවා. ජාතික විමුක්ති අරගලය සඳහා වාමාංශිකයෝ සමඟ එකතු වෙනවා. විශේෂයෙන්ම සිය ඥාතියෙක් වූ වාමාංශික නායක දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහගේ නොමද ආස්වාදය ඩී.එම්. කෙරෙහි බලපාන ලද බව පෙනෙනවා. මේ නිසාම ඩී.එම් එවකට ජාතික තලයේ අපූරු චරිතයක් බවට පත්වෙනවා. ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාව ආමන්ත්‍රණය කරනවා.

රුහුණේ ජනතාව ඔහුට “රුහුණේ සිංහයා” යන විරුදාවලිය පළන්දවනවා. නොමැකෙන අන්දමට ඔහු ජනතාවගේ සිත් සතන්වල පදිංචි වෙනවා. පුරා අවුරුදු 9ට වඩා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ජනතා හඬ නගමින් සිටි ඔහු මිය යන්නෙත් රාජ්‍ය සභාවේ කතා කරමින් සිටින විටදීමයි. ඒ 1945 මැයි 18 වෙනිදා. ඔහු ජනතාව වෙනුවෙන් කරපු සටන් ගැන හා ඔහුගේ මහා වික්‍රමයන් ගැන හම්බන්තොට ජනතාව අදත් කතා කරනවා. මේ කතාන්තර රුහුණේ ජනතාවගේ ජනශ්‍රැති බවට පත්වෙලා.

මීළඟට ආරම්භ වන්නේ එම වංශ කතාවේ දෙවැනි අවධියයි. ඒ තමයි අපි අද දක්වා සමරමින් සිටින ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිය වැඩිමහල් සහෝදරයාගේ අභාවය නිසා හිස්වන හම්බන්තොටට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසනය වෙනුවෙන් ජනතාවගේ ඉල්ලීම මත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා නිතරගයෙන් මැති සබයට එනවා. ඒ 1945 වර්ෂයේදී එතැන් සිට 1967 එතුමන්ගේ අභාවය සිදුවන තෙක්ම ඉතා කෙටි කාලයක් හැර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පස්වන පාර්ලිමේන්තුව දක්වාම එතුමා ජනතාව වෙනුවෙන් කටයුතු කළා. හම්බන්තොට ගැමි ගොවියන් ගැන එතුමා නිතරම කතා කළා.

ඔවුන්ගේ ප්‍රශ්නවලට විසැඳුම් සොයා සාමකාමී කතිකාවත් නිරන්තරයෙන්ම පැවැත්වූවා. මේ රටේ පොදුජන දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවර සඳහා විශිෂ්ට දායකත්වයක් දෙන්න එතුමා සමත්වූවා. සිය වැඩිමහල් සොහොයුරාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසීමට ගත් තීරණය මෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලනයේ අතිශය වැදගත් සංධිස්ථානයක් වූ බණ්ඩාරනායක මැතිතුමන් සමඟ එවකට ආණ්ඩු පක්ෂය හැර දමා යාම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට දායකත්වය දීම එතුමා විසින් දුර දක්නා නුවණින් ගත් වැදගත් තීරණ කීපයක්.

එතුමන්ගේ පාර්ලිමේන්තු ජීවිත කාලය තුළදී විවිධ නිලතල මැති ඇමැතිධූර එතුමන් විසින් දරලා තියෙනවා. ඉතා නිහතමානී චාම් හා තැන්පත් ගතිගුණවලින් හෙබි එතුමා තුළින් ජනතාවාදී දේශපාලනඥයෙකු තුළ තිබිය යුතු උත්තුංග ගති ලක්ෂණ මොනවට පිළිබිඹු වුණා. දේශපාලන නායකයෙකු තුළ ජනතාවට සේවය කිරීම සඳහා සැබෑ වුවමනාවක් තිබිය යුතු බවත් එසේ නැතිනම් ඔහු දේශපාලනයට නුසුදුසු බවත් එතුමා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවා. එහෙයින් ම තමාගෙන් පසුව ජනතා මෙහෙවර සඳහා ජීවිතය කැපකළ හැකි දරුවන් පිරිසක් හඳුන්වා දීම අගය කළ යුත්තක්.

මහේශාක්‍ය චරිතය

මීළඟට පැමිණෙන්නේ රාජපක්ෂ දේශපාලනයේ දෙවැනි පරපුරේ දේශපාලන කතාන්දරයයි. සිය පියාණන් වූ ඩී.එම්. රාජපක්ෂයන් මියයන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසීමට තරම් වයස සම්පූර්ණ නොවුයෙන් තම අවස්ථාව කල් දමා සිටි ඩී.එම්. රාජපක්ෂ මැතිතුමාගේ වැඩිමහල් පුත් ලක්ෂ්මන් රාජපක්ෂ 1947 දී පළමු වෙනි පාර්ලිමේන්තුවේ හම්බන්තොට ආසනය සඳහා තරගවදිමින් ජයග්‍රහණය ලබා මැති සබයට පිවිසෙනවා. ඔහු ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියටයි. මේ වකවානුවේම ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාත් බෙලිඅත්ත මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටිනවා.

ලක්ෂ්මන් රාජපක්ෂ අභාවප්‍රාප්ත වුණේ 1981 දී මේ අතරතුර කාලයේ දී අවස්ථා කිහිපයකදීම ඔහු හම්බන්තොට සහ තිස්සමහාරාමයේ මෙන්ම මුල්කිරිගල ආසන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසිලා තියෙනවා. වරෙක ස්වාධීන අපේ්ක්ෂකයෙකු ලෙසත් ආයෙත් වරෙක මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙසත් තවත් අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙසත් එතුමා වරින් වර පාර්ලිමේන්තුවට පිවිසිලා තියෙනවා. ඔහු ගැමි ගොවියන් මෙන්ම ජාතික තලයේදී වැඩ කරන කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද සටන් කරලා තියෙනවා. ජනතාව වෙනුවෙන් සිරබත් පවා කාලා තියෙනවා. ඔහු තමාටම ආවේනික වූ ස්වාධීන මතවලට අනුව සමහර අවස්ථාවලදී කටයුතු කළ කෙනෙක්.

ඉතා ප්‍රතාපවත් මෙන්ම පැරැණි යුගයේ පෞරුෂයත් නූතන යුගයට ගැලපෙන සටන්කාමී බවත්, ඔහු තුළ කැපී පෙනෙන පුරුෂාර්ථයන්. මේ රටේ වාමාංශික ව්‍යාපාරය සමග නිරන්තරව එකට වැඩ කළ ඔහු ජාතික වශයෙන් ගෙන ගිය කම්කරු අරගලවලට නායකත්වය දුන්නා. ඩී.එම් රාජපක්ෂ පිළිබඳව වගේම ලක්ෂ්මන් ගැනද රුහුණේ වැසියන් තුළ ඇත්තේ ගෞරවය මුසු භක්තියක්. ඔහුගේ ක්‍රියාකාරකම් ගැනද රුහුණු ගිරුවායේ සහ මාගම්පත්තුවේ පැරැණි ගැමියන් අපූරු වෘතාන්ත ගොතා තිබෙන බව අදත් අහන්න පුළුවන්. එතුමාගේ දේශපාලනය කෙරේ මේ රටේ සිටි වාමාංශික නායකයෙක් වූ පිලිප් ගුණවර්ධන මහතාගේ චරිතය බෙහෙවින් බලපාලා තියෙනවා.

මේ චරිත නොමියෙන දේශපාලන චරිත වශයෙන් හඳුන්වන්න පුළුවන්. මීළඟට හමු වන්නේ මහින්ද රාජපක්ෂ පරපුරේ දෙවැනි පරපුරේ දෙවනි මහේශාක්‍ය චරිතයයි. ඒ තමයි ජෝර්ජ් රාජපක්ෂ මැතිතුමා. එතුමා උපන්නේ 1926 දී මිය යන්නේ 1976 දී ආයු කාලය හරියටම අඩ සියවසක්. මේ කාල පරාසය තුළ ඔහුගේ ක්‍රියාකලාපය අභිමානයෙන් අගයන්න පුළුවන්. එතුමා වෘත්තියෙන් නීතිඥවරයෙක්. සිය වැඩිමහල් සොහොයුරා වූ ලක්ෂ්මන් රාජපක්ෂ කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඉගෙන ගන්න අතරේ ජෝර්ජ් රාජපක්ෂ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

සූරිය මල් ව්‍යාපාරය

මේ කාලයේ දී ඔවුන්ගේ පියාණන් වූ ඩී.එම්. රාජපක්ෂ ජනතා දේශපාලනය තුළින් රටේම ප්‍රසිද්ධ වෙලා හිටියේ. එතුමා වාම දේශපාලන ව්‍යාපාරය සූරිය මල් ව්‍යාපාරය ආදිය සමඟ සම්බන්ධ වෙලා හිටියේ. එනිසා ජෝර්ජ්ට මෙන්ම ලක්ෂ්මන්ට ද මේ වාම දේශපාලන ආශ්වාදය ලැබෙන්නට ඇති. ජෝර්ජ් රාජපක්ෂ රාජකීය විද්‍යාලයේ මෙන්ම නීති විද්‍යාලයේත් කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වුණා. මේ සඳහා ඔහුගේ පවුල් පසුබිමද එක්තරා විදිහකට බලපාන්න ඇති. නීතිඥයෙක් හැටියට ජෝර්ජ් රාජපක්ෂ ඉතා සුළු කලකින්ම මුළු දකුණු පළාතේම ප්‍රසිද්ධ වෙනවා.

එනිසාම ඔහු මුළු රටේම ප්‍රසිද්ධියට පත්වෙනවා. 1960 මාර්තු මහ මැතිවරණයේදී ජෝර්ජ් රාජපක්ෂ මූල්කිරිගල ආසනය ජය ගන්නවා. නැවතත් 1960 ජූලි මැතිවරණයත් 1965 සහ 1970 මහ මැතිවරණත් ජෝර්ජ් රාජපක්ෂ මුල්කිරිගල ආසනය ජය ගන්නවා. ඔහු එවකට පාර්ලිමේන්තුවේ ඉතා ජනප්‍රිය එමෙන්ම පිළිගත් ජනතා නියෝජිතයෙක් හැටියට මතු වෙලයි හිටියේ. ඔහුගේ පාර්ලිමේන්තු කාල සීමාව තුළ ඇමැති ධුර කිහිපයක්ම දරා තියෙනවා.

සමහර අවස්ථාවල ඇමැති ධුර කිහිපයක්ම එකවර දැරීමට ඔහු කාර්යක්ෂම වුණා. එවකට සිටි පක්ෂ නායකයන් එතුමාගේ දක්ෂතාවයන් මහා ඉහළින් පිළිගත්තා. එනිසාම ජාත්‍යන්තර සම්මන්ත්‍රණවල නායකත්වය පවා එතුමාට ලැබිලා තියෙනවා. නීතිඥයෙකු වශයෙන් අතිසාර්ථකව සිටියදී එය අතහැර දමා ජනතාවට සේවය කිරීමට ඇප කැප වීම අගය කළ යුත්තක්. ඔහු ව්‍යක්ත කථිකයෙක්. ඔහුගේ වාග් මාලාව හා කතා විලාශය අතිශයින්ම ආකර්ශනීයයි. මෙය සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද එක හා සමානයි. එනිසා එතුමා ශ්‍රී ලංකාවෙ සිටි දක්ෂ ද්විභාෂා කථිකයෙක් වුණා. එතුමා විසින් 1960 දී පමණ පාර්ලිමේන්තුවේ කරන ලද කතාවක් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ දේශපාලනඥයකු විසින් පවත්වන ලද ඓතිහාසික කතා කිහිපයකින් එකක් හැටියටයි වාර්තා වෙලා තියෙන්නේ.

ඔහු රුහුණේ ගැමියන් ගැන නිතරම කතා කළා. ඔවුන්ගේ දරිද්‍රතාව ගැනත් ඒවාට විසඳුම් සොයා තමා පැමිණි බවත් කියා සිටියා. තමා දේශපාලනයට පැමිණියේ තම පියාණන්ගේ ජනතාවාදී සටන්වලින් උපයාගත් කීර්ති නාමයත්, තම පියාණන් එවකට සිටි රදළ මුදලි මුහම්දිරම් හා ගම්මුලාදෑනින්ට විරුද්ධව ගෙනගිය අරගලයේ සංකේතයක් වූ කුරහන් සාටකයත් කරපින්නා ගෙන බව ඔහු පාර්ලිමේන්තුව තුළදී හඬනගා කියා සිටියා. රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ යථාර්ථය දැන ගන්න එම ප්‍රකාශය හොඳටම ප්‍රමාණවත්.

වීදි සටන්කරුවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

presidentමේ අදීන සම්ප්‍රදායේ ආරම්භක මහා පුරුෂයන් දෙදෙනාගෙන් බාල සහෝදරයා වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පරපුරේ 2 වැනි පරම්පරාව 1970 දී දේශපාලනයට පිවිසෙනවා. එවකට 7 වැනි පාර්ලිමේන්තුවේ ලාබාලම තරුණ මන්ත්‍රීවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය දීර්ඝ දේශපාලන ගමන ආරම්භ කරනවා. එතුමාගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂී ලක්ෂණය තමයි පාර්ලිමේන්තුව තුළත් සමකාලීනව ඉන්පිටතදීත් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියදී පවා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අවධානයට යොමු වූ චරිතයක් බවට එතුමා පත්වුණා.

ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ මුල් වකවානුවේදීම සිදු වූ 1971 කැරළි සමයේදී පවා තරුණයන් වෙනුවෙන් එතුමා පෙනී සිටියා. එවකට තමා ද සාමාජිකත්වය දැරූ රජයේ කටයුතු කරමින්ම එම රජයට එරෙහිව නැගී සිටි තරුණයන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු කටයුතු කළා. එතුමා ජාතික හා ජාත්‍යන්තර බහු ජන සංවිධානවල නායකත්වය ගත්තා. 1989 සිට ආසන්න කාලපරිච්ඡේදය පුරා පැතිරුණු මහා භීෂණ සමයේ දී දැඩි පීඩනයට පත්ව සිටි තාරුණ්‍යය වෙනුවෙන් එතුමා නොබියව පෙනී සිටියා. මෙකල සිදු වූ අසාධාරණකම් වෙනුවෙන් ලෝක මානව අයිතිවාසිකම් සංවිධානවල අවධානය යොමුකරවා ගත්තා. නීතිය, යුක්තිය හා සාධාරණත්වය යටපත් වී කැළෑ නීතිය රජ වූ ඒ යුගයේ අහිමි වූ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට තරම් එඩිතර කමක් ඔහු තුළ තිබුණා.

කම්කරුවාගේ, ගොවියාගේ, තරුණයාගේ හා ශිෂ්‍යයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමතැනම හැමවිටම පෙනී සිටියා. ඔහු මේ රටේ බිහි වූ හොඳම වීදි සටන්කරුවන්ගෙන් කෙනෙක්. මේ සැමකින්ම ලබාගත් පන්නරය හා දැනුම තුළින් නව චින්තනයකට මග හෙළි කරගත්තා. ලෝකයේ මෙතෙක් බිහි වූ සෑම චින්තකයෙක්ම හා රාජ්‍ය නායකයෙක්ම සිය දීර්ඝ අත්දැකීම් සම්භාරයෙන් තමයි පරිනතභාවය ලබාගෙන තියෙන්නේ. පුරා අවුරුදු 40 කටත් වඩා තමා විසින් උපයා ගත් අත්දැකීම් සම්භාරයත්, තම පැරැණි පරපුරෙන් ලබාගත් පෝෂණයත්, සම්මිශ්‍රණය කොට රට නවමු මාවතකට ගෙන යාමට එතුමා කටයුතු කරමින් සිටිනවා. රාජපක්ෂ පරපුර මහින්ද රාජපක්ෂ පරපුර වශයෙන් හැඳින්වීම යුක්ති යුක්ත වන්නේ ඒ නිසාය. 1970 සිට 2005 දක්වා ඉතා ටික කලක් හැර මහා කාල පරිච්ඡේදයක් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා.

මන්ත්‍රීවරයෙක් ලෙස හා විවිධ විෂයයන් යටතේ විවිධ ඇමැති ධූර දරමින් හා විපක්ෂ නායක ධූරය දරමින්ද එමෙන්ම අග්‍රාමාත්‍ය ධූරය දරමින් ද එතුමා කටයුතු කරලා තියෙනවා. මේ සෑම භූමිකාවක් තුළදීම තම ක්ෂේත්‍රයට අදාළ අනුස්මරණීය සේවාවක් එතුමා කරලා තියනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දීර්ඝතම කාල පරිච්ඡේදයක් ගතකළ දේශපාලනඥයන් කීප දෙනාගෙන් කෙනෙක් හැටියට එතුමා ද ඉතිහාස ගතවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවත්නා ව්‍යවස්ථාමය උත්තරීතර පදවිය වූ ජනාධිපති ධූරය ලබාගැනීමේ වාසනාව රාජපක්ෂ පරපුරෙන් හිමිකර ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, එය ශ්‍රී ලාංකිකයෙකුට ලබාගතත හැකි උච්චතම පදවි සම්ප්‍රාප්තිය යි. මෙය ලබාගැනීම ආකස්මික සිද්ධියක් නොවේ. දිගු ගමනක හා දිගු පරිත්‍යාගයක අග්‍ර ඵලයයි.

ජාතික තලය ඉක්මවා ගොස් ජාත්‍යන්තරය දක්වා එතුමාගේ ක්‍රියා කලාපයන් ගමන් කරලා තියෙනවා. එමෙන්ම සමහරු එතුමාගේ ක්‍රියා කලාපයන් විමර්ශනයට ලක්කරනවා. අගය කරනවා. අපහාසයට සහ උපහාසයටත් ලක් කරනවා. ඒ තරම්ම මේ චරිතය හරවත් - ඔදවත් - තෙදවත් මෙන්ම මතභේදාත්මක යි. ශ්‍රීී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් මහා ව්‍යසන දෙකකට එතුමා මුහුණ දුන්නා. එකක් සුනාමි ව්‍යසනය. අනෙක උඩු දුවලා තිබුණ ත්‍රස්තවාදය මේ දෙකම එතුමා මනා ලෙස කළමනාකරණය කළා. එනිසා මෑත යුගයේ බිහි වූ මහා දේශපාලන කළමනාකරුවා හැටියට එතුමා ඉතිහාසයට එක්වෙනවා. එනිසා රාජපක්ෂ දේශාලනයේ අග්‍ර භූමිකාව මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තවදුරටත් කරගෙන යන බව කියන්නට පුළුවන්.

දෙවැනි පරම්පරාවේ දෙවැනියා ලෙස දේශපාලනයට පිවිසෙන්නේ චමල් රාජපක්ෂ මැතිතුමායි. 1989 පැවැති මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වශයෙන් එතුමා පාර්ලිමේන්තුවට පිවිසෙනවා. එතැන් සිට පුරා අවුරුදු 22 ට ආසන්න කාලයක් එතුමා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කටයුතු කර තියෙනවා. මේ කාලය තුළ මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා අමාත්‍යවරයෙක් හැටියට තමා වෙත පැවරුණ කාර්යභාරය ඉතා උසස් අන්දමින් එතුමා ඉටු කරලා තියෙනවා. සැලසුම් සහගතව යම් කාර්යකට පිවිසීම ඔහුගේ ජීවිතයේ මාහැඟි ලක්ෂණයක්.

ඩී.ඒ.රාජපක්ෂ මහතා තුළ තිබූ තැන්පත්කම නිහතමානීකම හා අනෙකාට සවන්දීමේ උතුම් ගුණය නොඅඩුව චමල් රාජපක්ෂ මැතිතුමාගෙන් විද්‍යාමාන වෙනවා. යම් වැඩකට ප්‍රවේශවීමට ප්‍රථමයෙන් ඒ සදහා පූර්ව සූදානමක් වීම ඔහුගේ ක්‍රියා කලාපය තුළින් සෙසු අයටද ගතහැකි ආදර්ශයක්. විශේෂයෙන්ම කෘෂිකර්මය හා ජල කළමනාකරණය පිළිබඳ එතුමන් තුළ ඇත්තේ නෛසර්ගික හැකියාවක්. නිරන්තරයෙන්ම කාර්යයක නිරතවීම මිනිසුන් සමග නිරන්තර සංවාදය ආදිය යහපත් දේශපාලනඥයකු තුළ තිබිය යුතු අපූරු ගති ලක්ෂණ කීපයක්. චමල් මහතා මේ චර්යාවන් තමාගේ ජීවිතයට ආවේණික ගතිපැවතුම් බවට පත්කර ගෙන තියෙනවා.

දේශපාලනඥයකු හැටියට පාර්ලිමේන්තුවට පිවිසීම එම දේශපාලනඥයාගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයක්. අමාත්‍ය ධුරයක් ලබා ගැනීම තවත් අවස්ථාවක්. මේවා දුර්ලභ අවස්ථා වූවද පාර්ලිමේන්තුවේ සුලභ අවස්ථාවන්. එහෙත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම තනතුර වූ කථානායක ධූරය හෙබවීම අතිශය දුර්ලභ අවස්ථාවක්. අපේ රටේ කථානායක ධූරය හොබවා ඇත්තේ ඉතා අතලොස්සක් පමණ පිරිසක්. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පූජණීය තනතුර හෙබවීමට ලැබීමද භාග්‍යයක්. චමල් රාජපක්ෂ මහතාට මෙම තනතුර ලැබීම ඉතා සුදුස්සෙකුට ඉතා සුදුසු තනතුර ලැබීමක් හැටියට හැදින්වීමට හැකි යි.

සිය පියාණන් හෙබ වූ නියෝජ්‍ය කථානායක ධූරය එතුමාගේ වැඩිමහල් පුතණුවන්ට සම්පූර්ණ කිරීමට ඉතිහාසය අවස්ථාවක් සලසා දී තියෙනවා. එපමණක් නොවේ මේ තනතුර චමල් රාජපක්ෂ මහතාගේ සහ රාජපක්ෂ පරපුරේ දේශපාලනය සම්භාවනීය කිරීමටත් හේතු වාසනා වී තියෙනවා. දෙවැනි පරම්පරාවේ තෙවැනියා හැටියට පාර්ලිමේන්තු දේශපාලනයට බැසිල් රාජපක්ෂ මහතා පිවිසෙන්නේ 2007 වර්ෂයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු හැටියටයි. එතුමා එතැන් සිට ආර්ථික සංවර්ධන ඇමැතිවරයා හැටියට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා.. 2010 පැවැති මහමැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු එතුමා දිස්ත්‍රික් නායකයා හැටියට වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා.

රට සංවර්ධනය කිරීමේ රාජ්‍ය කාර්යභාරය මුලුමනින්ම වාගේ ඔහු විසින් භාරගෙන ක්‍රියාත්මක කරනවා. යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැඟෙනහිර ප්‍රදේශ සංවර්ධනය කරා ගෙනයාමේ මහා නියමුවා හැටියට කටයුතු කරන්නේ එතුමායි. මේ සඳහා නැගෙනහිර නවෝදය සහ උතුරු වසන්තය යන නව සංවර්ධන සංකල්ප හඳුන්වාදෙමින් සංවර්ධනයේ නව මංපෙත් විවර කරගැනීමට එතුමා සමත් වූවා. ගම නැඟුම, මඟ නැඟුම , ගැමි දිරිය, දිවි නැඟුම ආදී සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍ය නවතාලේ මෙහෙයුම් ගණනාවක් එතුමා හඳුන්වා දී තියෙනවා. ඊට අනුසාංගික සියලුම සානුබලයයන් ඒකරාශී කර ගන්නට එතුමා සමත් වෙලා තියෙනවා. අතිශයින්ම කාර්යශූර එතුමා සැලැසුම් සහගතව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මනා නිපුණත්වයක් ලැබුවෙක්.

සිය වැඩිමහල් සහෝදරයා වූ ජනාධිපතිතුමාගේ දේශපාලන ගමන්මගේ නොපෙනෙන මෙහෙයුම්කරුවා ඔහුය.. 1970 සිටම සිය දේශපාලන සංවිධායකත්වය මොනවට ප්‍රදර්ශනය කර ඇති ඔහු රාජපක්ෂ පරපුරේ මෙතෙක් බිහි වූ මහා සැලසුම්කරුවා ලෙස හැඳින්වුවොත් එය නිවැරැදියි. සියවැඩිමහල් සහෝදරයා වෙනුවෙන් 1970 සිට මේ දක්වා පැවැති සෑම මහමැතිවරණයක්ම පාහේ මෙන්ම ජනාධිපතිවරණයන්ද මෙහෙය වූ ඔහු ඒ සඳහා ලබා ඇති පරිණතභාවය අනුපමේයයි. සෑම ක්ෂේත්‍රයක් ගැනම පවත්නා සිරස් සහ තිරස් දැනුම ඔහුගේ සාර්ථකත්වයට පිටිවහලක්. යම්කිසි කාර්යකට එතුමා ප්‍රවේශවන්නේ නම් එය අනිවාර්යයෙන්ම සාර්ථක වන බවට මේ රටේ ජනතාවගේ පිළිගැනීමක් තියෙනවා.

Gotabayaඑම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම ඉතා අසීරු කටයුත්තක්. එතුමා කුරිරු යුද්ධය ජයග්‍රහණය කරවීම සඳහා සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ සැබවින් ම ජාති හිතෛශියෙකු වූ ද යුද්ධයේ මහා මෙහෙයුම් කරුවා වූ ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග එක්ව කටයුතු කළ ආකාරය මේ රටේ ජනතාව සදාකල් අගය කරනවා. මේ සහෝදර සුසංයෝගය ජාතියට විමුක්තිය උදා කරදීමට සමත් වුණා. රාජපක්ෂවරුන්ගේ මේ සහෝදර සන්ධානය පුරාණයේ සිංහල රාජ වංශයේ සහෝදර සබැදියාව සිහිපත් කරවන්නක්.

මේ අතර වාරයේ රාජපක්ෂ තෙවැනි පරම්පරාව ද දේශපාලන කරළියට පිවිසෙනවා. ප්‍රථමයෙන්ම දිවංගත ජෝර්ජ් රාජපක්ෂ මහාතගේ දියණිය වන නිරූපමා රාජපක්ෂ මහත්මිය පළාත් සභා මන්ත්‍රීවරියක වශයෙන් 1994 දී දේශපාලනයට එනවා. එසේම එම වර්ෂයේදීම එතුමිය හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරියක වශයෙන් පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසෙනවා. එතැන් සිට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිවරියක වශයෙන් ජනතාවට සේවය කරන අතර, ඇගේ සොහොයුරා වූ ශ්‍යාමලාල් රාජපක්ෂ මහතා ද 1999 දී දකුණු පළාත් මන්ත්‍රීවරයෙකු වශයෙන් දේශපාලනයට පිවිසෙනවා. කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස 2009 දී දේශපාලන ගමන් මඟ ආරම්භ කරනවා.

මෙය රාජපක්ෂවරුන් තම නිජ බිම වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිටත දී ලබාගත් පළමු වන දිස්ත්‍රික් ජනතා ජයග්‍රහණයයි.මෙහි දෙවැනි අවස්ථාව බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමයි. මේ දේශපාලන සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්නට තෙවැනි පරපුරෙන් තවත් නවකයෙක් වූ නාමල් රාජපක්ෂ මහතා 2010 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනවා. ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව ලන්ඩන් සරසවියෙන් නීති උපාධිය ලැබූ තරුණයෙක්. තාරුණ්‍යයට හෙටක් සංවිධානය ගොඩ නගා තරුණයන් ඒකරාශී කරගෙන නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සිටින ඔහු මේ රටේ පොදු ජනතාවගේ හද ගැස්ම මැනවින් අවබෝධකර ගත් නායකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්.

1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට මේ දක්වා රාජපක්ෂවරුන් 09 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියනවා. දැනට හතර දෙනෙක් සහ ජනාධිපතිවරයෙක් ඇතුළු පස්දෙනෙක් එම පරපුර නියෝජනය කරමින් ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ තනතුරු හොබවනවා. පළාත් සභා මහ ඇමතිවරයෙක් ඇතුළු ජනතා නියෝජිතයෝ 06 දෙනෙක් මේ වන විට දේශපාලන කරළියේ සිටිනවා. මුළු රාජපක්ෂ පරම්පරාවෙම දේශපාලනයේ නියැලුනු රාජපක්ෂවරුන් 11 දෙනෙක් සිටිනවා. මෙවන් පරපුරක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වෙලා නැහැ. මේ රටේ බිහි වූ කීර්තිමත් වෙනත් දේශපාලන පවුල්වල සංඛ්‍යාව හා දේශපාලනය කළ කාල පරාසය ද බෙහෙවින් අඩුයි. ආසියානු කලාපයේ මේ මට්ටමට දේශපාලනයට ප්‍රවේශ වුණු පවුල්වල සාමාජික සංඛ්‍යාව ද මීට වඩා අඩුයි.

අනෙක් කරුණු තමයි මෙය පරම්පරා තුනක සම්ප්‍රාප්තියක්. කාලයේ තාලයට ගොඩනැගුණු දේශපාලනයක්, යටත්විජිත යුගයේ දේශපාලනයේ සිට ජන සම්මත වාදය දක්වා ගමන් කිරීමක්. තවත් විශේෂ කාරණයක් නම් මේ දේශපාලන සම්ප්‍රදාය ඉදිරියට ගලායන නොනවතින දහරාවක්. ඒ සඳහා පෙර නිමිති දැනටමත් පහළ වෙලා තියනවා.  මෙය ශ්‍රී ලාංකේය මොඩලය හඳුනාගත් දේශපාලන සම්ප්‍රදායක්. මේ මොඩලය අතිශය විප්ලවවාදී එකක් නෙමෙයි. එමෙන්ම කොම්ප්‍රදෝරු ධනේශ්වර එකකුත් නොවේ. මේ රටේ බහුතර ජනතාවගේ හද ගැස්ම මැනවින් හඳුනාගත් දේශපාලන ප්‍රවාහයක්. මේ ප්‍රවාහය තුළ පවත්නා වූ වාමවාදී මානුෂීය ගුණයට සහ දේශ හිතෛශී සංවර්ධන ක්‍රියාවලියට ජනතාව බෙහෙවින් ඇලුම් කරනවා.

තවත් අතකින් බුදු සමය විසින් හික්මවන ලද සහ දේශීය චින්තනය විසින් ඔපවත් කරන ලද හිංසනයන්ගෙන් තොර අනෙකාට උදව්කරන නිසි තැන අරගල කරන, සෙසු තැන නිහඬ වන, අන්මත ඉවසන අපූරු තාලයේ දේශපාලන සම්ප්‍රදායක්. මෙය ගොඩනැගී ඇත්තේ අපේ පෞරාණික සංස්කෘතියෙන් පෝෂණය ලබාගෙන, ජනතාවගෙන් පන්නරය ලබා ගෙන ජනතාව වෙතින්ම බව ඉඳුරා පැහැදිලියි.  එනිසා මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ මහා දේශපාලන සම්ප්‍රදාය ගොඩනගන්නට මහින්ද රාජපක්ෂ පරපුර සමත්වෙලා තියනවා.

සටහන
මහින්ද පතිරණ
පී.එච්.ජී. ප්‍රේමසිරි