Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග හැට වසරක ප්‍රෞඪත්වය

හැට වසරක ප්‍රෞඪත්වය

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 60 වසරක් පිරීම නිමිත්තෙනි

f1109011-1ශ්‍රී ලාංකේය දේශපාලන ධාරාවේ අඩ සිය වසකුත් දශකයක් එනම් 60 වසරක් සපුරන ප්‍රබුද්ධයා ශ්‍රී ලාංකේය ජන සංධානය තුළ සිය දැවැන්ත රූප කායෙන් යුතුව නැඟී සිටිමින් ජීවිතාලෝකනයෙහි නිරත වෙයි. සැබැවින්ම 60 වසරක් යනු සක්‍රීය දේශපාලන පක්ෂයට සාඩම්බර විය හැකි කාල පරිච්ඡේදයකි. ඒ සැබෑ උරුමක්කරුවී නම් මේ රටේ පොදු මහජනතාවගේ දරුවෝ වෙති.

f1109011-2පසු කළක පනස්හයේ දරුවන් ලෙස ලාංකේය සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේ්ශපාලන ක්ෂේත්‍රයේ දිදුළන තරු බවට පත් වන්නේ පනස් හයේ නිහඬ විප්ලවයෙන් පසු උසස් අධ්‍යාපනය ලබා රටේ පරිපාලන සහ ආර්ථික බල කේන්ද්‍රයන් හි සිය ආධිපත්‍ය පතුරන පීඩිත පන්තියේ දරුවන් ය.

පනහ දශකය ආරම්භයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ම පත්‍රය සැකසෙන්නේ වර්තමානයේ මෙන් දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ හුදු සරල අරමුණු සහ පෞද්ගලික අභිමථාර්ථ සාධනය කර ගනු පිනිස නොවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ප්‍රගතිශීලි ජනතාවාදි පක්ෂයක් සඳහා වන පුළුල් රික්තකයක් එකි වකවානුවේ ගොඩනැගිමින් තිබිණි. නිදහසින් පසු එළඹි තෙවැනි වසර වන විට පැවැති දේශපාලන පසුතලයේ භූකම්පනයක් හේතුවෙන් එකී අවශ්‍යතාව වඩාත් මුහුකුරා යන්නට විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භයට මෙකී සමාජ පෙළ ගැස්ම අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබුණේය. හැට වසරක කඩඉම සිට ආපසු හැරී බලන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආ ගමන් මඟ පුරා පැතිර තිබෙණුයේ සුව පහසු තැනිතලා ගමන් මාවතක් නොවේ. එහි ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග සේ ම මර උගුල්ද අපමණය. කළ නොදැන සොහොන් කොත්ද මඟ දෙපස ඉදිව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාතෘ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ඝාතනයෙන් පසු ඉදි කරනු ලැබූ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය පෙරටු කොට ගත් ප්‍රකට මෙන්ම අප්‍රකට පක්ෂ සාමාජික සාමාජිකාවන්ගේ සොහොන් කොත් මඟ දෙපස සීරුවේ නැගී සිටිමින් උදාර පක්ෂයක් වෙනුවෙන් දිවි දුන් ආදරණීයන් පිළිබඳ මතකය අප සිත් තුළ නිබඳව ජීවමාන කරනු ලබන්නේ ය. හොරගොල්ල සමාධිය යනු බණ්ඩාරනායක වරුන්ගේ සොහොන් කොත පමණක් නොව පක්ෂය වෙනුවෙන් දිවි පිදූ සියලු පාක්ෂිකයන් ද නියෝජනය වේ.

ජනතා අයිතීන් වෙනුවෙන් වීදි බට වීර්යවන්තයන් මෙන්ම පොදු ජන අයිතීන් වෙනුවෙන් අසූවේදී පාරට බැස වැඩ වර්ජනය කළ අභීත ජනතා පුත්‍රයෝ ද 88 – 89 භීෂණයේ දී නිදහස් පාක්ෂිකයන් වීමේ හේතුවෙන් නාදුනන තුවක්කු කරුවන්ගේ මහා බිලි පූජාවට දිවි දුන් නිරායුධ අහිංසක පාක්ෂිකයන්ගේ ආත්ම ද හැට වසරක ගමන් මග අද්දර සමාදානයෙන් සැතපී සිටිති. ඔවුන් දිවි පිදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසාවෙනි. ඔවුන්ගේ දරු පවුල් පාරට ඇද වැටුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය වෙනුවෙනි.

වර්තමානයේ දැවන්ත වෘක්ෂයක් සේ දසත අතු පතර විහිදා ප්‍රෙඩ අභිමානයෙන් නැගී සිටිනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ පළමු පියවර එසවෙන්නේ 1951 වසර ජුලි 12 වනදා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එක්සත් ජාතික පක්ෂ රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය පදවිය හා සභානායක පදවිය හැරදමා විපක්ෂයට පිය නැඟූ මොහොතේ ය.

ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ෂයක් තැබූ ඒ ඓතිහාසික සංක්‍රාන්තියේ දී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සමඟ විපක්ෂයට පැමිණි පිරිස අතරේ එතුමාගේ සෙවනැල්ල සේ සිටියේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාය. ඒ සමඟ ඒ. පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩී. එස්. ගුණසේකර සහ ජෝර්ජ් ආර්. ද සිල්වා මහතාද වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්පත්තිය සිදු වන්නේ එවන් අසමානනීය පරමාදර්ශි සැබෑ ශ්‍රී ලාංකේය පුත්‍රයන් රැසකගේ සමූහික පරිත්‍යාගයේත් අවංක කැපවීමේත් ප්‍රතිඵලයක් ලෙසිනි.

හතළිස් හත් දෙනෙකුගෙන් සමන්විත පක්ෂයේ ආරම්භක කැඳවුම්කරුවන් අතර බර්නාඩ් අළුවිහාරේ, බද්උද්දීන් මහමුද්, සී. ආර්. බෙලිගම්මන, ඩී. ඒ. රාජපක්ෂ ආදී එවක දේශපාලන කරලියේ පතාක යෝධයන් සේ වැජඹුණු ප්‍රභූවරුන් රැසක් සිටියහ. එකී හතළිස් හත් දෙනාගේ කණ්ඩායම සියලු ජාතීන් නියෝජනය කළ උගතුන් වියතුන් ප්‍රාඥයන් සේම පරිණත දේශපාලකයන් සුසැදි සුපිරි බුද්ධිමතුන්ගේද දේශප්‍රේමින්ගේ ද එකතුවකි.

1951 වසරේ සැප්තැම්බර් 02 වැනිදා කොළඹ නගර ශාලාවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භක රැස්වීමේදී මහනුවර සමාජවාදී පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එච්. ශ්‍රී නිශ්ශංක මහතා නව පක්ෂය ආරම්භ කිරීමේ යෝජනාව සභාගත කළේය.

අභිනවයෙන් පිහිටුවන ලද දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් හැඳින්විය යුතු යැයි යෝජනා කරන ලද්දේ එවක කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ව සිටි එච්. ශ්‍රී නිශ්ශංක මැතිතුමාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සදා කාලින ව බැඳී නාමයක් බවට එච්. ශ්‍රී නිශ්ශංක මැතිතුමාගේ නාමය ඉතිහාස ගත වේ. අපරාජිත මෙන්ම ශ්‍රී ලාංකේය ජන මතයේ තිරසාර ලෙස කැටපත් කෙරුනු නමක් මෙම උදාර පක්ෂයට ලබාදීම සහ ආර්ථික දුෂ්කර අවධියේ සුවිශේෂ කාර්ය භාරයක් එතුමාගෙන් ඉටු කෙරුනි.

f1109011-3

ශ්‍රී ලංකාවේ සිව් වන අග්‍රාමාත්‍යවරයා වශයෙන් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රී මතාණන් 1956 අප්‍රේල් 12 වනදා සිංහල අලුත් අවුරුද්ද එළැඹෙන්නට හෝරා කිහිපයක් තිබියදී දිවුරුම් දුන්නේ සිංහල සිරිතට විරිතට මුල් තැන දෙමිනි.

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා වැනි ප්‍රගතිශීලි අදහස් දරන වාමවාදී ජන නායකයකු අගමැතිවරයා වීම පිළිබඳව එදවස ලොව ප්‍රමුඛ බටහිර ජාතීන් සසල වූ බවට එවක පළ වු ජාත්‍යන්තර පුවත් සාක්ෂි දරයි.

ආසියාවේ ජනතා වාදී ප්‍රගතිශීලි නායකයන් කෙරෙහි ධනවාදි රටවල් ප්‍රමුඛ බටහිර ජාතීන් එදා මෙදා තුර දක්වන සතුරු ආකල්පයේ ස්වරූපය අද දවසේ ද අංශු මාත්‍රයකින් වෙනස් වී නොමැති බව වත්මනයෙහි මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි දක්වන ක්‍රියා පිළිවෙත තුළින් සනාථ වෙයි.

මෙම පක්ෂය තරම් බිහිසුනු ඛේදවාචකයන්ට ගොදුරු වූ වෙනත් පක්ෂයක් නැති තරම්ය. 1959 දී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට එල්ල වූ කෲර වෙඩි පහරේ දෝංකාරයෙන් ඇරඹෙන ඝාතන රැල්ල සහ ලේ වැගිරෙන සංස්කෘතිය යාපනය දොරේඅප්පා ඝාතනයෙන් නතර නොවේ. 88/89 භීෂණ සමයේ ගම්බද අහිංසක අසරණ නිරායුධ පක්ෂ සමාජිකත්වය පවා සැහැසි ලෙස ගොදුරු කර ගත්තේ ය. ඉන්ද්‍රපාල අබේවීර, යාලේගම ඝාතන නිදසුන් කිහිපයක් පමණි.

1956 වසර රජයට එරෙහි දැවැන්ත වැඩ වර්ජන රැල්ල, 1962 පොලිස් හමුදා කුමන්ත්‍රනය, 1964 ලේක් හවුස් පනතට එරහිව එක්සත් ජාතික පක්ෂය විසින් රජය පෙරළා දැමීම, 1971 කැරැල්ල, 1976 සමඟි පෙරමුණ, දෙදරා යාම 1980 දී මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, බණ්ඩාරනායක පවුලේ අවුල් වියවුල් නිසා බහු ජන පක්ෂය සහ මහජන පක්ෂය බිහිවීමත් නිසා පක්ෂය දුර්වල වීම 1999 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට එල්ල වූ බෝම්බ ප්‍රහාරය වැනි සිදුවීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 60 වසරක ඉතිහාසය තුළ අත්විඳී බරපතළ අභියෝගයන් ය.

එසේම එකී තර්ජන එතකින් නිමා වූයේ නැත. 2005 මානුෂීය මෙහෙයුම මඟින් ත්‍රස්තවාදයට එරහි ප්‍රහාර සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එල්ල වූ මරණ තර්ජන අතිමහත් ය. අදද එතුමාට සතුරු බලවේග ඉතා දැඩිය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි අභියෝගයන්ගෙන් පැරද පසුබසින පක්ෂයක් නොවේ. සියළු විපත් මැඩගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේත් වර්තමානයේත් එඩිතරව නැගී සිටියේ ය. අනාගතයේත් එය එසේමය. මේ රටේ දුක් විදින ජනතාවගේ හේතුවාසනා ගුණය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වල දැමීම කිසිවකුට හෝ කිසිදු බලවේගයකට කළ නොහැකිය.

එහි සවිමත් පදනම ගොඩනැගුනේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහ බලවේගයන්ගේ එකතුව හා දේශප්‍රේමත්වය තුළින් උපන් දේශයේ හැඟීම කේන්ද්‍ර කර ගනිමිනි. බටහිරෙන් නිරන්තරව හමා ආ චන්ඩ මාරුත ඛ්මුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් දැවැන්ත ගිරි කුල සසල නොවුයේ ශ්‍රී ලාංකිකත්වය නම් පොදු සාධකය එහි ගැඹුරට කාවද්දා ගොස් තිබුණු හෙයිනි. එය අඩපණ වූ සෑම අවස්ථාවකම යළි පෙරටත් වඩා ජව සම්පන්නව නැගී සිටියේ මෙරට ප්‍රගතිශීලි ජනතාවගේ ලක්ෂ සංඛ්‍යාත දෑත් හැම විටම මහ පවුරක් සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා නැගි තිබු නිසාය. ඒ 60 වසරක් ජනතාව සමග වූ පක්‍ෂයක් නිසාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වියපත් දැඩි ව්‍යවස්ථාමය රාමු වලින් බැදි සිටි ඇතැම් පක්ෂ පිල් බෙදී දෙදරී කැබලිවලට කැඩී විසිරී යද්දී ඇතැම් පක්ෂ ඉතිහාසයට එක්වූ නාම මාත්‍රික පක්ෂ බවට පත් වෙද්දිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදටත් යාවත්කාලීන පක්ෂයක් ලෙසින් ජනතාව සමඟ හුස්ම ගන්නේ අති ප්‍රබල ජන්ම නැකතක්, පක්ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවන සාමාජිකත්වයකුත්, පක්ෂය විසින් උත්පත්ති උරුමයක් විසින් දිනා සිටින නිසාය.

ඇතමුන් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යනු එක ම කාසියක දෙපත්තක් බවය නොඑසේ නම් ධනවාදයේ දෙබිඩි ඵලයක් බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිත්වය ප්‍රතිපත්ති මාලාව න්‍යාමිගත දැක්ම සහ ගමන් මග නිවැරදි ව නිරීක්ෂණය කරන කිසිවකු එකී මතවාද පිළිගන්නේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර වෙනස්කම අහස පොළව මෙනි.

දේශීය කර්මාන්ත සහ දේශීය කර්මාන්ත නගා සිටුවීම, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම, ජන සතු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම, මතට තිත, දේශීය චින්තනය පදනම් කර ගත් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ස්ථාපනය කිරීම, දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් තුළින් දීර්ඝ කාලීන සංවර්ධනය සඳහා යොමු වීම, නව විෂයාත්මක හා ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධ අධ්‍යාපන රටාවක් හඳුන්වා දීම සේම, නිවැරදි විදේශ ප්‍රතිපත්තියක පිහිටීම වැනි පෙරටුගාමි දැවැන්ත ආකල්ප සමාජගත කිරීම මෑත කාලීන මේ මහ පොළව මත මහ අශ්චර්යන්ය.

කම්කරු අයිතීන්ට ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ගේ සුබ සාධනය සඳහා ඓතිහාසික ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කරන ලද්දේ කවර යුගයන්හිදැයි මේ රටේ ජනතාව හොඳින් දනී.

මේ සියල්ලට සාපේක්ෂ ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතය පුරා ලාංකීය ජන ආත්මය සමග අභියෝජනිය දැඩි කර බන්ධනයකින් ඒකාත්මික වන්නේ වසර කිහිපයක් පුරා යුද භීෂණයෙන් රට ම ත්‍රස්ත කළ යුද්ධය නිමා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන රජය හේතුවෙනි.

එකී විජයග්‍රහණය කිසිදා ශ්‍රී ලාංකේය ඉතිහාසයෙන් හෝ අද ජීවත් වන්නා වූද කිසිවකුගේ හෘද සාක්ෂියෙන් මකාලිය නොහැකිය. එය ඉතිහාසයේ අමරණීය සටහනකි. මහින්ද රාජපක්ෂ යුගය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ එළැඹ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතු නොව ශ්‍රී ලංකාවේ සමස්ත ධරණිතලයේ ස්වර්ණමය යුගයක් කරාය. එදා යුගයේ බණ්ඩාරනායක චින්තනය ලෙසින් පදනම් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2005 සිට මහින්ද චින්තනයෙන් අලුත් ගමනක් ආරම්භ කර අලුත් රටක් ගොඩනැගුවේය. ඒ අලුත් ගමන අප තවත් වේගවත් කළ යුතුය. වසර 60 ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තරම් ශක්තිමත් වූ අද තරම් බල සම්පන්න වූ යුගයක් එහි ඉතිහාසය තුළම නැත.

ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය සියලු පළාත් සභාවන්හි බලය පළාත් පාලන ආයතනයන්ගේ බහුතර බලය, මහින්ද රාජපක්ෂ යුගය තරම් ඉතිහාසයේ කිසි දිනක ජනතාවගේ ඡන්දයෙන් මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී පදනම තුළ ශක්තිමත්ව, ප්‍රබලව ජයග්‍රහනය කළ අවස්්ථාවක් අප දැක නැත. අනාගත රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉටු කරන්නට ඇති කාර්ය භාරය අතිමහත්ය. 60 වසරක ප්‍රෞඪත්වය රැක ගනිමින් නව සිය වසට ගැළපෙන නව චින්තනයෙන් ගැලපෙන රටක් සමඟ පෙරට යාමේ අභියෝගය ඔස්සේ අප අද ගමන ආරම්භ කර ඇත්තෙමු.

මහින්ද චින්තනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් අපගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය එලෙස ම රැක ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් 60 හැවිරිදි මහ දේශපාලනික ප්‍රාඥයා ආසියාවේ ආශ්චර්ය මේ කුඩා පුණ්‍යවන්ත භූමියේ නිර්මාණය කරන අයුරු අප දෑස් අභියස යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නො වේ.

මෛත්‍රීපාල සිරිසේන

- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්