Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග රටට සැබෑ නිදහස දිනා දුන් බලවේගය ශ්‍රීලනිපයයි

රටට සැබෑ නිදහස දිනා දුන් බලවේගය ශ්‍රීලනිපයයි

  • පී.ඩී.එෆ් (PDF)
04

අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවත්සර උළෙලේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව

මිත‍්‍රවරුනි,

අද අපි අපේ පක්ෂයේ හැට වසර සම්පූර්ණ කරනවා. පක්ෂයේ උපන් දිනය අපි සමරනවා. පක්ෂයක් වසර 60ක් සම්පූර්ණ කරනවා කියන්නේ ඉතා ම පරිණත යුගයකට අවතීර්ණ වෙනවා කියන එකයි. මේ වෙනකොට අපි නිදහසින් පසු මම හිතන්නේ අවස්ථා හයක දී රට පාලනය කරලා තියෙනවා. ඉතා තීරණාත්මක යුග පහුකරලා තියෙනවා.

මිත‍්‍රවරුනි, අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා ගොඩනගපු දේශපාලන පක්ෂයක් බව මා ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑ. බණ්ඩාරනායක මැතිතුමා විතරක් නෙවෙයි හිටපු දේශපාලන නායකයින්ගේ ජීවිත මේ පක්ෂය වෙනුවෙන් පුද කළා. හිරේ විලංගුවේ වැටිලා ගොඩනගපු දේශපාලන පක්ෂයක් බව කියන්න ඕනෑ.

ඔබ හැට වසරක ඉතිහාසය පිළිබඳ කෙටි වාර්තාවෙන් ඔබට එය වඩාත් පෙණුනා. අපි මේ ඉතිහාසය ඇත්ත වශයෙන් ම මතක් කරන්නේ, පුන පුනා කියන්නේ මේ අවස්ථාවේ අපේ යුතුකමක් හා වගකීමක් තියෙනවා ඔවුන්ට ගෞරව කරන්න, මේ පක්ෂයට නායකත්වය දීපු, පක්ෂය වෙනුවෙන් කැප වුණු ඒ මහා විරුවන් වෙනුවෙන්. ඔවුන්ට ගරු කරන්න ඕන. ඒ ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගන්නත් ඕන.

1951 ජූලි 12 වෙනිදා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මැතිතුමා ඩී.ඒ. රාජපක්ෂ මගේ පියාත් එක්ක එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් විරුද්ධ පක්ෂයට ගිහින් වාඩි වුණේ ඒ මහත් බලාපොරොත්තු ඇති ව. මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යෝධ කි‍්‍රයාදාමයක් තියනවයි කියන විශ්වාසය ඇතුවයි එතුමා ගියේ. එතුමා එදා තනිව ම නොවෙයි ඒ කාර්යය කළේ. විපක්ෂයේ ආණ්ඩුවේ නොයෙක් පාර්ශව එකතු කරගත්තා. අපේ අගමැතිතුමා කිව්වා වගේ ඊළඟ මැතිවරණයෙන් අපි විපක්ෂ නායකත්වයට පත් වෙන්න පුළුවන් වුණා මම හිතන්නේ අට දෙනෙක්. එදා එක්සත් ජාතික පක්ෂය හැර ගිය සියලු දෙනාගෙන් ම ජයග‍්‍රහණය කළේ දෙන්නයි. ඒ බණ්ඩාරනායක මහත්තයත් රාජපක්ෂ මහත්තයත් පමණයි.

ඊට පස්සේ 1956 දී පොදු ජනතාවගේ ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒක නිකන් ම පිහිටෙව්වේ නෑ. ඒක තමයි ශ්‍රී‍්‍ර ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු සන්ධානය. එදා බණ්ඩාරනායක මහත්තයට පුළුවන් වුණා මහජන එක්සත් පෙරමුණත් එක්ක ඉදිරියට යන්න. දේශපාලන පක්ෂත් එක්ක එකතු කරගෙන පිලිප් ගුණවර්ධනලා වගේ වමේත්, දකුණෙත් දහනායකලා වගේ හිටපු අයත් එකතු කරගෙන තමයි ඒ පක්ෂය 1952 බලයට ආවේ. ගමේ පිබිදීමක් තිබුණා. ඒ ගම්වල පිබිදීම මොනතරම් ද කිව්වොත් ඒ ජනතාව ඇවිල්ලා, එදා පාර්ලිමේන්තුවට දුවගෙන ගිහින් කතානායක පුටුවෙත් වාඩි වුණා. ඒ පක්ෂයට ජනතාවගේ ආණ්ඩුව කියන හැඟීම ඔවුන්ගේ හදවතට දැනුනා. රෙද්ද බැනියම, සරම අදින මිනිසුන්ගේ පාර්ලිමේන්තුවක්, සාමාන්‍ය ජනතාවගේ පාර්ලිමේන්තුවක් බවට පත් වුණා.

මේ විදිහට පොදු ජනතාව බලයට පත්වෙන කොට ඒකට එරෙහි ව ප‍්‍රතිගාමී බලවේග නොයෙක් ද්‍රෝහී කුමන්ත‍්‍රණ කළා. මේ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය පුරා ම දේශීය විදේශීය කුමන්ත‍්‍රණවලට මුහුණ දීපු පක්ෂයක් අපි. අද විතරක් නොවෙයි පක්ෂයේ නිර්මාතෘවරයාගේ ඉඳන් මේ කුමන්ත‍්‍රණවලට මුහුණ දීලා තියෙනවා.

එදා මේ හැම දෙයකට ම මුහුණ දෙන්න ශක්තියක් අපේ පක්ෂයට තිබුණා. මේ යන ඉදිරි ගමන ප‍්‍රමාද කරන්න බණ්ඩාරනායක මහත්තයට විශාල කුමන්ත‍්‍රණ තිබුණා. දේශීය වගේ ම විදේශීය බලවේග එතුමියටත් විරුද්ධ ව වැඩ කළා. එතුමිය පොදු ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ගන්න ඕන තීන්දු ගත්තා. මම හිතන්නේ 1962 දී හමුදාව, පොලීසිය එකතු වෙලා කුමන්ත‍්‍රණයක් දියත් කළා. ඒ කුමන්ත‍්‍රණය පරාජය කරලා මැතිනියට පක්ෂය රැක ගැනීමට එදා තෙල් ජනසතු කරන කොට මේ පක්ෂයට ඊට පස්සේ ආපු අපේ පක්ෂයේ ම හිටපු කණ්ඩායමක් පක්ෂය කඩා ගෙන ගියත් ආපහු සියලු දේශපාලන පක්ෂ එකතු කරගන්න මැතිනියට පුළුවන් වුණා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂත් එක්ක ගිවිසුමක් ගහලා 1970 දි තුනෙන් දෙකේ මහජන වරමක් අරගෙන අපි බලයට ආවා. එදා ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව, ලංකාවට පූර්ණ නිදහස ලබාදීලා තෙල්, වතු ජනසතු කරලා මේ රටේ දේශීය ආර්ථිකයක් ගොඩනගා ගන්න විශාල වැඩකොටසක් කරගෙන ගියා. නමුත් 1975 දී සමසමාජ පක්ෂයත් සමගි පෙරමුණත් ඉවත් වුණා හෝ ඉවත් කළා. එතකොට හීනය හැබෑ වුණේ කාගෙද ? ජේ.ආර්. ඇතුළු යූ.එන්.පී. හීනය තමයි හැබෑ වුණේ. 1977 මහ මැතිවරණයේ දී අපිත් පරදයි. සමසමාජ පක්ෂයත් පරාදයි, කොමියුනිට්ස් පක්ෂයත් පරාදයි. පොදු ජනතාවත් පරාදයි. එදා පන්සල්වලට පැනලා හාමුදුරුවරුන්ට පහර දුන්නා. මැරුවා. සති දෙකක් පොලීසියට නිවාඩු දුන්නා. පහර කාපු, බැට කාපු පිරිසක් හිටියා ඒත් පක්ෂය අතහැරියේ නෑ. ඔවුන් දැඩි ව පක්ෂයත් සමඟ හිටියා. අපිට බොහෝ කාලයක් ගියා එකතු වෙලා වැඩ කරන්න. ඒ කාලේ අපි සියලු දෙනා මේ තියෙන තත්ත්වය අවබෝධ කරගෙන එකට වැඩ කරන්න පටන් ගත්තා ඒ ආණ්ඩුවලට විරුද්ධ ව.

ආයෙත් අපිට එකතු වෙන්න පුළුවන් වුණේ 1994 මැතිවරණයේ දී. කොයිතරම් බාධක තිබුණද කියලා තමුන්නාන්සේලා දන්නවා. ජන ඝෝෂා වේවා, පාද යාත‍්‍රා වේවා, මිනිස් දම්වැල් වේවා අපිට එකතු වෙලා කරන්න පුළුවන්කම තිබුණා.

1994 දී තමයි අපි පොදුජන එක්සත් පෙරමුණක් ආපහු ගොඩනැගුවේ. 1977 ඉඳලා පැරදිලා තිබුණ යුගය ඒ කටුක අත්දැකීම් විඳපු උදවිය ඉන්නවා මේ රටේ. ගුටිකාපු අය, හිරේ විලංගුවේ වැටුණු අය අපට මතකයි. තවමත් මේ පක්ෂය වෙනුවෙන් එදා මැරුම් කාපු පිරිස්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය ලැයිස්තු පිටින් අරගෙන ගිහින් මැරුවා. ඒවා අපට අමතක වෙලා නෑ. පක්ෂයට අමතක කරන්න පුළුවන්කමකුත් නෑ. ඒ යුගය. ඒ මිය ගිය නායකයින්. තර්ජනය කරලා ගුටි කාලා, පිහි ඇනුම් කාපු නායකයින්.

අපි 1994 දී ආණ්ඩුව පිහිටෙව්වා. ආණ්ඩුව 2001 වෙනකොට ආයෙත් බිඳ වැටුණා. 2004 දී අපි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂත් එක්ක එකතු වුණා. අපේ පක්ෂයට ශක්තියක් තිබුණා සියලු බලවේග එකතු කර ගැනීමේ වුවමනාව. එදා බණ්ඩාරනායක මහත්තයා අපේ පක්ෂයට ඒක ඉගැන්නුවා.

අපේ පක්ෂයේ මේ ගමන් මග දිහා ආපහු  හැරිලා බැලුවහ ම අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. අපි හැම වෙලාවෙ ම අමතක කරන්න එපා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මොන තරම් ශක්තිමත්ද කියලා. අපි මේ ඉතිහාසය බැලුවොත් අපේ සමගි වෙන්න, ප‍්‍රගතිශීලී කණ්ඩායම් එකතු කරගන්න සෑම මොහොතක ම අපිට අධිරාජ්‍යවල වුවමනාවල් පවා පරාද කරන්න පුළුවන් ශක්තිය තියෙන පක්ෂයක්. හැබැයි අපි වෙන්වෙලා ඉන්න සෑම මොහොතකදී ම අපිත් ඉවර වෙනවා. රටත් ඉවර වෙනවා. 

අපිට ආඩම්බර වෙන්න පුළුවන් පක්ෂයක්. අතේ ලේ තැවරිලා නැති පක්ෂයක් හැටියට. අපි කවදාවත් කුමන්ත‍්‍රණවලින් රාජ්‍ය බලය ඩැහැගත්ත පක්ෂයක් නො වේ. අපි මිනිස්සු මරලා බලය ගන්න කුමන්ත‍්‍රණය කරපු පක්ෂයක් නොවේ. කාවවත් මරන්නේ නැතිව ඒත් නොමරා මැරිලා පක්ෂයත්, රටත් ගොඩනගපු පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන එක මම කියනවා.

ඒ පක්ෂයේ නායකයා වගේ ම 1989 දහස් ගණනක් දකුණේත්, දොරේ අප්පා නගරාධිපතිතුමාගේ ඉඳන් තවත් විශාල පිරිසක් උතුරෙත්, ඝාතනයට ලක් වුණ බව ඔබට රහසක් නොවෙයි. 77න් පස්සේ ලංකා ඉතිහාසයේ දැවැන්ත විදිහට මැරුම් කෑව, පලිගැනීමට ලක් වුණ පක්ෂයක්. එහෙම වුණත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටට සැබෑ නිදහස දිනා දීපු පක්ෂය යි කියන එක මම මතක් කරනවා.

1956 දී අධිරාජ්‍ය ගැති රදල පන්තිය පරාද කරලා මේ රටේ පොදු ජනතාවගේ දරුවන්ට නිදහස ලබා දුන්නා වගේම 1972 දී ජනරජ ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කරලා බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් මුලුමනින් ම නිදහස් කරගත්තා වගේ ම 2009 දී ලෝකයේ දරුණු ම ත‍්‍රස්තවාදයෙන් මේ රට හැබෑවට ම නිදහස් කරගන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් වුණා. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ සැබෑ නිදහසත් එක්ක බැඳුණු දේශපාලන පක්ෂයක්, බලවේගයක්.

හාමුදුරුවනේ, මිත‍්‍රවරුනි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම විවෘත පක්ෂයක්. ඕනෑ ම මොහොතක ආගමනයටත්, විගමනයටත් ඉඩ තියෙනවා. බොහො ම පහසුවෙන් ඇරෙන වැභෙන දොරක් අපිට තියෙන්නේ. මේ දොරෙන් පිට වුණ බොහොම දෙනෙක් අනාථයි. මේකෙන් ඇතුළට ආව බොහෝ දෙනෙක් සනාථයි. ඒකයි මේ පක්ෂයේ තියෙන වටිනාකම. මේ පක්ෂය පොඩි මිනිහාගේ, රෙද්ද බැනියම අඳින මිනිහාගේ පක්ෂය බව ඇත්ත.

නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ පක්ෂය ගමට පමණක්, එක ජාතියකට, එක ආගමකට පමණක් සීමා වුණ පක්ෂයක් කියලා. මේ පක්ෂය සියලු දෙනාට ම පොදුයි. අද පිට රටවලත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඩිය ලෙළ දෙනවා. ඒ වගේ ම අපි ලෝකයටත් බොහෝ දායාද ලබාදීපු පක්ෂයක්. එදා මැද මාවත ලෝකයට පෙන්වා දීලා ඊළඟට නොබැඳි ප‍්‍රතිපත්තිය ලෝකයට හඳුන්වා දීලා ඊළඟට  ත‍්‍රස්තවාදයෙන් නිදහස ලබාගන්නේ කොහොමද කියන එක ලෝකයට කියා දුන්නේ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි.

මහින්ද චින්තනය ක‍්‍රියාත්මක කරලා ලෝක ආර්ථික අර්බුද හමුවේ නොවැටී සිටින්නේ කොහොමද කියලා ලෝකයට පෙන්වා දුන්නේ අපි. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ලෝකයේ ඕනෑ ම දේශපාලන පක්ෂයකට දෙවැනි නොවන දර්ශනයක් ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂයක් බව අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්.

අපේ අනාගත කාර්යභාරය කුමක්ද කියලා මේ මොහොතේ සිතා බලන්න ඕනෑ. අපිට ඉතිහාසය ගැන කතා කරමින් ඉතිහාසය ගැන උදම් අන අන ඉඳලා බෑ. අපි හැට වසරක් ආවා. අපි ඊළඟ 60 වසරෙත් මේ රට ගෙනියන්නේ කොහොමද, මේ පක්ෂය ඒකට සූදානම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ ව අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මේ රටේ දේශපාලන වශයෙන් බෙදී ඉන්න ජනතාව එකතු කරන්න වෙනවා. අපි රට එකතු කළා වගේ ම අපේ පක්ෂය උතුරේ ද, දකුණේද, බටහිර ද, කඳුකරයේ ද ශක්තිමත් කරන්න ඕන. මේ රටේ දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, බර්ගර්, මැලේ ජනතාව අතර බොහෝ වැඩ කොටසක් අපට කරන්න තියෙනවා. මේ වයෝවෘද්ධ දේශපාලන නායකයින්ගෙන් පසු මේ පක්ෂය ඉදිරියට ගෙනි යන්න, ශක්තිමත් පරපුරක් ගොඩ නැගීම අපේ වගකීමක් කියන එක අපි මතක් කරන්න ඕන. තරුණ පිරිසක් මේ රට අනාගතයට ගෙනියන්න අපි ඒක හින්ද තමයි මේ රටේ තොරතුරු තාක්ෂණයෙන් රට ඉදිරියට යන්න ඕන. අපේ පක්ෂයත් ඉදිරියට යන්න ඕන.

අපි මේ ආණ්ඩුව බාර ගන්න කොට 2005 තොරතුරු තාක්ෂණය තිබුණේ 5% යි. අද 40%ක්. තව ටික දවසකින් 60% ක් වෙනවා. අපේ ජනතාවගේ ඒක පුද්ගලික ආදායම තිබුණේ ඩොලර් 1000 යි. අපි අද වෙනකොට 2600කට ඇවිල්ලා. අපි ඒක 5000ට ගෙනියන්න ඕන. ඒකයි අපේ බලාපොරොත්තුව. අපේ විරැකියාව පළමු වතාවට 4.5ක් දක්වා අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ ජයග‍්‍රහණ ලබන්න මේ තත්ත්වයෙන් අපේ පක්ෂය තියාගෙන ප‍්‍රධාන පක්ෂ එකතු කරගෙන වඩාත් ශක්තිමත් ව මේ කටයුත්ත අපේ පක්ෂයට පුළුවන් වෙන්න ඕන. සිංහලෙන් දෙමළෙන් හා වෙනත් භාෂාවලින් ජනතාවත් එක්ක කතා කරන්න, ඔවුන්ගේ යුක්තිය ඉටු කරන පක්ෂයක් වෙන්න ඕන,  මම හැමදාම කියනවා සුළු ජාතීන් කියලා දෙයක් රට තුළ නෑ කියලා. ඔවුන් තුළ ඒ තත්ත්වයේ වෙනස ඇති කරන්න ඕන. සැබෑවට ම ඔවුන්ට දැනෙන්න ඕන. ඒකට නායකත්වය ගැනීම අපේ වගකීමක්. හැබැයි ඒක කරන්න රටෙන් බාගයක් දෙන්නේ නෑ. බෙදලා දෙන්නේ නෑ. කප්පම් දෙන්නේ නෑ බෙදුම්වාදින්ට. අපි ඇත්ත කියලා අපේ පක්ෂය කවදාවත් මුස්ලිම් හෝ දෙමල ජාතීන් රවට්ටපු වෙනත් ආගමිකයන් රවට්ටපු පක්ෂයක් නෙමේ. අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්.

එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයේ වැදගත් ම  පිළිගැනීම ලබාදී තියෙනවා. අපි ඒ පිළිගැනීම ලබා ගත්තේ හීනෙන්වත් මව් බිමට සතුරු ප‍්‍රතිපත්ති අනුගමනය කරලා නොවෙයි අවංකවයි.

අපි මේ විදිහට රට ගොඩනගාගෙන යන කොට, පොදු ජනතාවගේ උරුමය දිනා දීගෙන යනකොට අපේ පක්ෂයට දේශීය වශයෙන් වාගේ ම, විදේශීය වශයෙනුත් විශාල, විරුද්ධ බලවේගවලට මුහුණ දෙන්න සිදුවේවි. අපි හිතන්න නරකයි අපේ ඉදිරිය මල් යහනාවක් කියලා. අපිට 161ක බලයක් තියෙනවා.  ප‍්‍රාදේශීය සභා, පළාත් සභා තියෙනවා. රට ගොඩනගන්න යනකොට මේ රටේ පොදු ජනතාව දිනාගෙන ඉන්න අපි ඔවුන්ගේ වුවමනාවන් පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඔවුන් වෙනුවෙන් අපි පෙනී සිටියොත් අපි ව පරාද කරන්න බැරි බව ලෝකෙ ම දැන් දන්නවා.

ඒ නිසා අතීතයේ සිද්ධ වුණ විදිහට ම නූතනයේත් මේ ආණ්ඩුවට එරෙහි ව යෝධ කුමන්ත‍්‍රණ දියත් වෙනවා. අනාගතයේත් කි‍්‍රයාත්මක වේවි. මේ තත්ත්වය අපේ රටේ ජනතාවට තේරුම් කර දීම පක්ෂයේ වගකීමක්. අපේ වැරදි තියෙනවා නම් අපිට හදා ගන්න පක්ෂය තුළ අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒවට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. ජනතාවගේ අයිතිය තියෙනවා. පාක්ෂිකයින්ගේ අයිතිය තියෙනවා. වෙනත් දේශපාලන පක්ෂ වගේ අපි කෑ කෝ ගහන්නේ නෑ. අපි අහගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ කටකතාවලින් විශාල පාඩුවක් වෙනවා. අගතියක් වෙනවා

අපි රටට කරපු යෝද ව්‍යාපෘති තියෙනවා. මහා මාර්ග වේවා, ඇල දොල වේවා. වාරිමාර්ග වේවා, විදුලිබලාගාර වේවා, විදුලිය ගමට ගෙනියන එක වේවා, වෘත්තීය පුහුණුව වේවා මේ හැම දෙයක් ම කරලා තියෙනවා. ගමේ පාරට බැස්ස ම එය පේනවා. රෝහල දැක්ක ම ප‍්‍රාදේශීය කාර්යාලයේ ඉඳලා සුප‍්‍රිම් උසාවිය දක්වා විශාල ගොඩනැගිලි, මේ මහා සංවර්ධනය යෝධ වරායන් පහක් හැදෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට අපේ පක්ෂයට තියෙන ශක්තිය එක්ක ආණ්ඩුව මේ රටේ විතරක් නෙවෙයි පිටරටවල ගිහින් ව්‍යාපාර කරන්න පුළුවන් ශක්තියක් අපි ලබලා දීලා තියෙනවා.

තමුන්නාන්සේලා මේ පක්ෂය හා විරුවන් සමරනවා වගේ අනාගතය භාර ගන්න ඉන්න තරුණ පරපුර ජයග‍්‍රහණය කරවන්න, ඔවුන් නව ලෝකයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් අය බවට පත් කරන්න, අසිරිමත් මිනිස්සු බවට පත් කරන්න, මේ නව පරපුර මේ නව අසිරිමත් මිනිසා බිහි කරන්න අපි පියවර ගැනීම අපේ පක්ෂයේ වගකීමක් හා යුතුකමක් බව ඔබට මතක් කරනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනේවා. මේ පක්ෂය අමතක කරන්න එපා. මේ පක්ෂය තියෙනකම් තමයි අපට මේ සියලු දේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පක්ෂයට මුල් තැන දෙන්න, පක්ෂය රකින්න, පක්ෂය වෙනුවෙන් කැප වෙන්න කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට ම ජය වේවායි පතමි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා.