Saturday, May 27th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග බාල පෙට්ට්‍රල් කමිටු වාර්තාව - පාර්ලිමේන්තු විවාදය

බාල පෙට්ට්‍රල් කමිටු වාර්තාව - පාර්ලිමේන්තු විවාදය

  • පී.ඩී.එෆ් (PDF)
mp_susil_premajayantha

හානි වූ පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට හා බාල පෙට්ට්‍රල් සිද්ධියට සම්බන්ධ අයට විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද අදාළ පටිපාටිය අනුව විනය ක්‍රියාමාර්ග ගන්නා අතර ඊළඟ සතියේදී ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සැප්තැම්බර් 09 වැනි දා පාර්ලිමේන්තුවේදී බාල පෙට්ට්‍රල් ගෙන ඒම සම්බන්ධයෙන්  සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ව විපක්ෂයෙන් මතු කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට පිළිතුරු කතාව
කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කර තිබිණි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා; මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේ අපේ අමාත්‍යාංශයෙන්. සිද්ධිය වෙලා දින හතරක් ඇතුළත මේ කමිටුව පත් කළා. වාර්තාව නිකුත් කළේ අගෝස්තු 29 දින. මෙතැන සිදුව තිබෙන්නේ ප්‍රසම්පාදනයේ දී ප්‍රතික්ෂේප වූ අවස්ථා තුනක් හා තෙල් සංස්ථාවේ පිරිපහදු දින 10කට හදිසි අවශ්‍යතාවකට වසා තැබීම. මෙහි දී ඇති වූ හිඟයේ දී හදිසි මිලදී ගැනීමක් සිදු වුණා. මෙය වාර්තාවේ පැහැදිලි ව සඳහන් කර තිබෙනවා. එහිදී අනුගමනය කළ යුතු සාමාන්‍ය පටිපාටියෙන් බැහැර වී තිබෙන බව.

දින හතකට ප්‍රමාණවත් පරිදි තෙල් ටොන් 20,000ක් මිලදී ගත්තා. දවසකට තෙල් ටොන් 2000-2500ත් අතර ප්‍රමාණයක් නිකුත් වෙනවා. මෙතැන පටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා.

මේක ආයතන දෙකකින් කළ දෙයක්. වංචාවක්, දූෂණයක් සිදු වූවා නම් මේ ආයතන දෙකෙහි විශාල පිරිසක් ගොනු වෙන්න ඕනෑ. එය විය හැකිද?

මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් අමාත්‍යාංශයට සිදු වුණේ නෑ. සිදු වූවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න තිබුණා. මම අමාත්‍යාංශය බාරගත් කාලය තුළ තෙල් නැව් 2ක් හරවා යවා තිබෙනවා, පිරිවිතරයන්ට ගැළපුණේ නැති නිසා.

මෙතැන එන බරපතළ ප්‍රශ්නය තමයි, යම්කිසි විදියකින් සතියක පෙට්‍රල් හිඟයක් ඇති වුවහොත් ඒ හිඟය නිසා සිදුවන බලපෑම මීට වඩා වැඩියි. වාහන ලක්ෂ 31ක් පෙට්ට්‍රල්වලින් දුවනවා. එතැනදි රජය දැඩි අපහසුතාවකට පත් වෙනවා.

රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක සිටිනවා. මින් පසු කිසිදු ආකාරයකින් මේ තොග ගණනය කිරීමේ දී සහ ප්‍රසම්පාදනයේ දී නියමිත ක්‍රමවේදය සහ වේලාසනින් ගබඩා කිරීමට.

පෙට්ට්‍රල් ටොන් 70,000 ක ගබඩා පහසුකම් තිබෙනවා. ඩීසල් ටොන් 80,000ක තිබෙනවා. විදුලි බල ක්ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් එනකොට අපිට ඒ ගබඩා පහසුකම් තවදුරටත් අඩු වෙනවා. ඒ අංශයට තෙල් සැපයිය යුතු වෙනවා. දැනට පැමිණිලි 1819ක් ලැබී තිබෙනවා. දුරකතනයෙන් ලැබුණු පැමිණිලිවලට ලිඛිත ව පිළිතුරු යවා තිබෙනවා.

අපේ නිර්දේශ අනුව පසුගිය 05 වැනි දා අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුවක් ගෙන තිබෙනවා ගෙවීම් සිදු කිරීමට. අධ්‍යක්ෂ මණ්ඩලයේ කමිටුවක් පත් කරලා මේ සම්බන්ධයෙන් කටයුතු කඩිනම් කරනවා.

බිල්පත් නැතිනම් ගෙවන අවස්ථාවේ දී නිර්දේශිත ලිපි ලේඛන නැත්නම් ඒ අවස්ථාවේ ගතයුතු ක්‍රියාමාර්ග  පිළිබඳ ව දැනටමත් අලෙවි අංශයට උපදෙස් දී තිබෙනවා. මේ සඳහා යම් සහනයක් දීම සඳහා වැඩපිළිවෙළක් ගෙන තිබෙනවා.

ඉදිරි සති 2 තුළ මෙහි ගෙවීම් කටයුතු ආරම්භ කිරීම සඳහා අලෙවි අංශය කටයුතු කරනවා. හානි වූ වාහනවලට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

අපි බලාපොරොත්තු වෙනවා බෙදාහැරීම් අංශය ප්‍රතිසංවිධානය කිරීමට ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් සොයාගත යුතුයි. මේකේ සංවිධාන සැලැස්ම අනුව කළමනාකරණය ශක්තිමත් කළ යුතුයි. ඉහළ තනතුරු සඳහා නියම සුදුස්සන් පත් කළ යුතුයි. ආයතනය සකස් කරන තෙක් ගැටලු තිබෙනවා. ඒවායේ ප්‍රතිඵලයි මේ.

වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරලා එතැනින් එහාට යා හැකියි. කෝටි 48ක ප්‍රකාශය අතිශයෝක්තියක්. මෙහි ඉතිරි තෙල් ඉන්ධන වශයෙන් පාරිභෝගිකයින්ට දෙන්නේ නෑ.

හානියට පත් වාහනවලට වන්දි ගෙවීමට මිලියන 22ක්  මිලියන 8ක් පොම්ප අලුත්වැඩියාවටද ලෙස සම්පූර්ණ මුදල මිලියන 30ක් වැයවෙනවා.

කිසි ම දෙයක් සඟවන්නේ නැති ව පිළිතුරු දී තිබෙනවා. පාර්ලිමේන්තුවේදීත් පිළිතුරු දී තිබෙනවා. වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙනවා.

වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වන අතර ම මෙවැනි සිද්ධීන් වැලැක්වීමට අදාළ ආයතන දෙක ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළක් ලබන සතියේ සිට ආරම්භ කරන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

මෙහිදී අදහස් දැක් වූ ඛනිජ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා; “ඇමතිතුමා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. වාර්තාව ලබාදී තිබෙනවා. අලාභ, අසාධාරණයට ලක්වූවන්ට මුදලක් නිර්දේශ කරලා තිබෙනවා. ගෙවීම් කඩිනම් කරනවා. හිතමතා සැලසුම් කළ දූෂණයක් කියා ප්‍රකාශ කිරීම පිළිගන්න බෑ. මේ අර්බුදය විසඳලා ගෙවීම් කරන ලෙස නිසි ලෙස උපදෙස් දී තිබෙනවා.“

ප්‍රභාත් රත්නායක