Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here Category Table ජාත්‍යන්තරයේ කිඹුල් කඳුළු කා වෙනුවෙන් ද?

ජාත්‍යන්තරයේ කිඹුල් කඳුළු කා වෙනුවෙන් ද?

  • පී.ඩී.එෆ් (PDF)

crocodilecryingඅද මේ කතා කරන්නේ එදා එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකාවන් ය. ඔවුන් ව එදා එල්ටීටීඊයට බඳවා ගෙන ඇත්තේ බලහත්කාරයෙනි. ඔවුන්ට අවනත වෙනවා හැරෙන්නට වෙනත් කිසිවක් ඉතුරු ව තිබුණේ නැත. පාසල වෙනුවට බංකරයත්, පෑන පොත වෙනුවට වෙඩි උන්ඩ හා තුවක්කුවත් ඔවුනට ලබාදුන්නේ පිරභාහරන්ගේ කොටි සංවිධානයයි. එදා විඳි හා මෙදා විඳින ජීවිත දෙකෙහි වෙනස සැබවින් ම දන්නෝ ඔවුහු ය. දරුස්මාන්ලාගේ වාර්තාවේ මෙවන් සැබෑ එල්ටීටීඊ චරිතවල සාක්කි එකක්වත් තිබිය නොහැකි ය.

ජාත්‍යන්තරයේ අද ශ්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් ව ඇති දරුස්මාන් වාර්තාව ගැන මේ කතා කරන්නේ වවුනියාවේ පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වන එල්ටීටීඊ සාමාජිකාවන් කිහිප දෙනෙකි. අපි මුලින් ම ඔවුන්ගේ හඬට කන් දී සිටිමු.

යාපනය කන්කසන්තුරේ පදිංචි සිරිල් මෙරිලා කදිස්නා (අවුරුදු 23යි)

Vav_SM_kadisnaවන්නිවල ඉඳලා එනකොට එල්ටීටීඊ සංවිධානය මිනිසුන්ට වෙඩි තිබ්බා. මිනිස්සු මිය යනවා තුවාල ලබනවා අපි දැක්කා. එල්ටීටීඊය බලහත්කාරයෙන් අප ව බඳවාගෙන අවි ආයුධ පුහුණුව දීලා අපේ ඉගෙනීමටත් බාධා කළා

මේ යුද්ධය නිසා අපේ ඥාතීන් විශාල ප්‍රමාණයක් මැරුණා. යුධ හමුදාවට භාර වුණාට පස්සේ තමයි අපිට සතුටින් ඉන්න ඉඩ ලැබුණේ. දැන් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල අප සියලු දෙනා ඉතා සතුටින් ජීවත් වෙනවා.

යාපනය කිලාලි පදිංචි මරිනායගම් මේරි රීටා (අවුරුදු 21යි)

Vav_marinayagamඅපි ඉස්කෝලේ යන කාලේ බලහත්කාරයෙන් එල්ටීටීඊ සංවිධානයේ අය අපි ව අරගෙන ගියා. ඊට පස්සේ අපට ආයුධ පුහුණුව දුන්නා. අපි සංවිධානයේ  හිටියේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් ඒ කාලයේ දී අපිට කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ.

අපි හමුදාවට භාර වෙන්න එද්දි එල්ටීටීඊ සංවිධානය අපට තර්ජනය කළා. එහෙත් අපි ඒ තර්ජන නොතකා එද්දි අපට අමානුෂික විදිහට වෙඩි තිබ්බා.

මේ නිසා උතුරේ යුධ අපරාධ සිදු කළේ යුධ හමුදාව නෙවෙයි කියලයි අපි කියන්නේ. මොකද යුධ හමුදාවට භාර වුණාට පස්සේ තමයි අපට නිදහසේ ඉන්න ලැබුණේ. අපේ ඥාතීන් සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් මැරුණේ එල්ටීටීඊ සංවිධානයේ ප්‍රහාර නිසයි. මේ නිසා විදේශ රටවල් ගෙනයන ප්‍රකාශ අප තරයේ හෙළා දකිනවා

මාන්කුලම් සිලවන්කුලම් පදිංචි කන්දසාමි නාගජෝතී (අවුරුදු 30යි)

Vav_Kandasamiඅපි හමුදාවට භාර වෙද්දි ජීවිතේ ගැන හරි බයකින් ජීවත් වුණේ. මොකද අපි හිතුවා අපට වද හිංසා කරලා අපි ව මරා දමාවි කියලා. නමුත් යුධ හමුදාවට භාරවෙලා ටික කාලයක් ගියාට පස්සේ යථා ස්වභාවය දැන ගන්න ලැබුණේ. යුධ හමුදා නිලධාරීන් හරි ම කාරුණිකයි. අපට සහෝදරත්වයෙන් හැමදාම සලකනවා.

අපට සතුටක් දැනුණේ පුනරුත්ථාපන කඳවුරුවලට ආවට පස්සේ. එල්ටීටීඊ සංවිධානය අපේ ගම් පැත්තේ කුඩා ළමුන් පවා සංවිධානයට අරගෙන ආයුධ පුහුණුව දීලා බලහත්කාරයෙන් සංවිධානයට බඳවා ගත්තා.

අපේ අයිතිවාසිකම් නැති කළේ එල්ටීටීඊ සංවිධානයයි. ඒ නිසා අපට අපේ ගේ දොර අපේ සම්පත් සියල්ල නැති කළේ රජය නෙවෙයි එල්ටීටීඊ සංවිධානයයි.

අපට දැන් නිදහස ලැබිලා තියෙනවා. ඒ නිසා බටහිර රටවල  මිනිස්සු ගෙනියන ප්‍රචාර අසත්‍ය බව ප්‍රකාශ කරනවා.

කි‍ලිනොච්චි මුලංකාවිල් පදිංචි කිරුෂ්ණම් මංජුලා (අවුරුදු 22යි)

Vav_kirushnamඅපි උතුරේ ඉඳන් ජීවිත බේරාගෙන ආවේ බයෙන්. ඒ එන ගමනේ දී මගේ නංගී ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේ ම එල්ටීටීඊ සංවිධානය මිනිස්සුන්ට වෙඩි තියනවා දැක්කා. ඒ කාලේ සිදුවුණු ගොඩාක් දේවල් මිනිස්සු දන්නේ  නැහැ.

ඒත් අපි කණගාටු වෙනවා එල්ටීටීඊ සංවිධානය සාධාරණීකරණය කරන්න හදන එක ගැන. අද අපි සතුටින් ඉන්නේ මේ රජය නිසයි. ආරක්ෂක හමුදාව නිසයි.

අපට ඉගෙන ගන්න පුහුණු පාඨමාලාවට යෙදෙන්න සියලු පහසුකම් මේ මධ්‍යස්ථානවල තියෙනවා.

අපේ අනාගතය ගොඩනඟා ගන්න මුල් පියවර තබන මේ වෙලාවේ නැවතත් අපි ව ඈත් කරන්න බටහිර මිනිස්සු ගෙනියන ප්‍රචාරවලට අපේ විරෝධය ප්‍රකාශ කරනවා.

peace-dove1980 දශකයේ දී ආරම්භ වු ත්‍රස්තවාදය අද වන විට අප මාතෘ භූමියෙන් අතු ගා දමා හමාරය. රටට සාමය උදාවී ගෙවී යන්නේ තෙවැනි වසරයි. ඒ කාල සීමාව තුළ දී රට අභ්‍යන්තරයේ සිදුවන සාමකාමීත්වය, සංවර්ධනය දෙස බලා මැදිහත් සිතින් ඒ දෙස බලන්නට බැරි කොටසක් තවමත් මේ මිහිපිටින් තුරන් වී නොමැත. ඒ වෙන කවරෙකුවත් නොව එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ය. එ පමණක් ම නොව බටහිර රටවල්ද ‍මෙහි හවුල් කරුවන් වී හමාරය.

යුද්ධයේ සාපලත් අපේ මව්බිමේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව කතා කළ යුත්තේ මානුෂික මෙහෙයුමේ අවසන් භාගයේ නොවෙයි. ඊට ඉහත කාල වකවානුවේ දී කොතෙක් නම් මානව හිමිකම් උල්ලංඝනය වන්නට ඇත්ද? එහෙත් කණගාටු විය යුත්තේ ඒ කාලයේ දී මානව හිමිකම් උල්ලංඝනය වුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්නට කිසිවෙකුත් නොසිටීමයි.

එදා එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් මාවිල්ආරු සොරොව්ව වසා ඒ දියෙන් තම ගොවිතැන බත සරුකරගත් ගොවියන්‍ට කළේ සාධාරණ ක්‍රියාවක් නොවේ. අපේ ත්‍රිවිධ හමුදාව කිසිදු දිනෙක එවන් පහත් ක්‍රියාවක් නොකළේය. ඔවුන්ට ජාති බේදයක් නොතිබුණේය. ඔවුන් සැලකුවේ මිනිස් වර්ගයාට මිස අන් කිසිදු වර්ගයකට නො වේ.

එල්ටීටීඊ සංවිධානයේ ම සාමාජිකයන් අද පුන පුනා කියන්නේ එදා වු සැබෑ සිද්ධීන්ය. ඔවුන් ඒ බව කියන්නේ හොර රහසේ නොව එළිපිටය. එහෙත් දරුස්මාන් වාර්තාවට සාක්ෂි සපයන්නේ හොර ර‍හසේය. ඒ පිළිබඳ ව යම් කුකුසක් තිබෙන බව වැටහෙන්නේ ඒ නිසාය. හොර රහසේ සාක්ෂි ලබා දෙන පිරිසගේ සාක්ෂින් මත සිට එළිදැක්වෙන දරුස්මාන් වාර්තාව පිළිබඳව විශ්වාසයක් ඇති නොකර ගන්නත් එල්ටීටීඊ සංවිධානයේ ම පිරිස් පුන පුනා කියන කතා විශ්වාස කරන්නත් සිදුවන්නේ ඒ නිසාය.

සංවිධානයේ ශක්තිය වෙනුවෙන් පිරිස වර්ධනය කර ගැනීම උදෙසා අධ්‍යාපනය කඩාකප්පල් කරමින් පෑන විසිකර දමා තුවක්කු බටයක් අතට දෙන්නේ එල්ටීටීඊ සංවිධානයයි. එසේ නම් එවන් අවස්ථාවල දී උල්ලංඝනය වුයේ ළමා මානව අයිතිවාසිකම් නොවේද? මෙහි සඳහන් වන්නේ ත්‍රිවිධ හමුදාව සෑම සියලු දෙයක් ම කළේ ය කියා මිස ත්‍රස්ත සංවිධානයෙන් වු එක් වරදක් හෝ උලුප්පා නොතිබීමෙන් ම පැහැදිලි වන්නේ මේ වාර්තාව ඒකපාර්ශවීය නිකුත් කළ වාර්තාවක් ම බව නොවේ.

ප්‍රභාකරන් දරුවන්ගේ අධ්‍යාපනය, මිනිසුන්ගේ දේපොළ ජීවිත අහිමි කළේය. කිසිදු තැනක ඔවුන් වෙනුවෙන් මෙවන් දේවල් ප්‍රභාකරන් සිදු කොට තිබේය කියා කිසිදු ද්‍රවිඩ වැසියෙකු කියන්නේ නැත. දරුවන්ට නැති කළ අධ්‍යාපනය නැවත ඔවුන්ට ලබා දුන්නේ ප්‍රභාකරන් නො ව වත්මන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක මහින්ද රාජපක්ෂයන් ය. මිනිසුන්ට ජීවත්වන්නට නැවතත් වරම් දුන්නේ ඔහු ය. නො එසේ නම් අදටත් ඔවුන් උතුරේ ත්‍රස්තවාදයෙන් බැට කනවා වන්නට පුළුවන. 

දෙමළ ජාතියේ අනාගතය වෙනුවෙන් කියා ත්‍රස්ත අරගල ආරම්භ කළ ප්‍රභාකරන් සිය දරුවන්ට මෙන් ම එම සංවිධානයේ අනෙක් නායකයන්ගේ දරුවන් ද මේ සඳහා යොදා නොගත්තේය. කුඩා අවදියේ දී ම ඔවුන්ට අවි හරඹ කියා නුදුන්නේය. දුප්පත් ද්‍රවිඩ වැසියන්ගේ දරුවන්ට පෑන පසෙක දමා අවිය අතට දෙද්දි නායකයන්ගේ දරුවන් සුර සැප විඳිමින් මනා අධ්‍යාපනයක් ලැබුවේය. එසේ නම් එලෙස සටන් කළේ තමන්ගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට නොවේද?

අන්ත දුක්ඛදෝමනස්සයන් විඳිමින් එල්ටීටීඊ සංවිධානයේ සිටි සාමාජිකයන් අද සතුටු කඳුළු හෙළන්නේ ඔවුන්ට හිමි වු මේ නිදහස නිසාය. ඔවුන්ට වෙන ම රාජ්‍යයක අවශ්‍යතාවක් තිබුණේ නම් ඔවුන් සංවිධානයෙන් පලා එන්නේ නැත. අද සතුටු කඳුළු හෙළන්නේ නැත. සිදු වු සියල්ල සිදු වි හමාරය. එහෙත් අන්තර්ජාතික ව අද මේ සිදු වන්නේ රට ආපස්සට ගමන් කරවීමට කොටි හිතවාදීන් දරණ උත්සාහයේ මල්ඵල ගැන්වීමයි.

උතුරේ ජනතාව මෙන් ම පුනරුත්ථාපන මධ්‍යස්ථානවලද සිටින සෑම සියලු ද්‍රවිඩ වැසියෙකුගේ ම ආසාව වන්නේ ත්‍රස්තවාදයේ නිමාවයි. ඔවුන්ට දැන් අවැසි වන්නේ පවුලේ සියලු දෙනා සමඟින් සතුටින් රටේ ජනතාව සමඟ සාමයෙන් ජීවත් වීම මිස නැවතත් යුද්ධයක් ඇති කර ගැනීම නො වේ. දකුණේ වෙසෙන අපටත් වඩා යුද්ධයේ ඇති භීතිය ත්‍රාසය මේ සියලු දේවල් දන්නේ යුද්ධයකට මුහුණ දුන්නවුන්ය. ඒ නිසා ඔවුන් කිසි ‍දිනෙක යළිත් යුද්ධයක් ඇති නොවේවායි පතන්නේ එබැවිනි.

දරුස්මාන් වාර්තාව මඟින් ඉදිරිපත් කොට ඇති කරුණු පිළිබඳ ව එම ජනතාවට කිසිදු නිනව්වක් නො‍ වේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ සතුටින් ජීවත් වන්නටය. ඒ සඳහා පරිසරය සකස් වී ඇත. මේ ඔවුන් වෙනුවෙන් කඳුළු හෙළන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවකට නො වේ. එසේ නම් මේ ජාත්‍යන්තරයේ කිඹුල් කඳුළු කා වෙනුවෙන් ද?


සැකසුම: දිල්හාරි බන්ඩාර

සාකච්ඡා : වවුනියාව දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරි උපුල් බාලසූරිය

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූලි 05 වෙනි අඟහරුවාදා, 18:08