Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here Category Table පසළොස්වකට මෝරන සඳ සීගිරි ගල ඉස්මත්තෙන් හීන් සීරුවට පිපෙන සඳ...

පසළොස්වකට මෝරන සඳ සීගිරි ගල ඉස්මත්තෙන් හීන් සීරුවට පිපෙන සඳ...

  • පී.ඩී.එෆ් (PDF)

seegiri_p_01පසළොස්වකට මෝරන සඳ සීගිරි ගල ඉස්මත්තෙන් හීන් සීරුවට පිපෙනවා.පිදුරංගල විහාරයට පියමනින සීගිරි ලලනාවන්ගේ කෝමල ලාලිතයයට නො ව කාශ්‍යපයන්ගෙන් ඇරයුමක් පතමින් නිල් නෙතු දල්වා බලා සිටින ඇයගේ මැළවුණ වත මා සිත් ගත්තා.

ඇත්තමයි ඔය හිත මට කියවන්න පුළුවන්! එහෙත් සිතුවිලි දැහැනින් මා මිදුණේ අව් කාශ්ඨකය මැද හඬා වැටෙන සීගිරි යථාර්ථයේ විලාපය සවනට ළං කරමින් මාධ්‍ය සගයන් මා වටකර ගත් නිමේෂයේයි

ඇත්තෙන් ම සීගිරිය වටා ඇති මන බඳන ගම් දනව්වල ගැමියන්ගේ ජීවන රටාව නම් මගේ බිඳුණු සිහිනය වගේ ම කටුකයි කියා පැවසූවොත් එය සත්‍යයකි

ඒ සත්‍ය දැනුගනු රිසියෙන් ඒ ජනතාවටත්, රටටත් විශ්වසනීය සතුටක් ගෙන එන්නට උත්සහ කරන ගමනට අත්වැළක් වන්නට පාරමී පුරමින් මමත් අනෙකුත් මාධ්‍යවේදි සහෘදයිනුත් ගෙවුණු ජූනි 26 දා හිමිදිරියේ කොළඹින් පිටත් වෙලා, අප උපන් රටේ උරුමය සොයා සීගිරියට පැමිණියා

ඒ සැබෑ හැඟීමෙන්
, උනන්දුවෙන් මේ කර්තව්‍යට මූලිකත්වය දෙන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් සමඟින්

seegiri_p_02සීගිරිය ලොව අටවන පුදුමය ලෙස පිළිගැනීමට ලක් වූ ලෝක උරුමයකි.එසේ ම සීගිරිය යනු  ශ්‍රී ලාංකීය අනන්‍යතාවය හා ‍දෘඪ ප්‍රෞඩත්වය අවිවාදිත ව ලොවට කියාපාන්නකි. වරක් ‍ලොව පිළිගත් ජාත්‍යන්තර අලෙවිකරණය පිළිබඳ විශේෂඥයෙකු වූ පිලිප් කොට්ලර් (Philip Kotler) මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ හඳුනාගැනීමේ ලාංඡනය හෙවත් ශ්‍රී ලංකාවේ සලකුණ ලෙස (Landmark) සීගිරිය භාවිතා කිරීමට තරම් අනන්‍ය වූ වැදගත් කමක් දරණ  බවයි.

එසේ ම එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ මහ ලේකම් පවසා ඇත්තේ සීගිරිය යනු ශ්‍රී ලංකාවේ ආත්ම ප්‍රකාශනය බවයි. එසේ ම සීගිරිය ප්‍රබල අධ්‍යාත්මික අත්දැකීමක් වන අතර  කෙනෙකු ජීවිතයේ දී එක් වරක් හෝ ඒ අත්දැකීම විඳිය යුතු බවත් ඔහුගේ මතයයි.

seegiri_p_03සීගිරියේ ඉතිහාසය දෙස විමසුම් නෙත් හෙළන විට එය ක්‍රි.. 5 වන සියවස කරා දිව යනවා. ක්‍රි.. 477- 495 දක්වා වසර 18ක කාලයක් කාශ්‍යප රජ මෙහි රාජ්‍ය කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව කාශ්‍යපයන් තම පිය රජු වූ ධාතුසේන රජ සමඟ රජ කිරුළ සම්බන්ධ ව ඇති කරගත් ආරාවුල මත පිය රජු මරා සීගිරියට පලා විත් සැඟව සිටි බවට වංශ කථාවන්හි සඳහන්. ඒ නිසා ම තැනූ බලකොටු සංකල්පය මතයි අපට මෙතරම් අනභිබවනීය සම්පතකට උරුමකම් කීමට වාසනාව හිමි ව තිබෙන්නේ. කෙසේ වුවද අවසන කාශ්‍යපයන්ගේ සොහොයුරා වන මුගලන් කුමරු සිය හමුදාවත් සමඟ බලකොටුව වැටලූ අවස්ථාවේ ලොවට අලංකෘතවූත්, චමත්කාර ජනක වූත් කලා කෘතියක් තිළිණ කළ මේ විස්මිත සිතුවිලි උපදවන්නා සිය දිවි නසා ගත් බව කියවේ.

seegiri_4පළමුවන සියවසේ සිට ආසියාවේ සංරක්ෂණය වී ඇති එක ම පුරාණ නගරය වන සීගිරිය අපේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය මොනවට විදහාපායි
.සිංහ දෙපා තුළින් නිර්මිත පඩිපෙළක් ආධාරයෙන්  මුදුනට ප්‍රවිෂ්ට විය හැකි මෙම ගලේ උස මීටර් 200කි. කුවේර රාජධානී ආකෘතික ලක්ෂණ අනුව නිර්මිත මෙම රාජධානියේ ඇඳි බිතුසිතුවම් 500ක් පමණ තිබී ඇති බව පුරා විද්‍යාත්මක සාධක දෙස් දෙයි. නමුත් දැනට ඉතුරු ව ඇත්තේ චිත්‍ර 19ක් පමණි.

 එසේ ම මෙහි බටහිර බෑවුමේ ඇති අනෙක් විස්මය නම් අව්වට, වැස්සට,සුළඟට නිරාවරණය වී ශත වර්ෂ 15ක් ඉක්ම ගිය ද එතැනට ගිය කෙනෙකුට තවමත් පැහැදිලි ව  සිය වත දැකිය හැකි කැටපත් පවුරයි. ඒ කැටපත මත සිහිගිරියට සතර අතින් සංචාරය කළ විවිධ තරාතිරමේ පුද්ගලයින් අතින් ලියැවුණු 1200ක් පමණ වන පැදි අද සීගිරි කුරුටු ගී නමින් හැඳින්වේ. ඒවා මෙරට පද්‍ය සාහිත්‍ය ඉතිහාසයේ මිල කළ නොහැකි ඓතිහාසික ජීවමාන සාධක වෙත්.

 එසේ ම ජල උද්‍යාන සහිත සීගිරි උද්‍යානය තුළ සැඟ ව ඇති ඉපැරණි ජල කළමනාකරණ ඉංජිනේරු තාක්ෂණයේ තොරතුරු අපට තව වසර ගණනාවකදී හෝ විමසා සම්පූර්ණයෙන් සොයා ගත නොහැකි තරම් සංකීර්ණ වේ.

seegiri_p_05රුහිරු කිරි කළ ළයට හිමිකම් කියන තම මවට ආදරය කරන මිනිසා අනිවාර්යයෙන් ම තම උපන් බිමට ආදරය කරන බවට කියමනක් වේ. එසේ නම් ලක් මවට පෙම් බඳින මෙපුර වැසියා සීගිරියට ඇති පෙම ගැන කියනු කිම?

සත්‍ය වශයෙන් ම මේ මිහිබට සුරපුරකි. ශ්‍රී ලංකාවට කප් රුකකි.සංචාරකයින්ට තෝතැන්නකි.

 මේ සංචාරක තෝතැන්නට අද පැමිණෙන සංචාරකයින් දෙස බලන විට එය ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් 22%ක් පමණ වන බව අබේවර්ධන අමාත්‍යවරයා පවසයි.

අප පැමිණි මේ සංචාරයේ අරමුණු කිහිපයකි.

1. සීගිරියට සංචාරකයින් පැමිණීම අඩු වීමට හේතු මොනවාද?

2. ඒ සඳහා ගත යුතු විසඳුම් හා පියවර පිළිබඳ අදහස් හා යොජනා විමසීම

3. වඩා යහපත්, විධිමත් සංචරණයක් ගොඩ නැගීමට සුදුසු ක්‍රමවේදයන් හඳුනාගැනීම

4. සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයට සමගාමී ව ප්‍රදේශයේ හා ජනතාවගේ දිවි පෙවෙත නැංවීම කළ යුත්තේ කෙසේද?

seegiri_p_6ඒ අනුව සීගිරිය අවට තදාසන්න සංචාරක කලාපය තුළ වෙළෙඳාම ක්‍රමවත් කිරීමට විශේෂ වූ කඩ පෙළක් ගොඩනැගීමට තීරණය විය. එම යෝජනාව සක්‍රිය වන තුරු නව වෙළෙඳ පාර්ශවයන්ට අවසර පත් දී ම වහා ම නැවැත්විය යුතු බව මෙහිදී අමාත්‍යවරයා පවසන ලදී. අවිධිමත් වෙළෙදාම තුළින් විශේෂයෙන් විදේශීය සංචාරකයින් ඉතා ම අසීරුතාවන්ට මුහුණපෑම දක්නට ලැබෙන අතර එම තත්ත්වය වැළැක්වීම මෙහි අරමුණයි. මෙම සංචාරයට සහය පළ කරමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද අප සමඟ එක්විය.

එසේ ම පිරිසුදුකම මූලික කොට ගත් වැසිකිළි කැසිකිලි පහසුකම් ඇතුළු සනීපාරක්ෂක පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සපයා දීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

seegiri_p_07මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මග පෙන්වනු ලබන්නේ මාර්ගෝපදේශකයින් විසිනි. බොහෝ විට මුදල් ඉපයීම කෙරෙහි ම උනන්දු වන ඔවුන් සංචාරකයින්ට අපේ රටේ නියම සුන්දරත්වය හඳුනාගැනීමට අවකාශ අහුරමින් වෙළෙඳ ආයතනවලට ම රැගෙන යාම වැඩි වශයෙන් දක්නට ලැබෙන කරුණකි.

මේ බව සීගිරියේ විවිධ සංවිධාන, විවිධ පාර්ශව හා  මහජන නියෝජිතයින් සමඟ පැවති සුහද හමුවේ දී අනාවරණය විය. බොහෝ දෙනෙක් පැවසුවේ මාර්ගෝපදේශකයින් විදේශීය සංචාරකයින් සමඟ පැමිණ සීගිරිය පෙන්වා වහා වහා පිට ව යන බවයි. සීගිරිය අවට ඇති පිදුරංගල විහාරය ඇතුළු පෞරාණික ස්ථාන හෝ ගැමියන්ගේ තාත්වික තත්ත්වයන් හෝ ගැමි සංස්කෘතික ලක්ෂණයන් විදේශිකයින්ට අමතක නොවන සොඳුරු අත්දැකීමක් ලෙස විඳ ගන්නට ඇති ඉඩකඩ ඒ අනුව මග හැරී යයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා මාර්ගෝපදේශක සංගමයේ සභාපති ජෝ ලිවේරා මහතා ඇතුළු සෙසු නියෝජිතයින් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් අදාළ ගැටළු විසඳා ගැනීමට අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් කාලය වැය කරන අයුරු අපි දුටුවෙමු.

seegiri_p_08අවසානයේ අමාත්‍යවරයා කියා සිටියේ මාර්ගෝපදේශනයට රජයේ අනුහස තවරා ඔවුනට නියමිත හැඳුනුම්පතක් හා නිල ඇඳුමක් ලබාදීමට කටයුතු කිරීම වැදගත් බවයි. එය එහි විධිමත්බවට හා වෘත්තීය ගරුත්වය රැකීමට ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහසයි.

මෙහි අප දුටු වැදගත් ම අංගය වන්නේ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන සීගිරි සංස්කෘතික ගම්මාන සංකල්පයයි. සීගිරි ගම්මාන සංකල්පය යනු සීගිරිය අවට සැඟ ව ඇති ඉතිහාසගත හෙළ සංස්කෘතියේ උප සංස්කෘතික ලක්ෂණයන් ලොවට හෙළි කරන මාවතකි. එයින් සීගිරිය අවට ගම් දනව් සිසාරා සැඟ ව ඇති අපේ සංස්කෘතික උරුමයන් කල එළි බසිනු ඇත. ‍එය අපේ අභිමානය වඩ වඩාත් ප්‍රකට කරන්නක් බව නිසැකය. එසේ ම එය පෙර මා සිහිපත් කළ සීගිරි ජනතාවගේ කඳුලට අස්වැසිල්ලකි.

යෝජිත සීගිරි සංස්කෘතික ගම්මානයේ දළ සැලැස්ම

seegiri_9_map

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ වන සීගිරිය ව්‍යාපෘතියේ ප්‍රධාන පරීක්ෂක සංරක්ෂණ, කේ.බී. චන්දන වීරසේන මහතාගේ අදහසක් ලෙස ඉදිරිපත් ව ඇති, දැනට රජය සාකච්ඡාවට බඳුන් කොට ඇති මෙම ගම්මානය සීගිරියේ දකුණු පසින් කිලෝමීටර් එක හමාරක දුරින් කැළැබද ව පිහිටි  පිදුරංගල ඉපැරණි ගම ආශ්‍රිත ව ඉදිකිරීමට අපේක්ෂා කරයි. භූමි ප්‍රමාණය අක්කර15කි.මේ සඳහා දළ වශයෙන් මිලියන 45ක් පමණ වැය වන බවට ගණන් බලා ඇති අතර වසරකට අපේක්ෂිත දළ ආදායම මිලියන 196කි.

සීගිරි මහ වැව සමඟ අවට කුඩා වැව් 200ක් පමණ ඇත. මේ වන විට මේ ප්‍රදේශයට පමණක් ආවේණික වූ ගැමි ක්‍රීඩා 108ක් හඳුනාගෙන ඇත. පන් පැදුරු විවීමේ රටා 64ක් සොයාගෙන ඇත. මෙම ගම්මානයට නිර්මාණය කරන වැව් බැම්මක් තුළින් ප්‍රවේශ ව මාළු බෑම, ගව පාලනය, පැරණි තාක්ෂණය යොදා ලත් වෘත්තීයයන්, අනන්‍ය වූ ගැමි ආහාරවල රසය,සංස්කෘතික සංදර්ශන ආදි  සජීවී අත්දැකීම් සීගිරියට එන විදේශිකයන්ට විඳගැනීමට සැලැස්වීමට සැලැසුම් කර ඇත. සීගිරිය සංචාරක තෝතැන්නක් වීමට රුකුලක් පමණක් නොව අවට ජනතාවගේ ආර්ථිකය හා ජීවන තත්ත්වය උසස් කිරීමටත් මෙය  අනිවාර්ය බලපෑමක් වනු ඇතැයි විශ්වාස කෙරේseegiri_p_10

මේ පිළිබඳ අප මාධ්‍ය කණ්ඩායම ලද අසුරු සැණින් කළ විමසීම්වලදී ජනතාව ඉතා යහපත් ප්‍රතිචාර දැක්වූයේ අපේක්ෂා පිරි දෙනෙතිනි. 

2016 දී සංචාරකයින් මිලියන 2.5ක ඉලක්කය හඹා යන අතරේ ලක් ජනතාවගෙන් සත් දෙනෙකුගෙන් එක් අයෙකුට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා දීම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අපේක්ෂාවයි

සීගිරියේ හෝටල් පිළිබඳ විමසා බැලීමේදි සංචාරකයින්ට දැනට ප්‍රමාණවත් හෝටල් සංඛ්‍යාවක් පවතී. තරු පන්තියේ හෝටල් 7ක් පමණ වන අතර එහි කාමර සඛ්‍යාව 537කි. මීට අමතර ව ඊට ආසන්න පහසුකම් සහිත හෝටල් රැසකින්ද සමන්විත වන අතර ඉදිරියේ දී මෙම ගණන තවදුරටත් වැඩි කිරීමට අමාත්‍යංශය අපේක්ෂා කරයි.

seegiri_p_11සීගිරි කෞතුකාගාරය දුටු මට සිතුණේ සීගිරියේ සියලු සංවේදනාත්මක සුන්දරත්වය  සිහගිරි කඳු පාමුලට ගෙනැවිත් ඇති සෙයකි. ඒ අවට සැඟ ව හිනැහෙන අපේ උරුමයන් හා සියලු දැනුම් සම්භාරයන් එක් වහලකට ගෙනැවිත් ඇති, සියලු අංගයන්ගෙන් සපිරි මේ කෞතුකාගාර පරිශ්‍රය  අනාගතයේ අපට සීගිරිය ගැන කියා දෙන දැනුම් ගබඩාවක් බවට පත්කරන ලකුණු දනවයි. මේ පරිශ්‍රය තුළ වූ ශ්‍රවණාගාරයේ සාකච්ජාවන් තුළින් ඇසුණේ  නුදුරු අනාගතයේ දී සීගිරිය මිහිපිට සුරපුරක් බවට පත්කරනු වස් නැගුණු යෝජනා හා චෝදනා ය.

අපේ උරුමය අනාගතයට මීට වඩා හොඳින් දකින්නට විඳින්නට හැකි වෙතැයි යන සුභවාදී චින්තනය අප සිත් සතන් වෙළාගත්  එම නිමේෂයේ පෙර මා පැතූ ලෙස ම  සඳ සීගිරියට එබිකම් කරමින් තිබිණ. ඒ සියලු සත් කාර්යයන් සඵල කරවන පුර පස සඳයි. එය අපේ රටේ සංචාරක ප්‍රවර්ධනයේ පෙර මඟ සුබ නිමිත්තයි.

seegiri_p_12සැදෑ සුළඟට මුසු ව ඇදෙන කළුවරේ ලා පැහැය අප වසා ගන්න ඔන්න මෙන්න කියද්දී, අප රට අලුතින් ලොවට දායාද කරන්නට පෙරුමන් පුරන නැඟෙනහිර අලුත් සංචාරක ඉසව්වට නෙත් යොමන්නට අපි රථයට නැඟුනෙමු. ඒ වසර ගණනක් අපට සංචාරය අහිමි ව තිබූ පාසිකුඩා වෙරළට වැටෙන තරු කැට දකින්නට, ඒ රන් වෙරළේ  පිය සටහන් තබන්නට හදවත කරන ප්‍රාර්ථනාවට ඉඩදෙමිනි.

- සකුන්තලා ජයවර්ධන

ඡායාරූප -සුජිත් කොඩිතුවක්කු

 

 


අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 09:50