Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here Category Table යළි පිබිදෙන උතුරු නැගෙනහිර…

යළි පිබිදෙන උතුරු නැගෙනහිර…

  • පී.ඩී.එෆ් (PDF)

northවසර 30 ක යුද්ධයේ නිමාවත් සමඟ එතෙක් ශ්‍රී ලංකාව වසා තිබුණ අඳුරු සෙවණැල්ල සේදී ‍ගියා සේය. ජනතාවගේ හදවත් තුළ නැගුනු දුක් ගිනි නිමා වී නව සිතුවිලි දළුලන්නට පටන්ගෙන ඇත. මෙතෙක් පණ අදිමින් තිබූ සංවර්ධන ක්‍රියාදාමයන් නව ජවයකින් ගමන් අරඹා ඇත. මහින්ද චින්තන වැඩ පිළිවෙළ පෙරටු කරගත්  සංවර්ධන සංග්‍රාමය දිවයිනේ සිව් දෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී. අද ලංකාවේ ඕනෑම ලොකු කුඩා ගමක් නගරයක්, පාරක් තොටක් දෙස බලන්නේ නම් පෙර නොවූ විරූ ආකාරයේ  යම් වෙනසක්, සංවර්ධනයක් දක්නට ලැබේ. අද දිනෙන් දින ගම නගරයටත්, රට ලෝකයටත් සමීප වෙමින් සිටී. එමෙන්ම මෙතෙක් සිරව සිටි මායිම් වැටකොටු බිඳ දමමින් උතුර දකුණ යා කරමින් අධ්‍යාත්මිකවත්,භෞතිකවත් සබඳකම් තරවෙමින් පවතී.

ඒ අනුව උතුරට  වසන්තයත්, නැගෙනහිරට නවෝදයත් කැඳවමින් මෙතෙක් ජීවිතයට උරුමව පැවති කඳුළට සිනහවක් එක් කරන්නට ඒ ප්‍රදේශවල සංවර්ධන වැඩසටහන් රැසක්  දියත් කර ඇත. එහිදී එම ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත්, විශේෂයෙන් යහපත් මානසික තත්ත්වයක් ගොඩනැගීම සඳහාත් ඒ ඒ අමාත්‍යාංශ හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් මොනවාද? කොයිතරම් දුරට ක්‍රියාත්මක කර තිබේද? ඉදිරි වැඩපිළිවෙළ කොහොමද? ආදි වශයෙන් අප මේ පිළිබඳව අදාළ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් විමසීමක් ක‍ළා. එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකර ඇති ප්‍රගතිය පිළිබඳව අප සමඟ අදහස්  දැක්වූ


‍සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා,

Dim lights Embed Embed this video on your site

"උතුරු ප්‍රදේශයේ සංවර්ධනය සඳහා විශේෂයෙන්ම අපි මේ වන විට ප්‍රධාන වශයෙන් සැලකිල්ල යොමු කරලා තියෙනවා. පසුගිය අවුරුදු දෙකක කාලසීමාව ගත් විට විශාල වෙනසක් පෙන්නුම් කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මානූෂිය මෙහෙයුම් අවසානයේ ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයත් සමග උතුර ප්‍රමුඛ මුළු මහත් රටේම ජනතාව නිදහස සහ සාමය භුක්ති විදිනවා. අපි විවිධ සංවර්ධන ක්ෂේත්‍ර හරහා කරන කාර්යයන් ගත් විට උතුරේ ජනතාව මීට වසර දෙකකට පෙර සිටි තත්ත්වයත්, අද තත්ත්වයත් හාත් පසින්ම වෙනස්. යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වෙලා සිටි ජනතාව නිදහස් හා සාමකාමී පරිසරයක අද ජීවත් වෙනවා. මේ නිසා රජය ගෙන යන වේගවත් සංවර්ධනයේ ප්‍රමුඛ කාර්යය භාරයක් උතුරේ ජනතාව ඉටු කරනවා. අපි දන්නා අපේ රටේ මෑත ඉතිහාසය ගත් විටත් පසුගිය අවුරුදු තිහ, හතළිහ පනහක කාලසීමාව තුළත් මේ රටේ කෘෂිකාර්මික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රමුඛ කාර්යයක් කළේ උතුරේ ගොවියා තමයි. අදත් ඒ වගේම තමයි. විශාල කෘෂිකාර්මික සංවර්ධනයක් උතුරේ ඇති වෙනවා. ඇතිවෙමින් පවතිනවා. ඒත් එක්කම සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ගත් විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උතුරේ දැන් මේ වන විට ජපානයෙන් ලැබූ ජපන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ජයිකා ආයතනයෙන් ලැබෙන මුදල් වලින් යාපනය මහ රෝහල වැඩි දියුණු කිරීමේ විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. මෙය අති විශාල දැවැන්ත නව ගොඩනැගිලි සංකීර්ණයක්. ඒ වගේම මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශවල අපි දේශීය අරමුදල් හා වෙනත් විදේශ අරමුදල් හරහා ලැබෙන ප්‍රතිපාදන තුළ නව ගොඩනැගිලි ඉදිවෙනවා. මුළු උතුරු ප්‍රදේශයම ගත් කළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් වල නව ගොඩනැගිලි ඉදි කිරීම, ඒ වගේම අවශ්‍ය උපකරණ භෞතික සම්පත් වගේම මානව සම්පත අංගසම්පූර්ණ කිරීම තමයි ‍අපි මේ දිනවල කරගෙන යන්නෙ. ඒ තුළ උතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් විට උතුරේ ජනතාවත්, මේ රටේ සියළුම අංශවල වගේම එකම රටක ජීවත් වන ජනතාවතාවක් විදියට නීරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ කාර්යයට අවශ්‍ය ‍භෞතික සම්පත් හා මානව සම්පත් ඒ සියල්ල සපයමින් මේ වන විට කටයුතු කරා වගේම ඉදිරි කාලසීමාව ගත් විට අපි එම ප්‍රදේශවල ජනතාවගේ මන්ද පෝෂණ තත්ත්වයන් විශේෂයෙන්ම සැලකිල්ලට ගන්නවා. මොකද පෝෂණ තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් අපි යොමු කරලා තියෙනවා. යුද්ධය නිසා
පීඩාවට පත්වු ඒ පවුල් වල, විශේෂයෙන් කුඩා දරුවන්ගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමේ දී ජාතික පෝෂණ සභාව (අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි රැස් වෙන්නෙ) හරහා  අපිට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ලෝක කෘෂිකාර්මික සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලැබෙන විවිධ ප්‍රධානයන් රටේ අනෙක් ප්‍රදේශවල වගේම උතුරේ ජනතාවටත් ලබා දීමට අපි ප්‍රමුඛත්වයක් දී තිබෙනවා. උතුරේ නීරෝගීමත් ජනතාවක් බිහි කිරීම වගේම මන්දපෝෂණ තත්ත්වය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලක් ඒ. ඒ වගේම අනෙකුත් බෝවන රෝග මේ සියල්ලම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂ කණ්ඩායම් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා යොදවල තියෙනවා. ඒ අනුව උතුරු ප්‍රදේශය තුළ සිදුකෙරෙන භෞතික සම්පත් සංවර්ධන මෙන්ම මානව සම්පත් සංවර්ධනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට අපි ප්‍රමුඛ කාර්යයක් ඉටුකරනවා කියල කියන්න පුළුවන්."

සෞඛ්‍ය අමාත්‍යතුමා ඒ විදිහට පවසන විට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කුරිරු යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාවට නැවතත් තමන්ගේම වූ නිවහනක නිදහසේ  දිවි ගෙවන්නට ඉඩ හසර සලසන ආකාරය ගැන අදහස් දැක්වූයේ මේ අයුරිනි.

rizard"යුද්ධය නිසා ලක්ෂ 7ක් පමණ ජනතාව අවතැන්ව සිටියා.  ඒ අයගෙන් 99% ක් අද වනවිට නැවත පදිංචි කර තිබෙනවා. එයින් නැගෙනහිර පළාතේ පදිංචි කිරීම් මේ වන විට අවසන් කරලා තිබෙනවා. උතුරේ දැනට බිම් බොම්බ ඉවත් කර ඇති ප්‍රදේශවල නැවත පදිංචි කිරීම කර තිබෙනවා. බිම් බෝම්බ ඉවත් කර නැති සුළු ප්‍රදේශ කිහිපයක පමණක් නැවත පදිංචි කිරීම් සිදු කළ යුතුව තිබෙනවා. එම ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කළ පමණින් දැනට කඳවුරුවල රැදී සිටින පිරිස පදිංචි කිරීම් සිදුකරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බැසිල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ‍උතුරු නැගෙනහිර සංවර්ධනය කරමින් පවතිනවා. ඒ අනුව ලෝක බැංකුවේ හා  ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ නෙකෝර්ඩ්, එන්රීෆ්, රෙෆ්,මග නැගුම, ගම නැගුම ආදි ව්‍යාපෘති රැසක් දියත් කර තිබෙනවා. ඒ වගේම මන්නාරම්,සංගපිටිය ආදී පාලම් දියුණු කිරීම, චීන රජයේ ආධාර ඇතිව ඒ-9, ඒ 32 ප්‍රධාන මන්නාරම, කිළිනොච්චි, මුලතිව්, පාරවල් වලට අමතරව ඇතුළු පාරවල් කාපට් කිරීම ආදිය සිදුවෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන උපායන් නගා සිටුවමින් කෘෂිකාර්මික හා ධීවර අංශයන්ගේ පහසුකම් සැලසිම සිදු කරනවා. ඒ අතර ධීවර බෝට්ටු සැපයීම,තොටුපල ,වැව් ප්‍රතිසංස්කරණය ආදිය සිදු කරනවා. මේ ආකාරයෙන් උතුරු නැගෙනහිර සංවර්ධනයට විශාල වැඩ කොටසක් කර තිබෙනවා. ඒ වගේම කරමින් පවතිනවා."

උතුරු නැගෙනහිර සංවර්ධනයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අප්‍රමාණ මෙහෙවරක් සිදු කරන බව පැහැදිලිවම දක්නට ලැබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන උතුරු වසන්තය, දිවි නැගුම, ගම නැගුම, මග නැගුම ආදී ව්‍යාපෘති මෙහිදී අමතක කළ නොහැක. වසර ගණනාවකට පසු සංචාරක ව්‍යාපාරය මේ නවබිමට ප්‍රවේශ වෙමින් පවතී. එවන් තත්ත්වයක් තුළ අප ඒ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගෙන් විමසීමක් කළා.

Dim lights Embed Embed this video on your site

"දශක තුනක යුද්ධයෙන් පස්සේ විශේෂයෙන් මේ රටේ සංවර්ධනයේ ඉතා ඉහළ මට්ටමක ප්‍රවිශ්ටයකට අපි ඇවිත් තියෙනවා. මොකද යුද්ධයකදී ඕනම රටක් කරුණු හතරකට පහකට මැදිවෙනවා .එකක් ඒ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. අනෙක් පැත්තෙන් ඒ රටේ තියන ස්වාභාවික සම්පත් විනාශ වෙනවා. ඒවගේම අපි බලාපොරොත්තු නොවන තත්ත්වයට ඒ රටේ ජනතාව පත්වෙනවා. ඒවගේම අසාමාන්‍ය ලෙස ජනතාවගේ තියෙන සංස්කෘතිකමය විනාශයන්. ඒවගේ සියළුම දේ එක්ක රටක් වැටෙනවා. අපිට එයට මුහුණ දෙන්න පුළුවන් උනා. මේ දශක තුනක යුද්ධයෙන් පස්සේ විශේෂයෙන් අපි යුද්ධයත් එක්කම තමයි නැගෙනහිර පළාත සංවර්ධනය කරන්නෙ. මොකද අපි එක ස්ථාවරත්වයක හිටිය යුද්ධයෙන් බේරා ගත්තට වැඩක් නෑ. ඒ ප්‍රදේශවල  ජනතාවට ඒ පහසුකම් ලබා නොදුන්නොත් නැවතත් ත්‍රස්තවාදයට යොමු වෙන්න පුළුවන්. ඊට පස්සෙ තමා බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා නැගෙනහිර නවෝදය කියන වැඩසටහන පටන ගත්තෙ. මේ නැගෙනහිර නවෝදයත් එක්ක ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ කියන්නෙ හමුදා කඳවුරු විතරයි අපිට තියෙන්නෙ. එතකොට ජනතාව හැම තිස්සෙම එල්.ටී.ටී.ඊ සංවිධානයට යොමු වුණා. දැන් අපි ඒ ප්‍රදේශවල ප්‍රශ්න ඉවර කරගෙන යනවා. එයාලගෙ නිවාස ප්‍රශ්නය බොහෝ දුරට සම්පූර්ණ කරල තියෙන්නෙ. ඒවගේම යටිතල පහසුකම් විදුලිය, ජලය,පාරවල් ධීවර ජනතාවට ආම්පන්න මේ සියළුම දේවල් ලබාදී ගෙන නැගෙනහිර පළාතේ තත්ත්වය ස්ථාවර තත්ත්වයකට පත් කර තියෙනවා. ඊට පස්සෙ තමා උතුරේ. උතුරේ වසන්තයත් එක්ක මේ වන විට උතුරට මිලියන 33000ක් මේ අවුරුදු 3ට  ආණ්ඩුව උතුරට වැය කරල තියෙනවා. ඒ මිලියන 33000 සරණාගතයන්ට කෑම දීම, පහසුකම් දීම අයි.ඩී.බි. කෑම්ප් පවත්වාගෙන යාම යන මේවට අමතරව. එතකොට දැන් අපි කරගෙන යනවා උතුරේ පාරවල් ටික හොදට හදල, ඒවගේම ඒ ජනතාවගේ ජන ජීවිතය සාර්ථක කර ගැනීමට නිවාසවල ඉදිකිරීම් කටයුතුවල යෙදිල තියෙනවා. ඒවගේම මේ වන විට පැති දෙකක් යෙදිල තියෙනවා. එකක් සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්න අදාළ ස්ථාන  වැඩි දියුණු කරන්න කටයුතු කරල තියෙනවා. ඒවගේම එල්ෆ් දූපත පවා අපි එකෝ ටුවරිසම් තත්ත්වයට ගේන්න දැන් වැඩ ආරම්භ කරල තියෙනවා.  ඒවගේම අපි නැගෙනහිර පළාතේ පාසි කුඩා වෙරළ තීරය හෝටල් 14කට  ලබා දීලා එය ඉදිකරගෙන යනවා. ඒවගේම වාකරේ දැන් අපි අළුතින් සංචාරක ව්‍යාපරයට ගැලපෙන ආකාරයෙන්  දියුණු කරන්න පටන් අරන් තියෙනවා. කල්පිටියෙ අළුත් ආයෝජකයින්ට ඉඩ ඇරල තියෙනවා . එතකොට මේ ආකාරයට  සම්පූර්ණයෙන්ම හැම අංශයක්ම ආවරණය වෙනවා. ,සංචාරක ව්‍යාපාරය ගත්තොත් සංචාරක ව්‍යාපාරය ,සංචාරකයින්ගේ පැමිණිම, 40%කින් විතර වැඩිවෙලා තියෙනවා. අපි ඉලක්ක කර ගන්නවා මේ කාල සීමාව ඇතුළත,  ඉදිරි අවුරුදු පහ ඇතුලත අපේ හොදම ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය ලෙස හදුනාගෙන තියෙනවා .ඒ නිසා සංචාරක ව්‍යාපාරයට අදාළ සාමාන්‍ය ජනතාවට ආදායම් මාර්ගයක් ගන්න පුළුවන් හෝම් ස්ටේට් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. එයින් ඒ අයට පුළුවන් නිවාස හදල, ඒ අයට කාමර දෙකක් හදල ඒක වැඩි දියුණු කරන්න. එවිට අපි ඔවුන්ට උදව් කරනවා. අනෙක් පැත්තෙන් හෝටල් ව්‍යාපාර සඳහා අවශ්‍ය වෙනත් පහසුකම් ලබා දෙනවා. ඒවගේම ඒ ආයෝජකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික ලබලා දෙනවා.මේ ආකාරයට මේ සියළුම දේවල් කරන ගමන් අපි දකුණෙ උනත්, උතුරෙ විතරක් නොවේ යුද්ධයෙන් පස්සෙ රටේ හැම තැනම සංවර්ධනයන් සිදු කරනවා. දැන් බලන්න ගාල්ල බස් නැවතුම් පළ. ලක්ෂ 4200ක් වැය කරල මාස අටක් ඇතුලත මේ බස් නැවතුම් පල අපිට හදන්න පුළුවන් වුණා. අද වන විට මාතර අධිවේගී මාර්ගය මේ මාසේ අන්තිම වෙන කොට විවෘත කරන්න තීන්දු කරල තියෙනවා. එතකොට  එතන ඉදන් එහා පැත්තට මාතරට අධිවේගී මාර්ගය පටන් අරගෙන තියෙනවා. හම්බන්තොටට මිනුම් කටයුතු දැන් සිදුකරනවා. එතකොට ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් උප නගර සංවර්ධනය දැන් පටන් අරන් තියෙනවා. එතකොට ඒ එක්කම හැම මැතිවරණ කොට්ඨාසයකම කිලෝ මීටර් 25 අවම වශයෙන් කාපට් කරනවා. එතකොට අපි බලන්නෙ නගරයට බද්ධ කරන්න ගම. එතකොට නගරයේ කාපට් පාරවල් තියෙනවා වගේම ගමේ පාරවල් අවුරුදු 3ක් ඇතුළත කි.මි.75ක් කාපට් කරොත් එක් ආසනයක භාගයක් ඒ කටයුතු ඉවරයි. එතකොට ඒ කොටසෙ ජනතාව කෙලින්ම නාගරික ජනතාව හා සම්බන්ධ වෙනවා. මොකද අපි අසීමිත මුදල් ප්‍රමාණයක්  යුද්දෙට වැය කළා. ඒකෙන් කෝටි හැටදාස් එකසිය විස්සක් වැය කරල තියෙනවා. මේ අවුරුදු හතර තුළ එනම් 2006,2007,2008,2009කියන වර්ෂවල .ඒ කියන්නෙ එක අවුරුද්දකට කෝටි 15ක් වෙනවා. ඒ මුදල් වලින් විශාල ප්‍රමාණයක් අපි  දැන් ජනතාවගේ සුබ සිද්ධියට තමා පාවිච්චි කරන්නෙ. අනෙක් පැත්තෙන් දිවි නැඟුම වැඩසටහ ක්‍රියාත්මක කරනවා. ජනතාවගෙ ජීවන තත්ත්වයේ යහපත සලසන්න. එතකොට එක ගමකින් පවුල් 100ක් අර ගන්නවා. ඒ 100ට අවශ්‍ය පහසුකම් අපි දෙනවා. ඒ ගොල්ලන්ගෙ නිෂ්පාදනය ඒ අය වැඩියෙන් ඇති කරගන්නවා. ඒ ගොල්ලන්ට ඒකෙන් ආදායම් මාර්ගයක් ලැබෙනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර ඒ අයට ලැබෙනවා. ඒ වගේම ඔවුන්ට කල්පවත්වා ගැනීමේ ආහාර ක්‍රමයක් ඇති වෙනවා. ඒ වගේම ඔවුන් දේශීය ආහාරවලට හුරු වෙනවා. මේ කාරණා එක්ක තමා රටක් ඉස්සරහට යන්නෙ.ඒ නිසා මේ ආණ්ඩුව ඒක බලලා තියෙනවා. ඒ කියන්නෙ පහුගිය වකවානුවත් එක්කම අපි යුද්ධය ඉවර වෙනවත් එක්කම කළේ සංවර්ධනය ඉතාමත් වේගවත් කිරීම. වෙනත් ලෝකයේ කිසිම රටක් යුද්ධයකට පස්සෙ මේ වගේ සංවර්ධනයකට ඇවිල්ල නෑ. අද 8.6කට ආසන්න ප්‍රමාණයක ආර්ථික සංවර්ධනයකට ඇවිත් තියෙනවා. චීනය ගත්තොත් 9.6ක. එතකොට අපි ආසියාවේ හොද ස්ථාවර රටක් විධියට මූන් වාර්තාවේ තියෙනවා . අපේ ශ්‍රේණිය උසස් කරල තියෙනවා. බී ධන ශ්‍රේණියේ සිට බී සෘණ ශ්‍රේණිය දක්වා උසස් කරල තියෙනවා. ඒ කියන්නෙ රටේ ස්ථාවර භාවය , දේශපාලන ස්ථාවර භාවය, ආර්ථික ස්ථාවර භාවය, යුද බිය නැති වීම මේ කාරණා ඔක්කොම එක්ක රට එක්තරා සංධිස්ථානයකට ඇවිල්ල තියෙනවා. විපක්ෂයේ තියෙන අනෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ඒ කියන්නෙ ලෝකයට ,ජාත්‍යන්තරයට අපේ රට විශේෂයෙන්ම අපකීර්තියට පත් වන දේවල් නොකර හිටියොත් අපිට විශාල තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. මම හිතන්නෙ මේකට උත්තර දෙයි මේ මැතිවරණය. මේ මැතිවරණය දකුණයි උතුරයි,නැගෙනහිරයි ඔක්කොම එකට තියෙන මැතිවරණයක්. ඒ නිසා මේ මැතිවරණයට ජනතාව ආණ්ඩුවත් එක්ක එකට සිටින බව 100% විශ්වාසයි. ජනතාව දැන් කරන්න තියෙන්නෙ සංවර්ධනය තම කොට්ඨාසයට ගේන්නත්, ලෝකයට අපි අපේ ජනාධිපතිවරයා එක්ක සිටින බව පෙන්වන්නත් එක දේ මේ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් රජයට ලබා දීමයි."

යුද වකවානුව තුළ උතුරේ තෙල් පරිභෝජනය සිදුවුණේ වෙනත් රටක මෙන් සෙසු ප්‍රදේශවලින් වෙනස් වූ කළු කඩ මිල ගණන් යටතේය. ඒ නිසාවෙන් උතුරේ ජනතාව විදි පීඩා අපමණය. ඒ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ඛනිජ තෙල් හා කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ගෙන ඇති පියවර පිළිබඳව අපට මෙසේ අදහස් දැක්වුවා.

susil"ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජන ජීවිතය වඩාත් යහපත් කිරීම සදහා රජය  දැවැන්ත සංවර්ධන ක‍්‍රියාදාමයක් දියත් කර තිබෙනවා. මේ වන විට දෙමළ, මුස්ලිම් ජනතාව ඉතාමත් සමගියෙන් සහයෝගයෙන් එම ප‍්‍රදේශවල ජීවත්වෙනවා. ත‍්‍රස්තවාදය නිසා විනාශ වූ උතුරේ ජනතාවගේ සියලූ භෞතික සම්පත් නැවත එම ජනතාව වෙත ලබාදීම සඳහා ආරම්භ කර ඇති උතුරු වසන්තය සංවර්ධන වැඩසටහනට සමගාමීව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් උතුරු පළාත් ඉන්ධන පාරිභෝගික අවශ්‍යතාවය සපුරාලීම සඳහා පුළුල් වැඩසටහනක් ආරම්භ කර තියෙනවා. උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක 4ක ඉන්ධන පිරවුම් හල් 7ක් පසුගිය 15, 16 දෙදින තුළ විවෘත කළා. ත‍්‍රස්තවාදී යුද්ධයක් ආරම්භවීමට පෙර සුලූ තෙල් ගබඩා සහිත ලියාපදිංචි ඉන්ධන බෙදුම්කරුවන් 170 ක් පමණ උතුරු පළාතට අයත් යාපනය, මුලතිව් , කිළිනොච්චි, මන්නාරම, වව්නියා යන දිස්ත‍්‍රීත්ක 5 පුරා ක්‍රියාත්මකව පැවතිය ද ත‍්‍රස්තවාදය අවසන් කරනවිට ක‍්‍රියාත්මක මට්ටමේ පැවැතියේ භූමිතෙල් ගබඩා, ඞීසල් ගබඩා, භූමිතෙල් හා ඞීසල් ගබඩා හා සුලූතෙල් ගබඩා ඇතුලූව ඉන්ධන හල් 61කි. ඒ අනුව උතුරු ප‍්‍රදේශයේ පැවැති ඉන්ධනහල් යළි ක‍්‍රියාත්මක කිරීම, ඒවා උසස් මට්ටමට ගෙනඒම හෝ සුදුසු වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම, ඉන්ධනහල් අලූත්වැඩියා කිරීම මෙන්ම. මීට අමතරව  ලබන මාස 3 ඇතුළත උතුරු නැගෙන හිර ප්‍රදේශයේ තව පිරවුම් හල් 20 ක් ආරම්භ කරනවා. පාසිකුඩා වල 18 දා එකක් විවෘත කළා. ඉස්සර අනෙක් පළාත්වල රුපියල්  61 ට තිබුණ පෙට්‍රල් ලීටරය මේ පළාත්වල වික්කේ කළු කඩ මිලට.  රුපියල් 100ට 200ට. මේ විදිහට අපි පිරවුම් හල් ඉදි කරලා අනෙක් ප්‍රදේශවල වගේම මේ ප්‍රදේශවලත් එකම මිලට ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ අනුව උතුරු ප‍්‍රදේශයේ සමස්ථ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියට අදාළව එය ආවරණය වන ලෙස ඉන්ධන අවශ්‍යතාව සැපිරීමට ඛනිජ තෙල් හා කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තියෙනවා. "

රටක සම්පත ,දියුණුව උගත් පරපුරයි. එනම් අධ්‍යාපනයයි. අවබෝධයට අධ්‍යාපනය වැදගත් වේ. නිවැරදි අධ්‍යාපනය දහසක් ප්‍රශ්න විසදනු ඇත.  යුධ සාපය දුරස් වීමට අධ්‍යාපනය සෘජුවම බලපායි. ඒ සම්බන්ධව සිදුකරන දෑ පිළිබඳව අපි උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතාගෙන් විමසීමක් කළෙමු.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක

Dim lights Embed Embed this video on your site

"අපි මුළු ලෝකයම මවිත කරමින් තිස් අවුරුදු මහා යුද්ධයක් අවසන් කරලා රට එක්සේසත් කරගත්තා. ඒ නිසා මේ යුගය මේ රටේ සිංහල ,දමිළ මුස්ලිම් සියළු ජනතාවටම නිදහසේ අළුත් බලාපොරොත්තු බිහිවන යුගයක්. මේ 30 අවුරුදු යුද්ධයෙන් වඩාත්ම බැට කෑවේ, පීඩනයට පත් වුණේ, ජීවිත හානි වුණේ උතුරෙ දමිළ, මුස්ලිම් ජනතාව. ඒ නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අති විශාල සංවර්ධන වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරල තියෙනවා. ඒ නිසා ලංකාවෙ  කොහේවත් නැති මාර්ග , පාසැල් ගොඩනැගිලි , ආරෝග්‍ය ශාලා රජයේ දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන අති විශාල වශයෙන් මේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලින් ලැබිලා තියෙනවා.
ගුවන්තොටුපොළවල්,වරායවල් මේ සියල්ල අද හැදෙමින් පවතිනවා. මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට අපි මේ විශ්වවිද්‍යාල තුනේම, යාපනය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය හා නිරිත දිග විශ්ව විද්‍යාලය සිංහල, දෙමළ පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ වැඩකටයුතු කඩිනම් කරල තියෙනවා. එහි ආචාර්යවරුන්ගෙන් විශේෂයෙන් ආධුනික ආචාර්යවරුන්ට ඔවුන්ගේ පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා විශාල වශයෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරල තියෙනවා. ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු දිරිමත් කිරීම සඳහා පරීක්ෂණ දීමනාවක් ඔවුන්ගේ වැටුප්වලට එකතු කරල තියෙනවා . ඒ වගේම මේ විශ්වවිද්‍යල තුනේ අළුතින් කලා පීඨයට ඇතුල් වෙලා රස්සා නැතුව එළියට යන දරුවන්ගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වළක්වන්න කලා පීඨ තුළ තොරතුරු තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධි , ඒ වගේම ඉංග්‍රීසි විශේෂ උපාධි වගේ දේවල් කලා විෂය කරන සිසුන්ට හදුන්වා දෙමින් මේ දරුවො එළියට යවන කොට ඒ දරුවන්ට රටේ , ලෝකෙ වටිනාකමක්, මිලක් තියෙන දරුවන් බවට පත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරල තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා යාපනය විශ්ව විද්‍යාලයට ඉන්දියාවේ ආධාර ලබාදීල තියෙනවා. ඒ අනුව අපි යාපනය විශ්ව විද්‍යාලයෙ ඉන්ජිනේරු පිඨය, කෘෂිකර්ම පීඨය යන මේවා වේගයෙන් දියුණු කිරීමට වැඩකටයුතු ආරම්භ කරල තියෙනවා. ඒවගේම නිරිත දිග විශ්වවිද්‍යාලයට අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් කුවේට් ආධාර ලබා දීල තියෙනවා. ඒ හරහා අපි නිරිත දිග විශ්වවිද්‍යාලය විශාල වශයෙන් දියුණු කරමින් පවතිනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලයට රජය විශාල වශයෙන් ආධාර කරල තියෙනවා .ඊට අමතරව අපි තවත් ‍කුමන හෝ රටක ආධාරයක් ලබා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා මේ වන විට රටවල් කීපයක් සමග  සාකච්ජා කරමින් සිටිනවා. ඒ අනුව අපි අද ආයුධ ගත්ත දරුවො වෙනුවට ඒ දරුවො ලෝකය පිළිගත්ත, රටම පිළිගත්ත  වටිනාකමක් තියෙන මහා විද්‍යාඥයන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු උතුරු නැගෙනහිර ප්‍රදේශයට විශේෂව උනන්දුවකින් කරගෙන යනවා.”

මේ වගකීමෙන් යුතු ප්‍රකාශවලින් පෙනෙන්නේ උතුරු නැගෙනහිර සංවර්ධනය තුළින් උතුරු වසන්තයත්, නැගෙනහිර නවෝදයත් යථාර්ථයක් බවට පත් වන පෙර මග ලකුණුයි. එදා අපි රටට සාමය උදා වේවා! යයි ඉත සිතින් පැතුවෙමු . සාමය උදාවී ඇති අද අපි ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට නුදුරේම පත්වේවා!යි පතමු.

- සකුන්තලා ජයවර්ධන
  එනූෂා බණ්ඩාර

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූලි 23 වෙනි සෙනසුරාදා, 19:31