Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here Category Table ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව ස්වාමින්වහන්සේ සමඟ කළ සම්මුඛ සාකච්ඡාව

ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව ස්වාමින්වහන්සේ සමඟ කළ සම්මුඛ සාකච්ඡාව

  • පී.ඩී.එෆ් (PDF)

“ශ්‍රී ලංකාව තුළ සිදු වුණා කියන මානව අයිතිවාසිකම් කඩවීම්, යුධ අපරාධ සම්බන්ධව එක්සත් ජාතින්ගේ සංවිධානයට වඩා වැඩිපුරම වුවමනාව තිබෙන්නේ බාහිර අයට. ඒ අය නිරන්තරයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයට කරන බලපෑම මත තමා නෙයෙක් දේවල් සිද්ධ වෙන්නේ කියලා මට කියන්න පුළුවන්. මට විවිධ තානාපතිවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු කරන නිලධාරින් හමුවෙනවා. ඒ අනුව අපට  නිතර දකින්න ලැබෙන දෙයක් තමයි මොකක් හරි දෙයක් මතු කරලා, මවා පාලා යම් අර්බුදයක් කිරීමේ උත්සහයක් තිබෙනවා. විශේෂයෙන් විදෙස් මාධ්‍යයන්තුළින්. මෙහි යම් බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ගොඩක් වෙලාවට අපිට දකින්නට ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතය නොවෙයි බාහිර අදහස්. සමහරවිට පුද්ගලයෙක්ගෙ දෙන්නෙක්ගේ අදහසක් වෙන්න පුළුවන්…”

1)ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් නිව්යොක් හි පැවති 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමුළුවේ සම්බන්ධීකාරක වශයෙන් එය කෙතරම් දුරට සාර්ථක වූවා යයි ඔබවහන්සේ සිතන්නේද?

2600  සම්බුද්දත්ව ජයන්ති උත්සවය රටවල් 192ක් සමඟ එක්ව සතියක් පුරා පැවැත්වූවා.  සමස්ත උත්සවය දිහා බැලුවම අපට සතුටු වෙන්න පුළුවන් මෙහි සාර්ථකත්වය පිළිබඳව. පලවෙනි වතාවටයි එක්සත් ජාතින්ගේ ආරාධනයෙන් මෙවැනි බෞද්ධාගමික සම්මේලනයක්  පවත්වන්නට යෙදුනේ. රටවල් ගණනාවක් අතරින් ශ්‍රි ලංකාවට මෙම උත්සවයේ සභාපතිත්වය ලැබීම අප ලද භාග්‍යයක්. එය අපට ආගමික හා ජාතික යන දෙපැත්තෙන්ම වැදගත් වුණා. මෙම අවස්ථාවේ බෞද්ධාගම ගැන , බෞද්ධ සංස්කෘතිය පිළිබඳ, එහි ශිෂ්ට සම්පන්න ස්වාභාවය ගැන යම් අවබෝධයක් ලෝකයට ලැබුණා. ථේරවාද බුදු දහම ලෝකය තුළ පවිත්‍රව පවතින්නේ ශ්‍රී ලංකාව තුළ බව අවිවාදයෙන් පිළිගන්නා කරුණක්. ඒ නිසා අපට  ලාංකිකයින් හැටියට ලෝකයට දිය හැකි යමක් වේ නම් ඒ බුදු දහමේ පණිවිඩයයි. අපට ඊට හොඳ  අවස්ථාවක් උදා වුණා මේ සම්බුද්ධත්ව ජයන්තිය සැසිය තුළින්.

ඒ වගේම මෙය දේශපාලන වශයෙන් අපේ රටට වැදගත් වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්  බැන්කි මූන් මහතා සහභාගි වුණා. ප්‍රධාන දේශනය පැවැත්වූවා. ඒ වගේම රටවල් 192ක් නියෝජනය කළ තානාපතිවරුන් විශාල පිරිසක් මේ සම්මේලනයට සහභාගි වුණා. ‍මෙහිදී ඔවුන් දැක්කා අපේ රටේ සංස්කෘතිය , ශිෂ්ට සම්පන්නබව ,සභ්‍යත්වය ආදි අංශ ගණනාවක්. ඔවුන් අවබෝධ කරගත්තා අප මේ උත්සව සංවිධානයත් එක්ක අපේ අනන්‍යතාවය පිළිබඳ යමක්. මෙහිදී උත්සවය ඇමතූ විවිධ රටවල තානාපතිවරු ලංකාව ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළා. පුංචි රටක් විදිහට   අපට මෙය ඉතා සාර්ථකව කර ගැනීමට හැකිවීම පිළිබඳව. සමහර තානාපතිවරු පෞද්ගලිකවත්  අප සමඟ කතා කළා මෙහි සාර්ථකත්වය පිළිබඳව.

මේ තුළින් අපට හැකිවුණා ලංකාවේ සැබෑ ප්‍රතිරූපය ලොවට ගෙන යන්නට. ‍විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය. ලංකාව ගැන ඇති‍වෙලා තිබෙන අර්බුදකාරි තත්ත්වය විවිධ මාධ්‍ය තුළින් ලංකාව ගැන ගෙන යන ප්‍රතිරූපය , එහි පරිසරය එතරම් හිතකර තත්වයක නැහැ. එම තත්ත්වය අභිබවා යන්නට මෙම උත්සවය හොඳ අවස්ථාවක් වුණා. මානව හිමිකම් ගැන කතා කරන අවස්ථාවක මෙම උත්සවය තුළින් අප පෙන්වා දුන්නා ශ්‍රී ලංකා සංස්තෘතිය තුළ ශිෂ්ටාචාරය තුළ මානව හිමිකම් සුරැකීම පිළිබඳව අපට කෙතරම් දුර ඉතිහාසයක් තියෙනවද කියන එක.  වර්මානය තුළත් අප කෙතරම් ඉහළ මට්ටමකින් මානව අයිතිවාසිකම් සුරකිනවාද යන්න අවබෝධ කරවීම. ඒ වගේම  මේ උත්සවයේ  අප ශ්‍රි ලාංකිකයින් ලෙස එකට හිටියා. සිංහල, දෙමළ, මුස්ලිම් ආදි ජාතීන් මෙන්ම ක්‍රිස්තියානි, හින්දු ආදි විවිධ ආගමිකයින්. මෙහිදී ලෝකය දැක්කා ශ්‍රී ලාංකිකයන් ලෙස අප එක්ව සමඟිව කටයුතු කරන ආකාරය. විශේෂයෙන් ඇමරිකානු ජනතාව දැක්කා. මාධ්‍ය නිර්මාණය කරන බොහෝ දේවලට අපට ප්‍රායෝගිකව උත්තර දෙන්න  පුළුවන් කම ලැබුණා මේ උත්සවය තුළින්. ඒ නිසා මේ උත්සවයේ සම්බන්ධීකාරක වශයෙන් මා අතිශයින් සතුටු වෙනවා මෙහි සාර්ථකත්වය පිළිබඳව.

Dim lights Embed Embed this video on your site

2)එක්සත් ජාතින්ගේ සංවිධනායේ බැකි මූන් මහතා ඇතුළු නිලධාරින් සමඟ සමීපව කටයුතු කළ අයෙකු ලෙස ශ්‍රී ලංකාවේ මානුෂික මෙහෙයුම සම්බන්ධව දරුස්මාන් වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා පිළිබඳව ඔබ වහන්සේ දරණ අදහස කුමක්ද?

අපි දැක්කා මේ වාර්තාව ගැන විවිධ ආකා‍රයෙන්. ඇත්තටම දරුස්මාන් වාර්තාවට වඩා මෙහි වැඩිපුර දේ තියෙන්නේ බාහිරින්, මාධ්‍ය වලින් ක්‍රියාත්මක වන දේ. විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය්‍ය වලින්. ශ්‍රී ලංකාව තුළ සිදු වුණා කියන මානව අයිතිවාසිකම් කඩවීම්, යුධ අපරාධ සම්බන්ධව එක්සත් ජාතින්ගේ සංවිධානයට වඩා වැඩිපුරම වුවමනාව තිබෙන්නේ බාහිර අයට. ඒ අය නිරන්තරයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයට කරන බලපෑම මත තමා නෙයෙක් දේවල් සිද්ධ වෙන්නේ කියලා මට කියන්න පුළුවන්. මට විවිධ තානාපතිවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු කරන නිලධාරින් හමුවෙනවා. ඒ අනුව අපට  නිතර දකින්න ලැබෙන දෙයක් තමයි මොකක් හරි දෙයක් මතුකරලා, මවා පාලා යම් අර්බුදයක් කිරීමේ උත්සහයක් තිබෙනවා. යම් බලවේගයක් ක්‍රියාත්මක වෙනවා.ගොඩක් වෙලාවට අපිට දකින්නට ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතය නොවෙයි බාහිර අදහස්. සමහරවිට පුද්ගලයෙක්ගෙ දෙන්නෙක්ගේ අදහසක් වෙන්න පුළුවන්. වරක් ලෝක ආගමික නායකයිනගේ සම්මේලනයේ මහලේකම්වරයා පැවසුවා යුද්ධය පැවති කාලය තුළ සිදු වූ දේ ගැන කතා කරනවාට වඩා වර්තමාන තත්ත්වය තුළ ජනතාවට අවශ්‍ය දේ සොයා බලා ඒ තුළින් තිරසාර සාමයකට යෑම අපේ රටට වඩාත් සුදුසුයි කියලා. අනෙක් අතට අපේ රටේ කුඩාභාවය හා ශක්තිමත් බව නිසා තමයි මේ වගේ බලපෑම් එල්ල කරන්නේ. ප්‍රබල රටවල මීට වඩා සිය දහස් ගුණයකින් බරපතල ඇස්පනාපිටම පේන මානව අයිතීන් කඩවීම් සිදුවෙනවා. ඒත් ඒ ගැන කතා කරන අවස්ථා අඩුයි. බාහිරව විශාලව පෙන්වන දෙයක් මිස එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මේ ගැන විශාල අදහසක් නැහැ. එහෙම නම් අපේ මේ සම්බුද්ධත්ව ජයන්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බැන් කීමූන් මහතා පැමිණෙන්නෙ නෑ. ඒ වගේම මේ කටයුත්තට එතුමා විශාල ලෙස උපකාර කළා. එසේ නොවන්නට මේ උත්සවයක් කරන්න වෙන්නෙ නෑ. ඒකෙන් පැහැදිලියි. එතුමා තුළ අපේ රට ගැන පාලන තන්ත්‍රය ගැන කළකිරීමක් හෝ අපහැදීමක් නැතිබව. අප සමග කතා කරන බොහෝ  අයගේ අදහස වන්නේ මේ චෝදනා යථාර්ථවත් නැහැ කියලා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ චෝදනා පදනම් කරගෙන කරන්න දෙයක් ඇත්තෙත් නෑ. ඒ නිසා මෙයින් පෙනෙන්නේ සමහර රටවල දේශපාලන සහ වෙනත් උවමනාවන් මත මෙය සිද්ධවන බවයි. යුද්ධය වෙළදාමක් බවට පත් කර ගත් අයට සාමය ප්‍රශ්නයක් වෙනව. විශේෂයෙන් අවි ආයුධ වෙළදාම,මත්ද්‍රව්‍ය වෙළදාම ආදිය කරන අයට රට තුළ ඇති ප්‍රශ්න වැදගත්. ඒ අයට තමා අපේ රට නැවතත් යුද්ධය පවතින රටක් බවට පත්කරන්න වැඩි උවමනාව තිබෙන්නේ.

Dim lights Embed Embed this video on your site

3) ශ්‍රී ලංකාව හා මානුෂික මෙහෙයුම් ක්‍රියාවලිය  සම්බන්ධයෙන් ඇමරිකාවේ සාමන්‍ය සිවිල් වැසියන්ගේ අදහස් කෙබඳුද?

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය පිළිබඳවත්, සමාජ රටාව පිළිබඳවත් පාර්ශව දෙකක් දකින්න ලැබෙනව. එක් පිරිසක් මාධ්‍ය තුළින් ශ්‍රි ලංකාව පිළිබඳ දැනඅඳුනගත් පිරිස. අනෙක් පිරිස  ලාංකික ජනතාව එක්ක සම්බන්ධ වෙලා දැන අඳුනගත් අය. මේ අයගේ තියෙන්නේ ආකල්ප දෙකක්. මෙහිදී මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබා ගන්නා අය විශේෂයෙන් එල්.ටී.ටී.ඊයේ  හා දෙමළ ඩයස් පෝරාවේ අදහස් තමයි තියෙන්නේ. ඒකට හේතු නිවැරදි තොරතුරු ලෝකයට ගෙන යාමට ප්‍රචාරණ මාධ්‍යවල තත්ත්වය එතරම් වර්ධනීය මට්ටමක නෑ. එක අවස්ථාවක හමුදාව එල්.ටී.ටී. කඳවුරකට ප්‍රහාර එල්ල කළ විට ඇමරිකාවේ පත්තර ඇතුළු මාධ්‍යවල පල වුණේ පාසලකට ප්‍රහාර එල්ල කළා කියලා. ඒ වෙලාවේ ලොකු ආන්දෝලනයක් ඇතිවුණා. එවැනි තත්ත්වයකට හේතු වුනේ අපේ මාධ්‍ය ප්‍රචාරණ ජාලයට වඩා රටට එරෙහිව තිබෙන මාධ්‍යවල ප්‍රබලත්වය නිසයි. ඒ අනුව මාධ්‍ය ඇසුරින් අපේ රට දිහා බලන අයගේ ආකල්පය වන්නේ ලංකාව කියන්නේ මිනිසුන්ට හිංසා කරන, සමානත්වය නොසලකන, අයිතිවාසිකම් උල්ලංඝනය කරන සමාජයක් කියලා. අපිට එහෙම අය හමුවෙලා තියෙනවා. අපිත් සමඟ සාකච්ඡා කිරීමෙන් හා අපිත් සමඟ වැඩ කිරීමන් ඒ ආකල්ප බොහෝ විට වෙනස් වෙනවා. ඒ වගේම පන්සල් , අපේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික ආයතනත් එක්ක ලාංකිකයන් එක්ක ගැටෙන පිරිස් මාධ්‍ය වලින් දෙන දේ අප සමඟ සාකච්ඡා කරලා විමර්ශනශීලීව ගන්නවා. ඒ අතර හිටපු සමහර පිරිස්වලට අපට වඩා උනන්දුවක් තිබුණා යුද්ධය පවතින කාලවකවානුව තුළ. මේ යුද්ධය කවද්ද ඉවර වෙන්නේ කියලා. යුද්ධය ඉවරවීමේ සතුට ඒ අයට තිබුණා. ඒ තරම් අපේ රටට ආදරය කරන පිරිස් ඉන්නවා. එක පුද්ගලයෙක් වෙසක් කාලෙක ලංකාවට ඇවිත් දැකලා හරියට සතුටු වුණා ලංකාවේ එදාට දෙන දන්සල්, ඇවතුම් පැවතුම් හැසිරීම් ගැන. ලංකාවේ පිංකම් ගැන. පුදුම විදිහට මවිතයට පත්වෙලා තිබුණා. පිංතූර 5000කට වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා යාළුවන්ට පෙන්වමින් වර්ණනා කරනවා මම දැක්කා. ඒ පුද්ගලයා කියනවා එයාට හිතාගන්න බෑ කියලා මෙතරම් ත්‍යාගශීලි අය ලංකාවේ ඉන්නවද කියලා අපේ දන්සැල් ප්‍රමාණය දැකලා. මේක බටහිර රටවලට අරුමයක්. විශේෂයෙන් අමෙරිකාව වගේ රටවලට නොමිලේ ලබලා දෙන්න දෙයක් නෑ. සියළුම දේ තමන් උපායා ගත යුතුයි. ඒ අය ලංකාව ගැන සුභවාදීව හිතන්නේ. ඒ තත්ත්වය අපට තවදුරටත් තීවුර කරන්න හැකි වුනා සම්බුද්ධත්ව ජයන්තිය එක්ක. තව තවත් මේ අය ලංකාවට එන විට අපේ රට දිහා තව තවත් සුභවාදීව බලන්න පෙළඹෙයි කියා මා සිතනවා.

Dim lights Embed Embed this video on your site

4) ශ්‍රි ලංකාව වෙනුවෙන් නිව්යොක් හි ඔබවහන්සේ  විසින් සිදුකරන මෙහෙවර පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළහොත්?

විශේෂ වශයෙන් අපි විදේශ ගත වීම තුළ ප්‍රධානතම කාරණාව තමයි ධර්ම ප්‍රචාරණය කියන කාරණාව. ධර්ම ප්‍රචාරණය කියන කාරණාව සිදු කිරීම තුළදී අපි මේක සිදු කරන්න ඕනෙ බොහොම සැලසුම් සහගතව, සහ සූක්ෂම විදිහ‍ට. ගහක් උනාම ගහේ ති‍‍යෙනවා අර‍ටුව. ඒ වගේම  ඵළය කියල කොටස් දෙකක්. බුදු දහමේ පණිවිඩය ලෝකෙට දෙනකොටත් අපිට දෙන්න සිද්ධ වෙන්නෙ අන්න ඒ ක්‍රමයට. අපි ධර්මය කියන එක ගත්තොත් එහෙම ඒක තමයි අරටුව. එහෙත් ධර්මය විතරක් දීල අපිට පුළුවන් කමක් ඇත්තෙ නැහැ ධර්මය ස්ථාවර කරන්න ඒ සමාජය තුළ. ඒ නිසා අපට දෙන්න වෙන‍වා එළයත්. එළයත් අරටුවත් දෙක එකට පැවතුනොත් තමයි එය පවතින්න පුළුවන් කම තියෙන්නෙ.මේනිසා ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට උරුම වෙච්ච සංස්කෘතියක් තියෙනවා. ඒ තමයි එළය. අපේ ශිෂ්ඨාචාරයක් තියෙනවා අපේ ඇවතුම් පැවතුම් රටාවක් තියෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා ධර්මය දෙන ගමන් ධර්මයත් සමගම ලංකාවේ සංස්කෘතියත් ඒගොල්ලන්ට හදුන්වා දෙන්න. ලංකාවේ සංස්කෘතිය කියන්නෙ  ‍‍බෞද්ධ සංස්කෘතිය. ඒ තුළ අපිටම ආ‍වේණික  සමහර ‍‍දේවල් ති‍‍‍යෙනවා. පොදුවේ  ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට උරුම වෙලා තියෙන්නෙ බෞද්ධ සංස්කෘතිය. ඒ නිසා බෞද්ධ සංස්කෘතියෙ දායාදත් අපි ඒ අයට දෙන්න ඕනේ.  අපි සමාජීය සහ ආගමික මෙහෙවරයන් දෙකක් සිද්ධ කරනවා කියල අපට පැහැදිලියි. අපි ලාංකිකයන් හැටියට අපේ නිදහස් උත්සවය ඵහි සමරණවා. අපෙ අවුරුදු උත්සවය අලුත් අවුරුද්ද  සමරණවා. වෙසක් උත්සවය අපි සමරණවා. පොසොන් අපි සමරණවා. කඨිණ පින්කම් කරනවා. දැන් මේ තුළ තිබෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ආගමික පණිවිඩයක්. මේවා බෞද්ධ දර්ශනය කෙලින්ම, ඍජු ලෙසම දෙන අවස්ථා නෙමෙයි.මේ තුළින් කෙරෙන්නෙ අපේ සංස්කෘතිය හදුන්වා දීල ඒ සංස්කෘතිය හරහා ධර්මය පිළිබද පණිවිඩයත් ධර්මයේ  තියෙන සුවිශේෂි දෙවලුත් අපි කියලා දෙනවා.  අපි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිව්යොර්ක්වල පෙරහැරක් කළා. සියළු බෞද්ධ රටවල සහභාගීත්වයෙන් නැටුම් ගැයුම් වැයුම් සහිත ඒ ඒ රටවල සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් පෙරහැරක් කළා. දැන් පෙරහැරක් තුල කිසිම ආගමික දර්ශනයක් නැතිවෙන්න පුළුවන් බාහිරින් බලන කෙනෙකුට. නමුත් පෙරහැරවල් තුළ ඇතුළත් වෙලා තියෙන සංස්කෘතිය. ඊට අදාළ වෙලා තියෙන්නෙ ආගමයි. එහි  පන්නරයයි. ආගම තුළින් ලැබිච්ච ශික්ෂණයයි. ඉතින් ඒ අයට මේවා තේරුම් ගන්න සමහරවිට ඵක දර්ශනයක් දැකීම තුළින් බැරිවෙන්න පුළුවන්. මානසිකව ඒක විග්‍රහ කරගන්න කොට ඒක තේරුම් ගන්නවා.

මේ ආකාරයෙන් අපි විදේශගත වෙලා කරණු ලබන ධර්ම ප්‍රචාරය තුළදී ආගමික සහ ජාතික කියන දෙයාකාරයෙන්ම සේවාවන් සිද්ධ කරනවා. විශේෂ වශයෙන් දැන් අපේ විහාරස්ථානයෙ අපි ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන්නෙ ලෝනග් අයිලන්ඩ් මෙඩිටේෂන් සෙන්ටර් කියලා භාවනාව පදනම් කරගත්ත ආයතනයක් හැටියට. වැඩිපුර ඉන් ප්‍රයෝජන ගන්නෙ ශ්‍රී ලාංකිකයන් නෙමෙයි විදේශිකයන්. විදේශිකයන් කියල අදහස් කරන්නෙ ඒ රටේ ජනතාව. ඵහෙම නැත්නම් ඇමරිකානු ජනතාව. ඉතින් භාවනාවට සම්බන්ධ වෙලා භාවනාව සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්න අපිත් ඵක්ක ඵකතුවෙන ඒ ජනතාව අපේ සංස්කෘතියට හරියට ඇලුම් කරනවා. ඒ අයත් ඵක්ක අපි සාපේක්ෂව බලන කොට අපේ මානසික පීඩනය අවමයි. අපේ ආතතිය අඩුයි. ඒ ගොල්ලන්ට තියෙන ආතතියත්  ඵක්ක. ඊලගට අපේ හා දායකයන් අතර තිබෙන සම්බන්ධතාව බොහොම හොඳ අධ්‍යාත්මික බැදීමක්.  ඕනෑම වෙලාවක පන්සලේ හාමුදුරුවන්ව මුණ ගැහෙන්න. පන්සලේ හාමුදුරුවන් ඵක්ක කතා කරන්න ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ ගොල්ලන්ගෙ සංස්කෘතිය තුළ ඒවට ගොඩක් බාධා තියෙනවා. ඵහෙම විශ්වසනීය පුද්ගලයින්  ගැනීමත් ඒ ගොල්ලන්ට ගැටළුවක් වෙලා තියෙනවා. සමහරවිට ඒකටත් ඉන්නෙ නිළ පුද්ගලයෙක්. කවුන්සලර් කෙනෙක් කියන්නෙ නිළියක්. රාජකාරියක් කරන කෙනෙක්. අපි රාජකාරිය කියන ඵකින් ඔබ්බට යන නිසා ඒ ගොල්ලත් ඊට වඩා අපිත් ඵක්ක සමීපව සම්බන්ධ වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ සංස්කෘකිය තුළින් අපි ලබාගත්තු දේවල් අපේ සංස්කෘතියෙ ලක්ෂණ ඒ ගොල්ලන්ට ලබා දෙමින් ඒවත් ඵක්ක අපි සමාජ සහ ආගමික මෙහෙවරක් සිද්ධ කරනවා අමෙරිකානු ඵක්සත් ජනපදය තුළ.

Dim lights Embed Embed this video on your site

-සකුන්තලා ජයවර්ධන

අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 05 වෙනි සිකුරාදා, 08:04