Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here Category Table ශ්‍රී දළදාව සහ පෙරහැර මංගල්‍යය

ශ්‍රී දළදාව සහ පෙරහැර මංගල්‍යය

  • පී.ඩී.එෆ් (PDF)

perahera_6තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය වූ ශ්‍රී දළදා වහන්සේ සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වේ. එසේම දළදාව යනු ජීවමාන බුදුන් වහන්සේ ලෙස බෞද්ධයන් අතර බලවත් විශ්වාසයක් පවතී. එබැවින්ම එය ලක්දිව රාජ්‍යත්වයේ සංකේතය ද විය.  දළදා වහන්සේගේ භාරකාරත්වය හිමි තැනැත්තා රජකමට සුදුස්සා යැයි පිළිගත් බැවින් බෞද්ධ මෙන්ම අන්‍යාගමික සෑම පාලකයෙක්ම දළදා වහන්සේ තමා භාරයේ තබාගෙන පුදපූජා පවත්වමින් එය දිවි හිමියෙන් ආරක්ෂා කළේය.

කිත්සිරිමෙවන් රජ සමයේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් වැඩමවන ලද බුදුන් වහන්සේගේ වම් ශ්‍රී දළදාව අභයගිරි නිකායික භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාව පරිදි දළදා මාළිගාවක් කරවා පූජා පවත්වමින් මහ පෙරහැරින් අභයගිරියට වැඩම කරවා ඇත.

දළදා මාළිගාව

Maligawa_1

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය වූ ශ්‍රී දළදා වහන්සේ සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වේ.

එසේ ම දළදාව යනු ජීවමාන බුදුන් වහන්සේ ලෙස බෞද්ධයන් අතර බලවත් විශ්වාසයක් පවතී. එබැවින් ම එය ලක්දිව රාජ්‍යත්වයේ සංකේතය ද විය.  දළදා වහන්සේගේ භාරකාරත්වය හිමි තැනැත්තා රජකමට සුදුස්සා යැයි පිළිගත් බැවින් බෞද්ධ මෙන් ම අන්‍යාගමික සෑම පාලකයෙක් ම දළදා වහන්සේ තමා භාරයේ තබාගෙන පුදපූජා පවත්වමින් එය දිවි හිමියෙන් ආරක්ෂා කළේය.

කිත්සිරිමෙවන් රජ සමයේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් වැඩමවන ලද බුදුන් වහන්සේගේ වම් ශ්‍රී දළදාව අභයගිරි නිකායික භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාව පරිදි දළදා මාලිගාවක් කරවා පූජා පවත්වමින් මහ පෙරහැරින් අභයගිරියට වැඩම කරවා ඇත.

දළදා පෙරහැරේ ඇරඹුම

elephants

 

එකල පැවති විවිධ සතුරු උවදුරුවලින් දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා විවිධ ස්ථානවලට ගෙන ගිය බව ඉතිහාසයේ දැක්වේ. මේ අනුව කිත්සිරිමෙවන් රජ සමයේ වැඩම කර වූ දළදා වහන්සේ මැණික් කරඬුවක බහා දෙවැනිපෑතිස් රජු විසින් ඉදිකරවන ලද ධම්මචක්ක නම් ගෘහය තුළ තැන්පත් කර ඇත. මිහිඳු හිමි විසින් අනුරාධපුර නගරය මධ්‍යයේ ඉදිකරවන ලද දළදා මාලිගාව ‍මෙරට ප්‍රථම දළදා මාළිගය ලෙස සැලකේ.

ඉන් අනතුරු ව පොළොන්නරුව සිය රාජධානිය බවට පත්කර ගත් පළමු වන විජයබාහු රජු දළදාව පොළොන්නරුවට රැගෙන ගියේය. අද ‘අටදාගේ’ නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල තුළ ඔහු දළදාව තැන්පත් කරන ලද අතර ඉන්පසු මහා පරාක්‍රමබාහු රජු විසින් ද දළදා මාලිගා තුනක් ඉදිකරවන ලද බව සඳහන් වේ. ඉන්පසු කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් ‘හැටදාගේ’ නමින් දළදා මාලිගයක් ඉදිකරන ලද බව ඉතිහාසයේ දැක්වේ.

perahera_14

කොත්මලේ සඟවා තිබූ දළදාව තෙවැනි විජයබාහු රජු විසින් දඹදෙණියට ගෙන එන ලද අතර ආරක්ෂාව සඳහා බෙලිගල දළදා මාලිගයක් කරවා එය එහි තැන්පත් කළේය. දෙවන පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1236-1290 කාලයේදී යළි දඹදෙනියේ රජ මාලිගය අසල මාලිගයක් සාදා එහි දළදාව තැන්පත් කරන ලද අතර වසර 11ක් පමණ මෙහි දළදාව වැඩසිටි සේක. ඉන් අනතුරු ව දළදාව යාපහුවේ වැඩසිටි අතර යාපහුවේ දළදා මාලිගය පොළොන්නරු සමයෙන් පසු ව ඉදිකළ විශිෂ්ටතම මාලිගාව ලෙස සැලකේ. පසුව දළදාව ගම්පොළ පිහිටි දළදා මාලිගයේ තැන්පත් කර ඇත.

හය වන පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද දළදා මාලිගාවට දළදාව වැඩම වීමෙන් අනතුරු ව මහනුවර දළදා මාලිගාවට වැඩම කරවා ඇත. එහි දෙමහල් හා තෙමහල් දළදා මන්දිරවල වරින්වර එය තැන්පත් කර තිබේ. කාලයාගේ ඇවෑමෙන් දළදා වහන්සේගේ ස්ථිර වාසස්ථානය බවට මහනුවර පත්විය.

දළදා කරඬුව හා පෙරහැර කරඬුව

casket

මාලිගාවේ උඩුමාලේ වීදුරු ආවරණයකින් ආරක්ෂිත ව තිබෙන මහ කරඬුව තුළ දළදා වහන්සේ වැඩ සිටී. එය පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් රිදියෙන් හා රනින් මිණිමුතු ඔබ්බවා කරවන ලද්දකි. මෙම කරඬුව තුළ තවත් කරඬු හයක් බහා ඇත. දෙවන කරඬුව බුරුම කරඬුවයි. මෙම කරඬුව දැනට මහ කරඬුවට වම් පසින් ප්‍රදර්ශනයට තබා ඇත. සැදැහැවතුන් පූජා කරනු ලබන මාල පළඳවනුයේ මෙම කරඬුවටයි. තෙවන කරඬුව වන්නේ මල්වත්තේ කරඬුවයි. ඇහැ‍ලේපොළ මහාධිකාරම්තුමා විසින් කරවන ලද අස්ගිරි කරඬුව සිව්වන කරඬුව වන අතර පස්වන හා හයවන කරඬුව ද කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද හත්වෙනි කරඬුව ද තැන්පත් කර තිබේ. හත්වෙනි කරඬුව තුළ හේමමාලා කුමරිය හා දන්ත කුමරු දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවන ලද කෙසෙල් මුවයක හැඩයෙන් යුත් හේමමාලා කරඬුව ද තැන්පත් කර ඇතැයි පැවසේ.

මෙම කරඬු විවෘත කිරීම සඳහා මල්වතු අස්ගිරි මහානායක හිමිවරු දෙන ම හා දියවඩන නිලමේතුමා යන තිදෙනා ම එක්විය යුතුය. දළදා කරඬුව පෙරහැරේ වැඩමවා ගෙන යෑම සිදුනොකරයි. ඒ වෙනුවට පෙරහැරේ වැඩමවීම සඳහා පෙරහැර කරඬුව නමින් වෙන ම කරඬුවක් පවතී. එය මහ කරඬුවට දකුණු පසින් තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පූජාකරන ලදැයි සැලකෙන රන්, රිදී, මුතු මැණික්වලින් නිමකළ මෙම කරඬුවට එතුමාගේ බිසව විසින් පූජා කරන ලද ඉතා වටිනා මාලය පළඳවා ඇත.

වර්තමාන දළදා පෙරහැර

දළදා පෙරහැරට අයත් සියලු කාර්යයන් සිදුකෙරෙන්නේ මාලිගාවේ නැකැත් සෑදීම සඳහා නියම කර ඇති නැකත්රාළ විසින් පිළියෙළ කරන නැකත්වලට අනුවය. කාරියකරවන කෝරාළ විසින් පෙරහැර පවත්වන දිනය හා වේලාවන් ගම් දහයේ විදානේවරුන්ට දැනුම් දී කටයුතු සුදානම් කරයි.

කප් සිටුවීම

පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන්නේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීමයි. පෙරහැරේ කටයුතු සාර්ථක ව සිදුකිරීම සඳහා දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම පිණිස සිව් මහා දේවාලයන් ඉදිරිපිටදී මෙම චාරිත්‍රය සිදුකරයි.

කප් සිටුවීම සඳහා කොස් ගසක් හෝ රුක්අත්තන ගසක් යොදා ගනී. තෝරාගන්නා ලද ගස වටා ඇති භූමිය පිරිසිදු කොට ගසට පුද පූජා කිරීමෙන් අනතුරු ව සුදුවතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ආවතේවකරුවෙකු විසින් සෞභාග්‍යය සංකේතවත් කිරීම පිණිස කිරි වෑස්සෙන පරිදි ගස කපාහෙළයි. අනතුරුව සතර මහා දේවාලවලට බෙදාදීම පිණිස එය සතර කඩකට බෙදනු ලැබේ. මෙම කොටස් දේවාල පරිශ්‍ර සතරෙහි සිටවනු ලැබේ.

දේවාල අභ්‍යන්තර පෙරහැර

කප් සිටුවීමෙන් අනතුරු ව පුරා දින පහක් ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් පැවැත්වීම සිදුකරයි.  මෙය දේව භක්තියෙන් යුතු ව සන්ධ්‍යා භාගයේදී චාරිත්‍රානුකූල ව සිදුකරයි.

කුඹල් පෙරහැර

perahera_15

දේවාල අභ්‍යන්තර පෙරහැර නිමවීමෙන් අනතුරු ව ආරම්භ වන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරියකරවන රාළ විසින් මාළිගාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරු, රීදී අත්පන්දම් ආදිය පිරිසිදු කොට ඒවාත් පෙරහැරට එක්කරමින් කුඹල් ‍පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වන අතර ඊට ගම් දහයේ විදානේවරුන්, බෙරවාදකයන්, සහ නැට්ටුවන් මෙන් ම අලි ඇතුන් ද සහභාගි වේ. කුඹල් පෙරහැ‍රේදී සිව් මහා දේවාල පෙරහැර ද මාළිගාවේ පෙරහැරට එක් වී වීදි සංචාරය කරයි.

අතීතයේදී අලුත් වළං කදක් ගත් කුඹලෙක් පෙරහැරේ ඉදිරියෙන් ගමන් කිරීමේ චාරිත‍්‍රයක් පැවති අතර ඒ හේතුවෙන් මෙය කුඹල් පෙරහැර ලෙස නම්කර ඇත. එහෙත් අද වන විට එවැනි චාරිත්‍රයක් නොමැති අතර රන්දෝලි පෙරහැරට වඩා අලංකාර බවින් අඩු ආකාරයෙන් කුඹල් පෙරහැර පැවැත්වේ. එබැවින් මෙහි ගමන්ගන්නා නිලමේවරුන්ගේ වස්ත‍්‍ර සුදු පැහැයෙන් යුතු අතර පන්දම් සහ ආලෝකය ද අඩුය. එසේ ම අනෙකුත් නැටුම්කරුවන් මෙන් ම අලි ඇතුන් ද සීමිත ප්‍රමාණයක් පමණක් සහභාගි වෙති.

රන්දෝලි පෙරහැර

perahera_3

 

කුඹල් පෙරහැරින් අනතුරු ව ආරම්භ වන්නේ රන්දෝලි පෙරහැරයි. මෙය ඉතා අලංකාරව හා විචිත්‍රවත් අයුරින් පැවැත්වේ. දෙවියන් වෙනුවෙන් කැපවුණු රන් කඩුව, රන් කෙණ්ඩිය ආදි දේවාභරණ දෝලාවෙහි තැන්පත් කර ගෙන යන බැවින් එය රන්දෝලි පෙරහැර නමින් හැඳින්වේ.

මෙම පෙරහැර සඳහා කරඬුව ගෙන යන ඇතා සරසනු ලබන්නේ මාලිගාවේ ප්‍රධාන දොරටුව අභියසදීය. පළමු වෙඩි හඬ සමඟ සිව් මහා දේවාල පෙරහැර මාලිගාව අසලට ගමන් කිරීම ආරම්භ කරයි. එවිට පනික්කයෝ ගොස් දියවඩන නිලමේ කැඳවා ගෙන එනු ලබති. දියවඩන නිලමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවන අතර තූර්ය නාද මධ්‍යයේ දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ. අවසාන වෙඩි මුරයත් සමඟ පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිලමේට සමන්පිච්ච මල් මාලාවක් පැළඳවීම ද සිදුකරයි.

perahera_1

වර්තමාන පෙරහැරේදී ප්‍රථමයෙන් ම කසකරුවෝ ගමන් ගනිති. රටක සශ්‍රීකත්වයට අත්‍යවශ්‍ය සාධකයක් වන වර්ෂාව ආරම්භ වීමට පෙර ඇති වන විදුලි කෙටීම සහ ගෙරවීම එමගින් සංකේතවත් කරයි. ගිනි බෝලකරුවෝ, බෞද්ධ කොඩි ගෙන යන්නෝ, දිසා කොඩි ගෙනයන්නෝ මෙන් ම පිත්තල දිසා කොඩි ගෙන යන්නෝ ද ගමන් ගන්නේ ඉන් අනතුරු ව ය.

වසර 200ක පමණ පටන් දැකිය හැකි නර්තන අංග ද දළදා පෙරහැර තුළ දැකගත හැකිය. මෙම නර්තනවල විශේෂත්වය නම් උඩරට සම්ප්‍රදාය පදනම් කරගත් නැටුම් පමණක් දක්නට ලැබීමයි. පෙරහැර තුළ දක්නට ලැබෙන කඩු නැටුම් ආරම්භ වන්නේ ඉලංගම් මඩුවේදී රජුගේ හේවායන් විසින් සිදුකරන ලද කඩු හරඹ මූලාශ්‍ර කරගෙනය. දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට, හක්ගෙඩි සහිත හේවිසි වාදකයන් වයනු ලබන්නේ පෙරහැරට ම ආවේණික‍ හේවිසි නාද මාලාවකි. දළදාව වැඩමවන අවස්ථාවේදී අභිමානවත් ව හේවිසි වාදන පූජාව පැවැත්වේ. හස්තියෙකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ සහ ගජනායක නිලමේ පෙරහැර තුළ ගමන් ගන්නා සුවිශේෂ චරිත දෙකකි.

perahera_2

චාමර නැටුම හෙවත් සවරන් නැටුම් පෙරහැරට ලැබෙන්නේ රජ මාළිග‍යෙනි. විදුලි පංකා නොතිබුණ අවධියේ පවන් සැලීම සඳහා සවරම නැතහොත් චාමර භාවිත කරන ලදී. තරුණ කාන්තාවන් කිහිප දෙනකු රජුගේ දෙපස සිට චාමර සැලීම එකල සිරිත විය. මේ ඔස්සේ පෙරහැරේ සවරන් නැටුම් නිර්මාණය විය. ලී කෙළි නැටුම් ආරම්භ වී ඇත්තේ තරුණ සොල්දාදුවන්ගේ ජවය විදහා දක්වන නැටුමක් ලෙසිනි. පන්තේරු කණ්ඩායම, තාලම් කණ්ඩායම, හවඩි දඟයා, නෛයඩි කණ්ඩායම, කඩු සරඹ, අත් රබන්, තාලම් නැටුම, වේවැල් නැටුම, උඩැක්කි නැටුම, කඩු නැටුම් කණ්ඩායම, තම්මැට්ටම් වාදන කණ්ඩායම, රබන් රංගන කණ්ඩායම සහ පතුරු නැටුම් කණ්ඩායම් ද මෙහි දැකිය හැකි නැටුම් අංග අතර වේ.

1919 නුගවෙල දිසාවගේ කාලයේදී වෙස් නැටුම් පෙරහැරට එක්වේ. ඊට පෙර වෙස් නැටුම් පෙරහැර තුළ දක්නට නොලැබුණු අතර කොහොඹා කංකාරිය පමණක් දැකගත හැකි විය. ලංකාවේ සෑම නැටුම් ශිල්පියෙකු ම දළදා පෙරහැරේ නැටුම් දැක්වීම කළ යුතු යයි විශ්වාස කෙරේ. එය අවශ්‍යතාවක් නො ව සම්ප්‍රදායකි.

perahera_11උඩුවියන් සහිත පාවඩ මතින් කරඬුව වැඩමවන මංගල හස්ති රාජයා සමග දෑලේ ඇතුන් දෙදෙනා පෙරහැරෙහි දැකිය හැකි සුවිශේෂ අංගයකි. ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර කරඬුව වැඩම කිරීමේ භාග්‍යය සෑම ඇතෙකුට ම හිමි නොවන අතර ඒ සඳහා මංගල හස්තියෙකුට තිබිය යුතු සද්දන්ත කුලයේ ලක්ෂණවලින් පරිපූර්ණ විය යුතුය. එනම් ඇතාගේ සතර පා, හොඬය, වලිගය, ලිංගය යන අවයව භූමියේ ස්පර්ශ විය යුතු අතර කොඳු නාරටිය ද පැතලිව සමතලාව තිබිය යුතුය. වම් දළ දකුණු දළට වඩා මඳක් උස් විය යුතුය. එපමණක් නොව උපශාන්ත ගමන් විලාසයක්, තීක්ෂණ බුද්ධියක් මෙන් ම විශාල බරකින් යුත් දළදා කරඬුව වැඩමවාගෙන දින ගණනාවක් පෙරහැරේ ගමන් කිරීමට තරම් නිරෝගී සම්පත්තිය ද තිබිය යුතුය.

ඉතා වර්ණවත් හා විචිත්‍රවත් ඇඳුමින් සැරසුණු අලි ඇතුන් මෙම පෙරහැරට එක්කරන්නේ නොමඳ අලංකාරයකි. එපමණක් නො ව බෙර පද තාලයට අනුව රංගනයේ යෙදෙන කුඩා අලි පැටවුන් මනහර දසුනකි. එය දළදා පෙරහැරේ ශ්‍රී විභූතිය හා ප්‍රෞඩත්වය වැඩිදියුණු කරයි.

perahera_4පෙරහැරේ දැකගත හැකි තවත් ජනප්‍රිය අංගයක් වන ගජගා වන්නම නටනු ලබන්නේ දළදා කරඬුව ඉදිරියේය. පැරණි ගජගා වන්නම නිර්මාණය වූයේ කවිකාර මඩුවෙනි. 1940 දශකයේදී රඹුක්කන සිද්ධාර්ථ හිමි නව නාද මාලාවක් එයට නිර්මාණය කළ අතර වර්තමාන පෙරහැරේ දක්නට ලැබෙන ගජගා වන්නම ඉදිරිපත් වන්නේ එම නාද මාලාවට අනුවය.

දන්ත ධාතූන් වහන්සේගේ භාරකරු ලෙස දියවඩන නිලමේ පෙරහැරේ ගමන් කළ ද අතීතයේදී රජතුමා ඊට සහභාගි විය. ඒ සමග ම රජුගේ සියලු නිලධාරීන් ද එක් එක් දිසාවට අදාළ ධජ පතාක සමග ඒ සඳහා සහභාගි විය යුතුය. එමගින් රජුගේ ශ්‍රී විභූතිය, රටේ එක්සේසත්භාවය පෙන්නුම් කෙරේ. වර්තමානයේදී ද එම ශ්‍රී විභූතිය සුරැකි ව පැවතීම සතුටට කරුණකි. 18 වන සියවසට නැවත ගමන් කිරීමක් ලෙස ද එය දැක්විය හැකිය. මුරායුධකරුවන් හා මුතු කුඩය, බුරුම කොඩි, ගම් දහයේ විදානේවරු යනාදී ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර අංගයන්ට පසු සිව් මහා දේවාල පෙරහැර ගමන් ගනී.

දියකැපීමේ මංගල්‍යය

රන්දෝලි පෙරහැරින් අනතුරු ව අස්ගිරි ගෙඩිගේ විහාරයේ සිදුකෙරෙන පුදපූජා පැවැත්වේ. ඉන් අනතුරු ව දියකැපීමේ මංගල්‍යය සිදුකරනු ලබයි. ගැටඹේ තොටේදී perahera_12දේවාල කපුවන් ඔරුවෙන් ගඟ මැදට ගමන් කර, ගඟ මැදදී දිය මත අට මඟල ඇඳීමෙන් පසු දිය දෙබෑවන සේ රන් කඩුවකින් ගසා අලුත් දිය බඳුනක් පුරවා ගැනීම මෙහිදී සිදුකරයි. ඉන්පසු එම ජල බඳුන රන්දෝලාවෙහි තබා නැවත පෙරහැරකින් පුල්ලෙයාර් කෝවිල දක්වා ගමන් කරයි. එහි දිය බඳුන තැන්පත් කිරීමෙන් පසු අදාළ පූජා චාරිත‍්‍ර පැවැත්වීම සිදු වේ.

පසුදින පුල්ලෙයාර් කෝවිලෙන් දහවල් පෙරහැර පිටත් වේ. එය ගෙඩිගේ විහාරයට පැමිණ නැවතත් කරඬුව දළදා මාලිගයට වැඩම කරවයි. එහිදී දළදා මාලිග චතුරශ‍්‍රය වටා තුන් වළල්ලක් ගමන් කර මාලිගයට ගෙවදී. දින ගණනාවක් පුරා පැවැත්වූ පෙරහැර සාර්ථක ව නිමකළ බව සඳහන් පෙරහැර සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලබන්නේ ඉන් අනතුරු ව ය.

වලියක් මංගල්‍යය

දළදා පෙරහැර මංගල්‍යයේ චාරිත‍්‍ර වාරිත‍්‍ර එතැනින් අවසන් නො වේ. දහවල් පෙරහැර දළදා මාලිගයට ගෙවැදීමෙන් පසු පුරා දින හතක් වලියක් මංගල්‍යය පවත්වනු ලබයි. පෙරහැර අවසන් වීමෙන් පසු දෙවියන්ට පිංපෙත් පැමිණවීම මේ ශාන්තිකර්මයේ මූලික අරමුණයි. මෙහිදී දළදා පෙරහැර සඳහා මූලික වී කටයුතු කළ දියවඩන නිලමේතුමා ප‍්‍රමුඛ නිලමේවරුන්ටත්, ඇතුල් කට්ටලේ සහ පිට කට්ටලේ සියලු ම නිලධාරීන්ටත්, නැටුම් ශිල්පීන්, අලි ඇතුන් ඇතුළු පෙරහැරේ ගමන් කළ සියලු දෙනාටත්, පෙරහැර නැරඹූ පිරිසටත් මොනයම් ආකාරයෙන් හෝ දළදා පෙරහැර උදෙසා ආධාර උපකාර කළ පිරිසටත්, පෙරහැරට සහභාගි වීම නිසා කිසියම් ආකාරයක වස්දොස්, අපල උපද්‍රව සිදු වූයේ නම් ඒ සියල්ල දුරුකිරීම ද මෙම ශාන්තිකර්මයෙන් අපේක්ෂා කෙරේ.

මහා විෂ්ණු දේවාලයේ සතරවන මාලයේ පැවැත්වෙන මේ ශාන්තිකර්මය වලියක් තෝත‍්‍රය, හද්දා වලියකුම, වලියකුම, වලියකුන් නැටීම ආදී වශයෙන් ද හැඳින්වේ. මෙය පැවැත්වෙන්නේ වසරකට එක්වරක් පමණක් වන අතර වෙනත් කවර හේතුවක් නිසා හෝ කිසිදු තැනක වලියක් මංගල්‍යය නොපැවැත්වේ.

වලියක් මංගල්‍යය පැවැත්වීමට නම් පළමුව විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාගෙන් අවසරය ලැබිය යුතුය. ඉන්පසු විෂ්ණු දේවාලයේ වන්නකුරාළ නම් වූ ඇතුල් කට්ටලේ නිලධාරියා විසින් ශාන්තිකර්මයට සහභාගිවන ශිල්පීන්ගේ නළලෙහි පරහද ආලේප කොට වලියක් මංගල්‍යය පැවැත්වීම සඳහා නිල අවසරය ලබා දේ. ශාන්තිකර්මය ඇරඹෙන්නේ මේ දෙදෙනාගේ ම අවසරය ලද පසුව ය. මේ සඳහා සහභාගි වන පිරිස් දින හතක් මස් මාංශ අනුභවය, මත්පැන් පානය, ස්තී‍්‍ර සේවනය ආදී කිළිවලින් වැළකී පේවී සිටීම අනිවාර්ය කරුණකි. මේ ශාන්තිකර්මය සඳහා දළදා පෙරහැරට දායක වූ යක්දෙස්සන්ට සහ බෙර වාදකයන්ට සහභාගි වීමට අවසර නොලැබේ. එසේ වුවද දළදා පෙරහැරට සහභාගි වූ ආලත්ති අම්මාවරුන්ගේ දායකත්වය දින හත පුරාම මේ ශාන්තිකර්මය සඳහා අනිවාර්ය වේ. එහිදී ‘ආයුබෝවේවා’ යන පාඨය ගායනා කරනු ලබන්නේ ආලත්ති අම්මාවරු විසිනි.

වලියකුමේ අන්තර්ගත නාට්‍යමය පෙළපාලි ලෙස යක්කම් හැඳින්විය හැකිය. නයා යක්කම, වැදි යක්කම සහ මහ යක්කම ඒ අතරින් විශේෂ වේ. යක්කම්වලට අමතර ව කාලියාම, ගරා යකුන් නැටීම, ගුරුගෙ මාලාව, ආවැන්දුමේ දොඟ රොජිංත තත්ගජිංත වට්ටම, මල නැටීම, කීල බැඳීම යනාදී පෙළපාලි ද මෙහිදී සිදුකෙරේ. වලියකුමේ එන මල නැටීම, පඬුරු ලෑම, තෙල් මල් බෙදාගැනීම වැනි අවස්ථාවලදී පේ‍්‍රක්ෂක සහභාගිත්වය මැනවින් දක්නට ලැබේ. වලියක් මංගල්‍යයේ සත්වැනි දින පැවැත්වෙන ගරා නැටුමෙන් පසු වස්දොස් හැර වරු තුනක පිරිතක් සජ්ජායනා කෙරේ. නාථ දේවාලයේ විහාරගම් ලබා ඇති විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ ඒ සඳහා සහභාගි වෙති. වරු පිරිත අවසානයේ බලිබත් දානය දීමත් සමග හත්දාවලියක් මංගල්‍යය අවසන් වන අතර ඒ සමඟ දළදා පෙරහැර හා බැඳුණු සියලු චාරිත‍්‍ර ද අවසන් වේ.

දළදා මාළිගාවේ ‍පෙරහැරට පසුව ගමන් කරන දේවාල පෙරහැර
නාථ දේවාලයේ පෙරහැර

natha_deviyo

ඇසළ පෙරහැර මංගල්‍යයේ පෙළගැස්ම අනුව ශ‍්‍රී දළදා මාළිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කරන්නේ නාථ දේවාලයේ පෙරහැරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. කප් සිටුවීමේදී කපෙහි මුල් කොටස වෙන් කෙරෙනුයේ නාථ දේවාලයටය. දිය කැපීමේ මංගල්‍යයේදී පළමුව ගැටඹේ තොටට බැසීමට අවසර ලැබෙන්නේ ද නාථ දේවාලයටය. කහ පැහැය නාථ දෙවියන්ගේ වර්ණය ලෙස පිළිගැනෙන අතර දළ හංසයා රථය වශයෙන් යොදාගැනේ. නාථ දේවාලයේ පෙරහැර පෙළගැසෙනුයේ ද දළදා මාළිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමාන වන ආකාරයටය.

විෂ්ණු දේවාලයේ පෙරහැර

vishnu_de22vi

ඇසළ පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුව ගමන් කරන්නේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේදී කප බෙදාදෙන දේවාලය වශයෙනුත්, පෙරහැර අවසානයේ සිදුකෙරෙන වලියක් මංගල්‍යය පැවැත්වෙන දේවාලය වශයෙනුත් විෂ්ණු දේවාලය සුවිශේෂ වේ.


කතරගම දේවාලයේ පෙරහැර

perahera_7

මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන් නමින් කැප වී ඇත. දාහතරවන සියවසේදී පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය දහසය වන සියවසේදී වඩාත් ජනපි‍්‍රය විය. කාවඩි නැටුම කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තන අතර සුවිශේෂ වේ.


පත්තිනි දේවාලයේ පෙරහැර
 
ඇසළ පෙරහැරේ අවසානයට ගමන් ගන්නේ පත්තිනි දේවාලයේ දේවාල පෙරහැරයි. එම දේවාල පෙරහැරේ ගමන් කරන ඇතා පිට බැඳි රන්සිවිගෙයි තැන්පත් කර තිබෙනුයේ රනින් නිම වූ පත්තිනි දේව මෑණියන්ගේ කුඩා ප‍්‍රතිමාවකි. චිරාගත සම්ප්‍රදායක් අනුව දළදා පෙරහැරට කාන්තාවන් සහභාගි නොවුවද පත්තිනි දේවාල පෙරහැර සඳහා කාන්තාවන්ගේ දායකත්වය ලබාදීම සුවිශේෂ කරුණකි.

perahera_171දළදා පෙරහැර 18 වන සියවසේ ශ්‍රී ලාංකීය රාජ්‍ය තන්ත්‍රය හා පරිපාලන ව්‍යුහයේ හරස්කඩක් ලෙස හඳුන්වා දීම නිවැරදිය. 18 වන සියවසේ ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය, සංස්කෘතිය ඉන් නිරූපණය වේ. විශේෂයෙන්ම ආගම, කලාව හා දේශපාලන බලය මනාව සංයෝග කරන මහෝත්සවයක් ලෙස මෙය හැඳින්විය හැකිය. බුදුන් වහන්සේට, දළදා වහන්සේට මෙන් ම දෙවි දේවතාවන්ට දක්වන අප්‍රමාණ ගෞරවය හා ශ්‍රද්ධාව මෙමගින් මනාව විදහා දැක්වේ.

   - එනූෂා බණ්ඩාර/ මහේෂි බුද්ධිකා -

අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 15 වෙනි සදුදා, 05:00