Sunday, Apr 23rd

Last update04:58:08 PM GMT

You are here Category Table නිල් අහස ජයගන්න මත්තලට නව ගුවන් තොටුපොළක්

නිල් අහස ජයගන්න මත්තලට නව ගුවන් තොටුපොළක්

  • පී.ඩී.එෆ් (PDF)
Hambantota_International_Air_Port_1කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුරා අඩසියවසක් ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවේශ දොරටුව ලෙස කටයුතු කරමින් ගුවන් ක්ෂේත්‍රයේ අවශ්‍යතා ඉටු කරමින්, ගුවන්  මගීන් හට  සියලු පහසුකම් සපුරාලමින් කටයුතු කරමින් සිටී.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍‍පොළෙහි පාලනය, නඩත්තු සහ එහි මෙහෙයුම් කටයුතු 1983 වර්ෂයේ සිට ඉටුකරනු ලබන්නේ සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී  ලංකා) සමාගම විසිනි. ශ්‍රී  ලංකාවේ ආර්ථිකයට දැවැන්ත  ශක්තියක් වී ඇති කටුනායක ගුවන් තොටුපොළ, ශ්‍රී ලංකාවේ එක ම අන්තර්ජාතික ගුවන් තොටුපොළ වේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ "මහින්ද  චින්තන" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  "රන්දොර"  පරිච්ඡේදයේ  "නිල් අහස ජයගනිමු"  නමැති ප්‍රකාශනයේ සඳහන් දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බිහිකිරීමේ සිහිනය දැනටමත් මල්ඵල ගැන්වී ඇත.

Hambantota_International_Air_Port_2දෙවැනි  ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීම පමණක් නො ව මහින්ද චින්තන ඉදිරි දැක්ම  වැඩපිළිවෙළ තුළින් දැනට ශ්‍රී ලංකාවේ පවත්නා අභ්‍යන්තර ගුවන් තොටුපොළ 13 පිළිසකර කිරීම තුළින් ඉදිරි පස්වසර තුළ ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානයක් කිරීම රජයේ අභිප්‍රායයි.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ඌන සංවර්ධිත ප්‍රදේශයක් වූ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ, මත්තල ප්‍රදේශයේ බිහිවන මෙ‍ම  ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, අවම සංවර්ධනයකින් හෙබි ඌව පළාතට හා සබරගමු  පළාතට මායිම් ව ඉදිකෙරේ.‍

ප්‍රදේශයේ  ගොවීන් හේන් වගා කිරීමෙන් අනතුරු ව කටු පඳුරු සහිත වන ලැහැබක් මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා භූමිය ලෙස තෝරා ගෙන ඇති අතර එය පහළ මත්තල ගම ආසන්නයේ  පිහිටා තිබේ. එම භූමියට කිසිදු මිනිස් වාසස්ථානයක් ඇතුළත් වී නොමැත. ගුවන් තොටුපොළ ඉදිකරන භූමිය සඳහා ආරම්භයේ දී රජය විසින් හෙක්ටයාර් 800ක් පළමු අදියර සඳහා පවරා දෙනු ලැබේ.

Hambantota_International_Air_Port_3හම්බන්තොට පමණක් නො ව විශේෂයෙන් මොනරාගල, බදුල්ල, රත්නපුර, මාතර හා ගාල්ල වැනි දිස්ත්‍රික්ක රාශියකට සෙත සැලසෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සමඟ සම්බන්ධිත අනෙකුත් සුවිශාල සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් නිසා මෙම ප්‍රදේශවල ජනතාව සුඛිත මුදිත වනවා නොඅනුමානය.

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු සංවර්ධනය වූ දිස්ත්‍රික්කයන් අතර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කයන්ට හිමි වූයේ අවම ස්ථානයකි. එහෙයින්, හම්බන්තොට දිස්ත්‍රික්කය හා ඒ අවට ප්‍රදේශ ඌන සංවර්ධිත ප්‍රදේශ ලෙස වාර්තා වී ඇති මුත්, "මහින්ද චින්තනය" යටතේ එම තත්ත්වය වෙනස් කිරීමට අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශ සංවර්ධනය කිරීමට වත්මන් රජය මඟින් දැනටමත් කටයුතු කර ඇත.

එකී කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රම දියත් කිරීමේදී පසුගිය වකවානුවේ අවම සංවර්ධනයට ලක් වූ එක් දිස්ත්‍රික්කයක් වූ හම්බන්තොට දැනටමත් සුවිශාල සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කර ඇත. ජාත්‍යන්තර වරාය, ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, තෙල් පිරි පහදු මධ්‍යස්ථානය, හම්බන්තොට දිස්ත්‍රික් පරිපාලන ගොඩනැගිල්ල, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, මාතර-කතරගම අධිවේගී මාර්ගය, දුම්රිය මාර්ගය, ඉන්ධන ගබඩා සංකීර්ණය, වියලි කලාපීය උද්භිද උද්‍යානය යනාදිය දැනට ඉදිවෙමින් පවතින ව්‍යාපෘති වේ.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය වැඩ දැනටමත් අවසන් කර, විවෘත කර තිබේ. මීට අමතර ව, ගුවන් යානා ‍කොටස් ආනයනය කර එකලස් කිරීමේ මධ්‍යස්ථානයක්, හෝටල් පාසලක්, ගොල්ෆ් ක්‍රීඩා පිට්ටනියක්, තරු පහේ හෝටල් දෙකක්, පරිගණක මෘදුකාංග සැකසීමේ කර්මාන්ත ශාලාවක්, බර වාහන රියැදුරු අභ්‍යාස ආයතනයක්, ගුවන් යානා පියාසර පාසලක්, ගුවන් නිමි භාණ්ඩ සැකසීමේ මධ්‍යස්ථානයක් ද ඉදිකිරීමට අපේක්ෂිත වේ.

Hambantota_International_Air_Port_4හම්බන්තොට වරායත්, ගුවන් තොටුපොළත් අතර නිදහස් වෙළෙඳ කලාපයක් පිහිටුවීමට සැලසුම් කොට තිබේ. දැනට එහි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතී. මෙමගින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රාශියක් බිහිවන අතර, ගුවන් තොටුපොළ ඉදිකිරීමේ වැඩ අවසන් වූ විගස ගුවන් තොටුපොළට හා ගුවන් තොටුපොළ සම්බන්ධිත අනෙකුත් ආයතනවල ඍජු රැකියා 1,500ක් පමණ බිහිවනු ඇත. වක්‍ර රැකියා විශාල සංඛ්‍යාවක් උත්පාදනය වනු ඇත.

මෙම අන්තර්ජාතික ගුවන් තොටුපොළ බිහිවීම නිසා මත්තල ඇතුළු හම්බන්තොට, මොනරාගල ජනතාව සුඛිත මුදිත කිරීමට හැකිවනවා පමණක් නො ව, ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ද ලබාදීමට හැකි ය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ අනෙකුත් දැවැන්ත යෝජනා ක්‍රම සමඟ අත්වැල් බැඳගත් ගුවන් තොටුපොළ සංවර්ධන යෝජනා ක්‍රමය නිසා පහත සඳහන් ප්‍රතිලාභ ජනතාවට හිමිවනු ඇත.

01. ඍජු රැකියා සහ වක්‍ර රැකියා උත්පාදනය වීම.
02. නව ව්‍යාපාර බිහි වීම.
03. නව නගර බිහි වීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වීම.
04. නව කර්මාන්ත ශාලා බිහිවීම.
05. සංචාරක කර්මාන්තය වර්ධනය වීම.
06. කෘෂි කර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමෙන් ඍජු ව අපනයන ක්ෂේත්‍රයට යොමු කරවීම.

අපනයනය සඳහා විසිතුරු මාළු බිහිකිරීමේ මධ්‍යස්ථාන, මේ ප්‍රදේශයේ දේශගුණික සාධක අනුව වඩාත් හිතකරවන අතර, ගුවන් තොටුපොළක් ආසන්නයේ පිහිටා තිබීමෙන් වැඩි පිරිවැයකින් තොර ව විසිතුරු මාළු අපනයනය කිරීමට හැකි වේ.

Hambantota_International_Air_Port_5හම්බන්තොට, මාතර, මොනරාගල හා රත්නපුර දිස්ත්‍රික්ක තුළ අපනයන කෘෂිකාර්මික බෝග ව්‍යාප්ත කර, ගුවන් තොටුපොළ හරහා වැඩි විදේශ විනිමයක් ද උපයා ගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන් පාරිභෝගිකයාට පහසුවෙන් පරිභෝජනය කළ හැකි පරිදි සැකසූ පලතුරු, එළවළු අපනයනය කිරීමට අපේක්ෂා කෙරේ.

දකුණු පළාතේ අසිරිමත් ගාලු මුහුදු තීරයේ සිට නැගෙනහිර පළාතේ පොතුවිල් මුහුදු තීරය දක්වා සංවර්ධනය කිරීමෙන් සංචාරක ව්‍යාපාරයට නව පණක් ලබා දීමට හැකි වනවා පමණක් නො ව, එය විදේශ විනිමය නිතැතින් ගලා එන මාර්ගයක් ද වනු ඇත. හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිසා මෙම ප්‍රදේශයේ සංචාරකයින්ට කෙටි කාලයකදී ළඟා වීමට ද හැකි වේ.

එමෙන් ම නිල් අහස ජය ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනෙකුත් දේශීය ගුවන්පොළවල් ද සංවර්ධනය කෙරෙන නිසා දේශීය සංචාරකයින්ට මෙන් ම විදේශීය සංචාරකයින්ට ද එය මහඟු පිටිවහලක් වනු ඇත. සංචාරක ව්‍යාපාර දියුණු වීම නිසා නිවෙස්වල පවත්වාගෙන යන කුඩා පරිමාණයේ කර්මාන්ත හිමියන්ට පවා නිසි කලක් උදාවනු ඇත. වන ජීවී හා වනෝද්‍යාන ද ආකර්ශනීය ලෙස දියුණු කිරීමෙන් සංචාරක ඇස යොමු කරගත හැකිය.

හම්බන්තොට ගුවන් තොටුපොළ ඉදිකිරීම තුළින්, කුඩා, මධ්‍යම හා විශාල ආදී විවිධ මට්ටමේ සංචාරක හෝටල් දියුණු කළ හැකිය. අභ්‍යන්තර ගුවන් සේවාව නැවතත් ආරම්භ කිරීමෙන් සංචාරකයින්ට පමණක් නො ව ව්‍යාපාර ප්‍රජාවගේ රුචිය වැඩිවන පරිදි ආයෝජන තත්ත්වයන් ප්‍රවර්ධනය කර ගත හැකිය. මේ සඳහා හම්බන්තොට ගුවන් තොටුපොළ කදිම මධ්‍යස්ථානයක් වනු ඇත.

Hambantota_International_Air_Port_6මෙම ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් පසු ප්‍රදේශයේ පුහුණු ශ්‍රමිකයින් හට මහඟු අවස්ථාවක් උදාවන අතර, මේ ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් හට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත. විශේෂයෙන් ගුවන් තොටුපොළ ආරක්ෂක සේවා අංශයේ, ගිනි නිවන සේවා අංශයේ රැකියා සහ ශිල්පීය පුහුණු ශ්‍රමිකයින් එනම්, පෙදරේරු, වඩු, පින්තාරුකරුවන්, මෝටර් කාර්මික ශිල්පීන්, විදුලි කාර්මික ශිල්පීන්, ජලනල සවිකරන්නන්, භූමි අලංකරණ ශිල්පීන්, රියැදුරන්, කෝකියන්, භෝජන පිළිගන්වන්නන්, පරිගණක ක්‍රියාකරුවන් වැනි රැකියා අවස්ථා සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවනු ඇත. මීට අමතර ව, විද්‍යුත්, යාන්ත්‍රික, විදුලි සහ සිවිල් ක්ෂේත්‍රවල ඉංජිනේරු ක්ෂේත්‍රවල ඉංජිනේරු වෘත්තිකයින් සඳහා ද ගුවන් ගමන් පාලක, ගුවන් තොටුපොළ කළමනාකරණ, මානව සම්පත් සංවර්ධන වැනි ක්ෂේත්‍ර සඳහා ද ඉල්ලුමක් පවතින බව සඳහන් කළයුතු වේ.

මෙවැනි රැකියා අවස්ථා විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට උදාවන මහඟු අවස්ථාවකි. ඔවුන් පාඨමාලා හැදැරීමට වර්තමානයේ දී යොමු කළ යුතු අතර නියත වශයෙන් ඔවුන්ට එකී රැකී රක්ෂා අවස්ථා ප්‍රයෝජනයට ගත හැකිවේ.

සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම මඟින් අනාගතයේ හැකි සෑම අවස්ථාවක දී ම ගුවන් තොටුපොළ ආරක්ෂක සේවා, ගිනි නිවන සේවා වැනි අංශ සඳහා පුහුණු පාඨමාලා හැදැරීමට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන අතර, අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ද රටේ පිළිගත් ආයතනවලට තරුණ තරුණියන් යොමු කිරීම ප්‍රඥාගෝචර වේ. විශේෂයෙන් හම්බන්තොට ගුවන්තොටුපොළ විවිධ රැකියා සඳහා ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් ඒ ඒ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් ලත් අය බඳවා ගැනීමේදී ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සැලසුම් හා නිර්මාණය කරනු ලබන්නේ සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරුන් විසිනි. සිංගප්පූරුවේ CPGairport නම් උපදේශන සමාගම මෙම ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සහයට පැමිණ තිබේ. මෙම ගුවන්තොටුපොළ ගොඩනැගීම සඳහා මූල්‍ය ආධාර දෙනු ලබන්නේ මහජන චීන රජය විසිනි. එකී භාරදූර කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේ චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනි ලිමිටඩ් නමැති ආයතනය විසිනි. මෙම ගුවන් තොටුපොළ ගොඩනැගීමේ ඇස්තමේන්තු ගත වියදම ඇ.ඩො.මිලියන 209කි.

මෙම ගුවන්තොටුපොළ ඉදිකිරීමේ පළමු පියවරේදී පහත සඳහන් අංගෝපාංගයන්ගෙන් සමන්විත ගුවන‍් තොටුපොළක් ඉදි කිරීමට සැලසුම් කොට ඇත.

Hambantota_International_Air_Port_71. ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූල ව, එනම් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිර්දේශ (කේත අංක 4‍F) අනුව ගුවන්තොටුපොළ සැලසුම් කෙර්. මීටර් 3,500ක් දිග, මීටර් 75ක් පළල ගුවන් යානා ධාවන පථයකින් හා ඊට අනුකූල උප ධාවන පථවලින් සමන්විත වේ. යාත්‍රාංගනයේ මගී ගුවන් යානා 10කට පහසුකම් සැලසේ. ලොව නවීන ගුවන් යානයක් වන A-380 වැනි දැවැන්ත ගුවන් යානා ගොඩ බැස්සවීමේ හා ගුවන් ගත කිරීමේ පහසුකම් ද සැලසේ.

2. ගුවන් පථයේ මධ්‍ය රේඛාවේ සිට ගුවන් යානා අංගනයේ කෙළවර දක්වා මීටර් 360ක දිගින් සහ මීටර් 60ක පළලින් යුතු කේත අංක 4F ගුවන් යානා පිවිසුම් පථයක් ඉදි කිරීම හා මීටර් 600ක් පමණ දිගින් යුතු මීටර් 25කින් පළල වූ මධ්‍ය පරිමාණයේ ගුවන් යානා සඳහා උපයෝගී කර ගත හැකි තවත් ගුවන් යානා පථයක් ඉදි කෙරේ.

3. කාර්යබහුල වේලාවන්හිදී ජාත්‍යන්තර මගීන් 800ක් සහ දේශීය මගීන් 100කට පහසුකම් සපයන වර්ග මීටර් 10,000කින් යුතු මගී පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදි කරනු ඇත. මෙහි පිටවීමේ හා පැමිණීමේ මගීන් වෙන් වෙන් ව මෙහෙය විය හැකිවන අතර සෞඛ්‍ය නිරෝධායන, සත්ත්ව හා ශාක නිරෝධායන, රේගු, ආගමන හා විගමන, ප්‍රභූ ශාලාවක්, ගුවන් මඟීන් සඳහා විවේකාගාරයක්, තීරු බදු රහිත සාප්පු, ආපන ශාලා හා අවශ්‍ය කාර්යාල පහසුකම්වලින් සමන් විත වේ. මෙම මගී පර්යන්ත ගොඩනැගිල්ලෙහි සුවිශේෂිත්වය වන්නේ පරිසර හිතකාමී ව, සුනිත්‍ය බලශක්ති උපයෝගී කර‍ගත හැකි ලෙස ඉදිරියේදී ඇතිවන ඉල්ලුමට සරිලන ලෙස සැලසුම් කර තිබීමයි. මෙම පර්යන්තය     තුළට ජාත්‍යන්තර ගුවන් මගීන් මෙන් ම දිවයින ඇතුළත ඇති අභ්‍යන්තර ගුවන්තොටුපොළවල් භාවිතා කරන මගීන් සඳහා ද පහසුකම් සැලසිය හැකිලෙස නිර්මාණය වී ඇත.

Hambantota_International_Air_Port_804. ගුවන් බඩු ප්‍රවාහනය කිරීම සඳහා වර්ග මීටර් 500කින් යුතු ගුවන් බඩු පර්යන්තයක් ඉදිවෙන අතර එහි රේගු, සත්ත්ව හා ශාක නිරෝධායන හා ගුවන් යානා සමාගම් සඳහා කාර්යයාල හා පර්යේෂණාගාර පහසුකම්වලින් යුතු වේ.

05. ගිනි නිවීම් හා මුදවා ගැනීම සඳහා අවශ්‍ය වන සියලු ම පහසුකම්වලින් සමන්විත වනු ඇත.

06. ගුවන් ගමන් මෙහෙයුමට අවශ්‍ය වන ගුවන් ගමන් පාලන මැදිරි සහ සංතරණ උපකරණවලින් සමන්විත වනු ඇත. මෙහි ගුවන් ගමන් පාලන මැදිරිය මීටර් 40ක් පමණ උසින් වූ කුලුණක ස්ථානගත කෙරේ.

හම්බන්තොට හිටපු දිසාපති ලෙනාඩ් වුල්ෆ්ගේ "විලේජ් ඉන් ද ජන්ගල් " නමැති පසුකාලීන ව පරිවර්තනය වූ "බද්දේගම " නවකතාවට මුල්වූවා යැයි සැලකෙන අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි මත්තල ප්‍රදේශයට, කටුලැහැබ්, වනවදුල් පරයමින් නවයුගයක අරුණලු මෙම ගුවන් තොටුපොළ ඉදිවීමත් සමඟ උදාවන අතර එය පරිසරයට හිතකාමී ව පරිසරය සමඟ බද්ද වූ එහි ම එකී සංඝටකයක් වන ලෙස ඉදිකිරීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම අදහස් කර ඇත.

එබැවින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව දිළිඳු බව නිසා විඳි දුක් කම්කටොලුවලින් මුදවා, සමෘද්ධිමත් ප්‍රදේශයක් බවට පත් කරන හම්බන්තොට ගුවන් තොටුපොළ වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නිසා ප්‍රදේශයේ වෙසෙන ජනතාවට ලැබෙන ප්‍රතිලාභ අපමණය. ප්‍රදේශයේ රැකියා වියුක්තිය අවම වී, රැකියා නියුක්තිය වැඩිවීම හේතුකොට ගෙන තරුණ අසහනය තුරන්වන අතර දැයට හිතකාමී තරුණ පරපුරක් ද බිහිවනු ඇත. ආර්ථිකය සවිමත්වීම නිසා සතුටින් සොම්නසින් පිරි ජනතාවක් නුදුරු අනාගතයේ දී දක්නට පිළිවන.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වැනි දැවැන්ත ව්‍යාපෘති නිසා අලුත් ශ්‍රී ලංකාවක් බිහිවනවා පමණක් නො ව, සුඛිත මුදිත ජනතාවක් ද බිහිවනු ඇත. ඒ අලුත් ශ්‍රී ලංකාවේ නිල්වන් දකුණු අහස් කුස සිසාරා ගමන් කරන මුල් ම ගුවන් යානය වර්ෂ 2012 මත්තල පිහිටි හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමට හැකිවන අතර එය සුබ අනාගතයක් සනිටුහන් කරනු ඇත.

සටහන:
මානෙල් කුමාරි, රෂිකා හේමමාලී, අචලා ධර්මරත්න සහ නිලූකා දමයන්ති.
කැලණිය විශ්වවිද්‍යාලය

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 07 වෙනි බදාදා, 04:44