අපේ වෙදකම ජාත්‍යන්තර තලයට ගෙන යනවා

ඇමති සාලින්ද දිසානායක

Press1_27-09-2011දේශීය වෙදකම ජාත්‍යන්තර තලයට ගෙන යාමට පියවර ගන්නා බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකතන නාමාවලිය (SLT Rainbow Pages) ලබන වසරේදී දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනයට වෙන්වීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

Press2_27-09-2011ඒ සඳහා ආයුර්වේද ඖෂධ සහ වෛද්‍ය සේවාවන් පිළිබඳ ප‍්‍රමිතිය උසස් කරගැනීමත්, ආයුර්වේද පර්යේෂණ වඩා එලදායී කරගැනීමත්, නව ආයුර්වේද පනත සම්මත කරගැනීම මෙන් ම ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රට තුළින් ම සපයා ගැනීමත් අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ම දේශීය වෛද්‍ය ක‍්‍රමය අන්තර්ජාතික ආකර්ෂණය ලබාගත හැකිවන පරිද්දෙන් දියුණු කිරීම සඳහා දේශීය ව සහ අන්තර්ජාතික ව අවශ්‍ය පුළුල් ප‍්‍රචාරය ලබාදීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් පබ්ලිකේෂන් සමාගම එක් වී ඇත.

ඒ අනුව 2012 වසරේදී SLT රේන්බෝ පේජස් ශ‍්‍රී ලංකා ටෙලිකොම් දුරකතන නාමාවලිය දේශීය වෙදකම ප‍්‍රවර්ධනයට ප‍්‍රමුඛතාව දෙනු ඇත.

ආයුර්වේද ප‍්‍රවර්ධනය නාමාවලියේ මුල් කවරයට පමණක් සීමා නො වී නාමාවලියේ ඇතුළත ද විශේෂිත කොටසක් ආයුර්වේදය සඳහා වෙන්කර ඇත. මෙමඟින් දේශීය වෛද්‍ය ශිල්පයේ වැදගත්කම, දේශීය වෛද්‍යවරුන් පිළිබඳ විස්තර, බෙහෙත් පැළෑටි, ඖෂධ වර්ග පිළිබඳ තොරතුරු ලබාදීමට බලාපොරොත්තු වේ.

විශේෂයෙන්ම ආයුර්වේද වෙදකම, ආයුර්වේද සම්බාහනයන් සමගින් පරිසරය සමග එක්ව කායික මානසික නිරෝගීභාවය ලබාගැනීම වෙත අද මුළු ලෝකයම ආකර්ෂණය වෙමින් පවතී. මේ තත්ත්වය මගින් සංචාරක ව්‍යාපාරය වඩ වඩාත් වර්ධනය කිරීමටත්, එමගින් ආර්ථික සංවර්ධනයට වටිනා අවස්ථා රැසක් උදාකර ගැනීමටත් හැකිවනු ඇත.

මෙම අවස්ථාවේදී SLT රේන්බෝ පේජස් විසින් දේශීය සහ විදේශීය ජනතාව ආකර්ෂණය කරගත හැකි පරිද්දෙන් නවීකරණය කර ඉදිරිපත් කරන ලද www.indigenousmedimini.gov.lk නම් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණි.

අමාත්‍යාංශය යටතේ ඇති ආයතන, එම ආයතනවල කාර්යභාරයන් සහ සබඳතා මෙම වෙබ් අඩිවය තුළ ඇතුළත් කර ඇත.

ආයුර්වේද ප‍්‍රජා සෞඛ්‍ය සේවය, පෝෂණ මන්දිර, හෙළ වෙද ගෙදර ආදී දේශීය වෙදකම තුළින් ප‍්‍රජා සෞඛ්‍ය සේවයට වන සේවාව පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත්ය.

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල, රජයේ හෝමියෝපති රෝහල, බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනය, දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ ජාතික ආයතනය, ආයුර්වේද වෛද්‍ය සභාව ආදී ආයතන මඟින් දැනට සිදුකරන ව්‍යාපෘති පිළිබඳව ද වෙබ් අඩවිය තුළ ඇතුළත් කර ඇත.

ඉදිරියේදී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තොරතුරු නාමාවලියක්, ආයුර්වේද රෝහල් පිළිබඳ තොරතුරු මෙන්ම දේශීය ඖෂධ නිෂ්පාදකයන් සහ අමුද්‍රව්‍ය සපයන්නන් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් කිරීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව SLT රේන්බෝ පේජස් ආයුර්වේද  විද්‍යුත් පත‍්‍රිකාව (E-Brochure) එළිදැක්වීම ද සිදුකෙරිණි. මෙය විද්‍යුත් පණිවිඩ (E-Mail) ඔස්සේ ද යැවිය හැකි ලෙස සකසා ඇති අතර ඉදිරියේදී දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ද ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, අමාත්‍යාංශ ලේකම් බන්දුල දහනායක, SLT රේන්බෝ පේජස්හි ප‍්‍රධාන විධායක නිලධාරී මල්රාජ් බලපිටිය හා එහි සාමාන්‍යාධිකාරී රුවන් විජේතුංග සහ ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් යන මහත්වරු ද එක්වූහ.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 06:16