Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන රජය සහ ජනතාව අතර මැදිහත්කරුවකු ලෙස කට‍යුතු කරනවා

රජය සහ ජනතාව අතර මැදිහත්කරුවකු ලෙස කට‍යුතු කරනවා

  • පී.ඩී.එෆ් (PDF)
Mhinda_Kahadagama

රජය සහ පොදු ජනතාව එකට එක් කරන මැදිහත්කරුවකු ලෙස තම සමිතිය ක්‍රියා කරන බව ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

‍කොළඹ මහ නගර සභාව කළෙක වෙන් වුණේ ඉහළ පැළැන්තියේ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පත් කර දීම සඳහා පමණක් බව පෙන්වා දුන් සභාපතිවරයා , ඉදිරියේදී මෙම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් කර පහළ සිට ඉහළට ගමන් කළ හැකි නගර සභා ක්‍රමයක් ඇති කිරීමට රජය කටයුතු කරනු ඇතැයි හෙතෙම පැවසීය.

මේ වන විට තම සමිතිය අතිගරු ජනාධිපතිතුමන්ගේ පූර්ණ දායකත්වය මුල් කර ගනිමින් රුපියල් ලක්ෂ 5000ක වියදමින් ඩිමෝ බට්ටා ජංගම රථ 500ක් ප්‍රදානය කිරීමටත්, රුපියල් ලක්ෂ 1750ක වියදමින් ත්‍රී රෝද රථ 500ක්  ලබා දීමත් කටයුතු යොදා ඇත. ස්වයං රැකියාලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩ පිළිවෙළට අවශ්‍ය ණය ආධාර ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා ලබා දීම සිදු කෙරෙන බව ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සමිතියේ සභාපතිවරයා පැවසීය.

මෙහිදි බාහිර ඇපකරුවන්ගෙන් හෝ ස්ථීර ඇප මුදල් තැන්පත් කිරීමකින් තොර ව ස්ථීර රැකියාවක් නොමැති ත්‍රී රෝද රථ රියදුරන් වෙත ත්‍රී රෝද රථ ලබා දීම මෙහි ඇති විශේෂත්වය වේ. මෙම ඩිමෝ බට්ටා ජංගම රථ සහ ත්‍රී රෝද රථ හිමියන්ගේ සම්පූර්ණ වගකීම ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනය මඟින් දරණු ලැබේ.

එමෙන් ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ආරම්භ කරන ලද පදික වේදිකාවේ වෙළඳාමේ නිරත ව සිටි වෙළෙඳුන් සඳහා ස්ථීර වෙළෙඳකුටි ලබා දීමේ වැඩසටහන යටතේ මෙතෙක් වෙළෙඳ කුටි 1600ක් ලබා දී ඇති බව සභාපතිවරයා පවසයි. අදියර පහක් යටතේ පිටකොටුව බෝධිය අසල, නුගේගොඩ නගරයේ, කොළඹ මහ රෝහල ඉදිරිපිට, පිටකොටුව පස්වන හරස් වීදිය සහ පිටකොටුව ගුණසිංහපුර යන ස්ථානවල රුපියල් මිලියන 3200කට අධික මුදලක් වැය කරමින් මෙම වෙළෙඳ සංකීර්ණ ඉදිකර ඇති අතර, ඉන් පුද්ගලයින් 1600කට පමණ ප්‍රතිලාභ හිමි වී ඇති බව සභාපතිවරයා තවදුරටත් පැවසීය.

ඉදිරියේදී මෙම වැඩ පිළිවෙළ දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නංවමින් දිවයිනේ සෑම නගරයක ම පදික වෙළදුන් වෙනුවෙන් වෙළෙඳ කුටි ඇති කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අපේක්ෂා කෙරේ.

මෙම සංවර්ධන කාර්යයන් මෙම රජය මඟින් පොදු ජනතාවට ලබාදුන් ප්‍රතිලාභයන් බව පෙන්වා දුන් සභාපතිවරයා, තම අපේක්ෂාවනුයේ කොළඹ නගරයේ නිවසක් නොමැති සෑම පුද්ගලයෙකුට ම හිසට නිවහනක් ලබාදීම බව පැවසීය. එමෙන් ම කොළඹ නගරය වෙනුවෙන් තවදුරටත් දිනාගත යුතු දෑ බොහෝ බව පෙන්වා දුන් සභාපතිවරයා විශේෂයෙන් නගරයේ සෞඛ්‍ය, දරුවන්ගේ අධ්‍යාපනය, රැකියා අවස්ථා වැනි දෑ කෙරෙහි තමා විසින් ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරන බවත්, ඒ සඳහා වත්මන් රජයේ සහයෝගය නොඅඩුව තම සමිතියට ලැබෙනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ECB