Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන ආදිවාසීන් වෙනුවෙන් ‘ජනසෙවණ’ නිවාස ගම්මානයක්

ආදිවාසීන් වෙනුවෙන් ‘ජනසෙවණ’ නිවාස ගම්මානයක්

  • පී.ඩී.එෆ් (PDF)

ආදිවාසී ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලබන ප‍්‍රථම ජන සෙවණ නිවාස ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් හෙට (29) වාකරේ කුංචන්කුලම්හි දී ආරම්භ කෙරේ.

ආදිවාසී ජනතාවගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආදිවාසීන්ගේ නිවාස ගැටළුව විසඳීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයත් ඒකාබද්ධ වැඩසටහනක් ක‍්‍රියාවට නංවන ලදී.

ඒ අනුව මෙරට ආදිවාසී ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන ප‍්‍රථම නිවාස ගම්මානයේ ඉදිකිරීම් හෙට වාකරේදී ආරම්භ කෙරෙනු ඇත.  ප‍්‍රථම අදියර යටතේ වාකරේ පිහිටි කුංචන්කුලම්, කිරිමෙච්චෙයි, මරදන්කුලම් ගම්මානවල ආදිවාසී ජනතාව වෙනුවෙන් නිවාස 30ක් ඉදිකෙරේ. මේ සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වැයකරයි.

ආදිවාසීන්ගේ අදහස් අනුව ඔවුන්ගේ සංස්කෘතිය, සම්ප‍්‍රදායන් ආරක්ෂා වන ආකාරයෙන් මෙම නිවාස සැලසුම් කිරීම, තාක්ෂණික උපදෙස් ලබාදීම, ඉදිකිරීම් ඇතුළු සියලු කටයුතු සිදුකරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනය මඟිනි.

දෙසැම්බර් මාසය වන විට මෙම නිවාස ඉදිකර අවසන් කර ආදිවාසී ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වේ. මීට අමතර ව දඹාන, රතුගල, හේනෑනිගල, දළුකාන, පොල්ලෙබැද්ද ආදිවාසී ගම්මානවලද නිවාස නොමැති ආදිවාසීන්ට නිවාස ලබාදීමේ වැඩසටහන් නුදුරේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

ආදිවාසී පවුල් 500කට පමණ මෙම නිවාස අවශ්‍යතාව පවතින බවට තොරතුරු වාර්තා වේ.

DB