Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන වීසා සඳහා පූර්ව අනුමැතිය අන්තර්ජාලයෙන් දීමේ නව ක්‍රමවේදයක්

වීසා සඳහා පූර්ව අනුමැතිය අන්තර්ජාලයෙන් දීමේ නව ක්‍රමවේදයක්

  • පී.ඩී.එෆ් (PDF)
new_visa_system_1

කෙටි කාලීන අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාව හරහා ගමන් කරන විදේශීය ජාතීන් උදෙසා අන්තර්ජාලය ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් ලෙස “විද්‍යුත් සංචරණ අනුමැතිය ලබා‍දීමේ ක්‍රමවේදය“ (Electronic Travel Authorization – ETA) ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සියලු කටයුතු සුදානම් කොට ඇත.

මේ අනුව දැනට රටවල් 78ක ජාතීන් උදෙසා ක්‍රියාත්මක වන කෙටි කාලීන වීසා ලබාදීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි කිරීමේ අරමුණින් සංචාරක කටයුතු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා තරග නැරඹීම, සංස්කෘතික සංදර්ශන නැරඹීම, ව්‍යාපාරික සමුළු හා සාකච්ඡා, පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණවලට සහභාගීවීම වැනි කෙටිකාලීන අවශ්‍යතා සඳහා පැමිණෙන ඕනෑ ම විදේශීය ජාතියෙකුට නියමිත ගාස්තු ගෙවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති www.eta.gov.lk යන අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ විද්‍යුත් සංචරණ අනුමැතිය ඉල්ලුම් කර, මෙරටට ගොඩ බැසීමේ හැකියාව ලැබේ.

මේ පිළිබඳ මූලික තොරතුරු ජාත්‍යාන්තර භාෂා නවයකින් ලබාගත හැකිවීම, විදේශිකයන්ට ඉතා පහසුවක් වනු ඇත. නමුත් අයදුම්පත්‍රය යොමුකළ යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වන අතර අයදුම්පත්‍රය යොමු කිරීමට ක්‍රමවේදයන් හයක් (6) හඳුන්වා දී‍ ඇත.

එනම් අයදුම්කරු විසින්, අයදුම්කරු වෙනුවෙන් තෙවන පාර්ශවයක් මගින්, ලියාපදිංචිකර ඇති නියෝජිත ආයතනයක් මගින්, ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල කාර්යාලයක් මගින් හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයක් මගින් ඉහත ක්‍රමවේදයන් මගින් පූර්ව අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී පැමිණි විදේශිකයකුට එම අය ගොඩබසින ලද ශ්‍රී ලංකාවට පැමිණෙන තොටුපොළේ ස්ථාපිත කර ඇති කවුළුවකින් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා පූර්ව අනුමැතිය ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාව ඇත.

මෙම විද්‍යුත් සංචරණ අනුමැතිය සඳහා පරිපාලන ගාස්තුවක් පමණක් යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ඇති අන්‍යෝන්‍ය අවබෝධතා ගිවිසුම් අනුව මෙරටට පැමිණෙන මාලදිවයින් හා සිංගප්පූරු ජාතීන් සඳහා පෙර පරිදි පැමිණීමේ තොටුපොළේ දි ගාස්තුවකින් තොර ව වීසා ලබාදීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත. මෙම නව වීසා ක්‍රමවේදය අනුව ගුවන් හා නැව් කාර්ය මණ්ඩල වීසා සඳහා පූර්ව අනුමැතිය ලබාගැනීමෙන් නිදහස් කර ඇති නිසා එය පෙර පරිදි ම සිදුකළ ආකාරයට ම ක්‍රියාත්මක වේ.

රාජ්‍ය තාන්ත්‍රික හා රාජකාරි කටයුතු සඳහා මෙරටට පැමිණෙන විදේශීය ජාතින් ශ්‍රී ලංකා රාජ්‍ය ආයතනයන් ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබාගතයුතු අතර එය ගාස්තුවකින් තොරව අනුමැතිය ලබාදීමට අවස්ථාව සලසා දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේද එකඟතාව හා මැදිහත්වීම මත නිර්මාණය කරන ලද මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීම මගින් මහින්ද චින්තනයේ අරමුණක් වන ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් වැදගත් ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා විශාල ශක්තිමත් පදනමක් නිර්මාණය වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි.

මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (28) කොළඹ දී පැවැත්විණි. පාලක ජෙනරාල් ආගමන විගමන ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා, නියෝජ්‍ය ජෙනරාල් පාලක පරිගණක හා ප්‍රත්‍යන්ත පාලක එම්.එන්. නිහාල් රණසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) එස්. හෙට්ටිආරච්චි,  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශ ප්‍රධානී ආර්.එම්.එස්. සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Hc/MOD