Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන ධීවරයන්ගේ මිතුරා 'සයුර' රේඩියෝව නව මුහුණුවරකින්

ධීවරයන්ගේ මිතුරා 'සයුර' රේඩියෝව නව මුහුණුවරකින්

  • පී.ඩී.එෆ් (PDF)

සමස්ත ධීවර ජනතාවට ම තොරතුරු, දැනුම, අධ්‍යාපනය හා විනෝදාස්වාදය ලබා දීමේ අරමුණින් පසුගිය මාර්තු 26 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ දී විවෘත කරන ලද 'සයුර' රේඩියෝව හෙට (01) සිට නව මුහුණුවරකින් හා නව වැඩසටහන් රැසකින් ධීවර ජනතාව හමුවට පැමිණෙන බව ධීළුර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

ලොව ප්‍රථම ධීවර ගුවන් විදුලිය ලෙස ඉතිහාසගත වන සයුර රේඩියෝව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජත සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද්දකි. මෙම රේඩියෝව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පූර්ණ දායකත්වයෙන් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් දිනපතා රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා විකාශය කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තරංග මාලා 92.2 FM / 87.6 FM / 91.2 FM / 95.0 FM / 102.6 FM හා 94.4 FM ඔස්සේ සයුර රේඩියෝව විකාශය වේ. මහ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාවට තොරතුරු හා ප්‍රවෘත්ති සම්පාදනය, දැනුම හා අධ්‍යාපනය ලබා දීමත් විනෝදාස්වාදය සපයමින් ඔවුන් ව ආකල්පමය වෙනසක් කරා යොමු කරවීම මෙම ගුවන් විදුලියේ ප්‍රධාන අරමුණු වේ.

නිවසේ සිටින ධීවර ගෘහණිය ඇතුළු නෑදෑ හිත මිතුරන්ට ඈත දියඹේ සිටින ධීවර කාර්මිකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත අලුත් තොරතුරු එනම් මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණ ක්‍රම හඳුන්වා දීම, බැංකු ණය, ස්වයංරැකියා ආධාර ඇතුළු වෙනත් ආධාර පිළිබඳ තොරතුරු දෛනික ව ලබා දෙමින් ධීවර ප්‍රජාවට යහ මඟ පෙන්වන මාර්ගෝපදේශකයෙක් ලෙස සයුර රේඩියෝව කටයුතු කෙරේ.

සයුර නව මුහුණුවරකින් හඳුන්වාදීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා පවසන්නේ මහ සයුර මැද මත්ස්‍ය සම්පත නෙළන අපේ ධීවර කාර්මිකයාත් ගොඩබිම නිවසේ සිටින ධීවර පවුලත් සමස්ත ලක්වාසී ජනතාවත් එකට එක් කරන 'සයුර' රේඩියෝව මගින් ධීවර කාර්මිකයින් ඉහළට ඔසවා තබන්නටත් ඔවුන්ගේ දැනුම වර්ධනය කරමින් සමීප මිතුරෙකු ලෙස ධීවර ප්‍රජාව නිසි මඟ මෙහෙයවීමටත් විනෝදාස්වාදය සැපයීමටත් අපේක්ෂා කරන අතර මේ මගින් ධීවර ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් නිසැක ව ම සිදු වන බව ප්‍රකාශ කළේය.

NDH