Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය මධ්‍යම පළාතේ ගම් තුනක් සංවර්ධනයට

මධ්‍යම පළාතේ ගම් තුනක් සංවර්ධනයට

  • පී.ඩී.එෆ් (PDF)

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි තෝරාගත් ගම්මාන තුනක් ඒකාබද්ධ ග්‍රාම නවෝදය නමින් සංවර්ධනය කිරීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය, ගොවිජන සංවර්ධන, මිරිදිය ධීවර හා පරිසර අමාත්‍ය නිමල් පියතිස්ස මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටපාන ගම්මානය, මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය තල්කොටේ ගම්මානය සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ වලපනේ වටඹේ ගම්මානය මෙසේ සංවර්ධනය කිරීමට පියවර ගැනේ.

මධ්‍යම පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය මෙන් ම අඩු ආදායම්ලාභී ජනතාව නගාසිටුවීම සඳහා සත්ත්ව පාලනයට අදාළ ව කිරි ගවයන්, කුකුළු පැටවුන්, එළුවන් ගොවි ජනතාවට ලබාදීම ද මෙහිදී සිදු කෙරේ.

විශේෂයෙන් ම ගම්මාන තුළ සිටින රැකියා විරහිත තරුණ තරුණියන්ට ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යා හැකි මී මැසි පාලනයට අවශ්‍ය උපකරණ මේ වන විටත් ලබාදී ඇත.

එසේ ම ගොවි ජනතාවට අවශ්‍ය කොළමඩින යන්ත්‍ර, බෙහෙත් ඉසින යන්ත්‍ර, උදළු හා අනෙකුත් කෘෂිකාර්මික උපකරණ ලබාදීම ද මේ වන විට සිදුකර ඇත.

මෙමගින් මෙම දිස්ත්‍රික්ක තුනෙහි ගොවි පවුල් 900කට අධික ප්‍රමාණයකට සෙත සැලසෙන අතර ඉඩම් අක්කර 1200කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට නියමිතය.

KMB