Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය කලාකරුවන් ඇගයීම උසස් කාර්යයක්

කලාකරුවන් ඇගයීම උසස් කාර්යයක්

  • පී.ඩී.එෆ් (PDF)

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්
සාහිත්‍ය කලාවේ දියුණුව උදෙසා කැප වූ ප්‍රාදේශීය කලාකරුවන් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරි නැමීම අගය කළ යුතු කාර්යයක් බවත් උසස් වින්දනයක් ඇති තැනැත්තා නිවුණු මනසින් ලෝකය දකින්නෙකු වන බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පැවසුවේ යැයි කෑගල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පැවති කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයට එක් වෙමිනි.

මෙහි දී අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා රටක සැබෑ සංවර්ධනය නිර්ණය කිරීමේ දී අධ්‍යාත්මික සංවර්ධනය ද ඉවහල් කර ගන්නා බවත් රටට අවශ්‍ය කරන උගත්, බුද්ධිමත් සාහිත්‍ය රසඥතාවෙන් යුක්ත පාසල් දරුවන් පිරිසක් බිහි කිරීම සඳහා සාහිත්‍යයෙන් කරන්නා වූ මෙහෙය අගය කළ යුතු බවත් පැවසීය.

මේ අවස්ථාවට සහභාගී වූ බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නායක හිමියන් සඳහන් කළේ අපේ පාසල් දරුවන් තුළ සාහිත්‍ය රසඥතාව පිළිබඳ ව ඇත්තේ ඇල්මැරුණු ස්වභාවයක් බවයි. ඒ සඳහා අතීතයේ සිදු කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා සාහිත්‍ය විෂය, විෂය මාලාවෙන් ඉවත් කිරීම ද හේතු වූ බව පෙන්වා දුන්නේය.

සිංහල සාහිත්‍ය විෂය වෙනුවට සිංහල ප්‍රජාචාරය, භූගෝලය, සමාජ අධ්‍යයනය යනාදිය විෂය මාලාවට ඇතුළත් කර ගත්තා. එහි ආදීනව අද අපිට විඳින්න සිදු වෙලා. සාහිත්‍ය පරිහානිය ආරම්භ වූයේ එතැනින්. පාසල් දරුවන් තුළ සිංහල විෂය පිළිබඳ පවතින උනන්දුව හා ආකල්ප ඇගයීමට ලක් කළ යුතුයි. පාසල් දරුවන් තුළ  සාහිත්‍ය රසඥතාව  වැඩි දියුණු කිරීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය බව ද උන් වහන්සේ අවධාරණය කළේය.

NDH/ KM- DMU Kegalle