තූත්තුකුඩියේ සිට කොළඹට මගී නැව් සේවාව සතියට දින දෙකක්

Sri-Lanka-India-ferry

මගීන් 1044ක් එකවර ගමන්කළ හැකියි
දකුණු ඉන්දියාවේ සිට කොළඹට අන්තර්ජාතික මගී ප්‍රවාහන නැව් සේවාව අද (13) තූත්තුකුඩියෙන් ආරම්භ වේ.

 

තූත්තුකුඩියේ චිදම්බරනර් තොටුපොළේ (Chidambaranar Port) සිට ගමන් අරඹන ස්කොටියා ප්‍රින්ස් නෞකාව මගීන් 1044ක් රැගෙන එන බව ඉන්දීය වාර්තා පවසයි.

ඉන්දීය නාවික අමාත්‍ය ජී.කේ. වාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් නැව දියත්කිරීමේ උත්සවය අද පැවැත්වේ.

ආරම්භයේදී සතියකට දෙවතාවක් ඉන්දියාවේ සිට කොළඹට නාවික සේවාව සපයයි. නාවික ගමනට පැය 14ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ෆ්ලෙමින්ගෝ ලයිනර්ස් සමාගමට අයත් ස්කොටියා ප්‍රින්ස් නෞකාවෙන් ටොන් 300ක් භාණ්ඩ ද ප්‍රවාහනය කළ හැකි වේ. මගීන් සඳහා කුටි 317කින් (සාමාන්‍ය කුටි 111ක් ද වැසිකිළි සහිත සුපිරි කුටි 22ක් ද වැසිකිළි සහ නාන කාමර සහිත කුටි 169ක් ද පළමු පංතියේ කුටි 11ක් ද සුඛෝපභෝගී කාමර (suites) දෙකකින් ද) නැව සමන්විතය. එහි 40 දෙනෙකුට වැඩි කාර්ය මණ්ඩලයක් මගීන් වෙනුවෙන් සේවය කරති. එය මහල් නවයකින් යුක්තය.