චැනල්-4 චිත්‍රපටය රජය ප්‍රතික්ෂේප කරනවා

London_SLHigh_Commission

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය
චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය කර ඇති “Sri Lanka’s Killing Fields” නමැති චිත්‍රපටය සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අද (15) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නීතිවිරෝධී ත්‍රස්තවාදී සංවිධානයක ග්‍රහණයේ සිටි ළමයින් කාන්තාවන් ඇතුළු සිවිල් ජනතාව මුදා ගැනීමින් ලොව සුවිසල් ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක නිරතවීමේ ගෞරවය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට හිමිවේ.

ලේ වැගිර වීම් හා තාඩනපීඩනවලින් ගහණ වූ බියෙන් සැකෙන් ජීවත් වූ සමය ශ්‍රී ලංකා සිවිල් සමාජයෙන් ඉවත් ව ගොස් තිබේ. 2009 දී එල්ටීටීඊ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් පසු ජනතාවට බලපාන කිසි ම ත්‍රස්ත ක්‍රියාවක් සිදු ව නොමැති අතර ඔවුන් දැන් සාමයෙන් වෙසෙති.

අර්බුදය නිමාවත් සමඟ ම රජය ඒ පිළිබඳ ව අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීමට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පිළිබඳ කොමිසම් සභාවක් පිහිටුවා තිබේ. එයට සාක්ෂි දීමට 200කට වැඩි ජනතාවක් ඉදිරිපත් වූ අතර චැනල් 4 නාලිකාවේ විකාශය කරන ලද හෝ වෙනත් පාර්ශවයන් ඒ ගැන නඟන ආකාරයේ චෝදනා ගැටුම්වලට මැදි වූ ජනතාවගෙන් ඉදිරිපත් වී නැත.

අවතැන් වූ හා පීඩාවට පත් වූ ජනතාව පුනරුත්ථාපනය කිරීමට හා නැවත පදිංචිකිරීමට මහජන නියෝජිතයන්, අන්තර්ජාතික ස්වේච්ඡා සංවිධාන හා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමඟ එක් ව ශ්‍රී ලංකා රජය දිගින්දිගට ම කටයුතු කරමින් සිටී.

චැනල් 4 මඟින් විකාශය කරන ලද චිත්‍රපටය ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ජාතීන් අතර සුහදතාව බිඳදමා දුරස්ථභාවය ඇති කිරීමට ඉවහල් වන බව ද මහකොමසාරිස් කාර්යාලය සිය නිවේදනයෙන් පවසයි.

Hc