Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා උතුරේ ප්‍රථම අන්තර්ජාතික ක්‍රීඩාංගණය කිලිනොච්චියේ

උතුරේ ප්‍රථම අන්තර්ජාතික ක්‍රීඩාංගණය කිලිනොච්චියේ

  • පී.ඩී.එෆ් (PDF)

උතුරේ ක්‍රීඩාව නැංවීමට මිලියන 325ක් වෙන් කෙරේ
උතුරු පළාතේ ඉදිකෙරෙන ප්‍රථම අන්තර්ජාතික ක්‍රීඩාංගණය කිලිනොච්චියේ ඉදිකරන අතර ඒ සඳහා මුල්ගල් තැබීම ලබන 20 වන දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් සිදු කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති යටතේ ක්‍රීඩාව ගමට ගෙන යමින් දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට ගෙන යාම සඳහා සෑම ක්‍රීඩාවක් ම පුහුණු විය හැකි අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණ 09ක් දිවයින පුරා පළාත් මට්ටමින් ඉදි කෙරෙන අතර එම ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ සංකීර්ණය ඉදිකරන්නේ කිලිනොච්චියේයි.

රු. මිලියන 325ක වියදමින් ඉදිකරන මෙය ක්‍රිකට්, මලල ක්‍රීඩා, පාපන්දු හා රගර් සඳහා පුහුණුවීම් කළ හැකි ප්‍රධාන ක්‍රීඩාංගණ 03කින් සමන්විත වේ. එළිමහන් ක්‍රීඩාංගණය මංතීරු 08කින් සමන්විත වන අතර 5000ක පමණ ප්‍රේක්ෂක පිරිසකට තරග නැරඹීමේ පහසුකම් සලසා ඇත.

ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන 2000කින් සමන්විත වන අතර ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ආසන 1500කින් යුක්තය. බැට්මින්ටන්, ජූඩෝ, කරාටේ හා ජිම්නාස්ටික් ඇතුළු ගෘහස්ථ ක්‍රීඩා 25ක් පුහුණු විය හැකි ක්‍රීඩාගාරයක් ඉදි කෙරෙන මෙහි 500කට පමණ ආසන පහසුකම් සපයා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මංතීරු 08කින් සමන්විත පිහිනුම් තටාකය ජාත්‍යන්තර ප්‍රමිති මට්ටමින් ඉදිකෙරෙන අතර එහි ඉදිකරන ප්‍රේක්ෂකාගාර ආසන 500කින් සමන්විත වේ. නේවාසිකාගාර, භෝජනාගාර, වෙළෙඳ සංකීර්ණ හා ශාලා පහසුකම්වලින් සමන්විත කිලිනොච්චි ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වසර 02ක් තුළ නිම කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

කිලිනොච්චි ක්‍රීඩාංගණය ඉදි කිරීමත් සමඟ උතුරු පළාතේ ක්‍රීඩා සංවර්ධනයේ විශාල ප්‍රගතියක් සිදු වනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික සංචිත සඳහා විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරියේ දී එක්වනු ඇතැයි අවධාරණය කරයි.

මුල්ගල තබන අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සම්ප්‍රදායික කර්මාන්ත හා සුළු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිතය.

NDH