Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජපන් චිත්‍රපට උළෙලක් අගෝස්තු 5 සිට

ජපන් චිත්‍රපට උළෙලක් අගෝස්තු 5 සිට

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය එක් ව ජපන් චිත්‍රපට උළෙලක් අගෝස්තු 05 සිට 08 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා නව සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජපන් සංස්කෘතික මාසය නිමිතිකරගෙන මෙහිදී චිත්‍රපට 07ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. අගෝස්තු 05 දින ප.ව. 7.00ට ටර්න් ඕවර් (TURN OVER) චිත්‍රපටයෙන් උළෙල ආරම්භ කෙරේ.

මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් අගෝස්තු මස 06 සිට අගෝස්තු මස 8 දක්වා ප.ව.3.00ට සහ 5.30 චිත්‍රපට දර්ශන දෙක බැගින් ප්‍රදර්ශනය කෙරේ. ග්ලාස් රැබිට් (GLASS RABBIT) අ ස්ට්‍රේන්ජර් ඔෆ් මයින් (A STRANGER OF MINE), චිබි මරුකෝ චාන් (CHABI MARUKO-CHAN), හොටෙල් හිබිස්කස් (HOTEL HIBISCUS), නබීස් ලව් (NABBIE'S LOVE), ෂංග්රි - ලා (SHANGRI -LA) මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

මේ චිත්‍රපට අතරට  ජපානයේ පැරණි හා වර්තමාන සිනමා කෘති ඇතුළු ව ළමා සිනමා කෘති 2ක් ද ප්‍රදර්ශනය කෙරෙන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ මහතා ඊයේ (26) ජාතික චිත්‍රපට සංස්ථාවේ, තරංගනී ශාලවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසී ය.

ජපානයේ චිත්‍රපට කර්මාන්තයට වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා මෙම උළෙල මඟින් සුවිශේෂී දායකත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

මෙම උළෙලට සමගාමී ව අගෝස්තු මස 20-21 දිනවල ලයනල් වෙන්ට්ඩ්හි දී සංස්කෘතික ප්‍රදර්ශනයක් ද අගෝස්තු 25 දින කොළඹ හා මහනුවර දී නැටුම් සංදර්ශනයක් පැවැත්වීමට ද ජපාන තානාපති කාර්යාලය කටයුතු යොදා ඇත.

මෙවැනි නැටුම් සංදර්ශනයක් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන්නේ පළමු වතාවට බව ජපන් තානාපති කාර්යාලයේ සංස්කෘතික හා තොරතුරු අංශයේ  පළමු ලේකම් කියොහිකෝ හමාඩා (KIYOHIKO HAMADA) මහතා පවසයි.

මෙම සංස්කෘතික ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර වඩා ප්‍රචලිත ඉකෙබානා, බොන්සායි, ඔරිගමී සහ කොලිග්‍රැෆි ඇතුළු සම්ප්‍රදායික TEA CEREMONEY ප්‍රදර්ශනය කෙරෙන බවද ඒ මහතා පැවසී ය.

PR/cmu