Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ‍්‍ර‍්‍රී ලංකාවට ගෞරවයක් ලබාදුන් උපමාලිකා ක‍්‍රීඩිකාවට නව නිවසක්

ශ‍්‍ර‍්‍රී ලංකාවට ගෞරවයක් ලබාදුන් උපමාලිකා ක‍්‍රීඩිකාවට නව නිවසක්

  • පී.ඩී.එෆ් (PDF)
upamalika_house_2

පසුගියදා සිංගප්පූරුවේ  පැවති 73 වෙනි විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දෙමින් කීර්තියක් අත් කර දුන් උපමාලිකා රත්නකුමාරි  ක‍්‍රීඩිකාවට අංග සම්පූර්ණ නව නිවසක් ලබාදීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් ව සිටින බව එම අමාත්‍යාංශය අප වෙබ් අඩවියට දැනුම් දෙයි.

උපමාලිකා රත්නකුමාරි ක‍්‍රීඩිකාව පසුගිය දා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ දී විමල් වීරවංශ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී ඇයට මේ බව ප්‍රකාශ කරන ලදී.

'ජන සෙවණ කැපකරු' නිවාස යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකෙරෙන මෙම නිවස වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 15කි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හා රාජ්‍ය සමාගමක් වන ඕෂන් විව් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් හා මෙහෙයවීමෙන්  ඉදිකෙරෙන මෙම නිවස  සඳහා ශ‍්‍රම දායකත්වය සපයන්නේ යුධ හමුදාවයි.

මේ අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරි සතියේ දී මෙම නිවස ඉදිකිරීමේ කටයුතු ඇයගේ පැරණි නිවස පිහිටි දඹුල්ල, බුලාගල ප‍්‍රදේශයේදී ආරම්භ කිරීමට කඩිනමින් ක‍්‍රියාකරන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු මාස 3ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි.

පසුගිය අගෝස්තු 20 හා 21 දිනවල දී සිංගප්පූරුවේ පැවති විවෘත මලල ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් උපමාලිකා රත්නකුමාරි ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පස්දෙනෙක් සහභාගි වූහ. මෙහි දී පැවති මීටර් 400 කාන්තා ධාවන තරගයෙන් ඇය රන් පදක්කම ලබා ගත්තේ තත්පර 54.71 කින් තරගය නිමකරමිනි. මෙම තරගය සඳහා ශ‍්‍රී ලංකාවට අමතරව ජපානය, චීනය,  ඕස්ටේ‍්‍රලියාව, පැපුවා නිවුගිනියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, සිංගප්පූරුව, බෲනායි රටවල ක‍්‍රීඩිකාවන් ද තරග වැදිණි.

දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින මෙම ක්‍රීඩිකාව හා පවුලේ සාමාජිකයින් පිළිබඳ මාධ්‍ය මගින් කරුණු දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත‍්‍රික් කළමණාකරු ජයන්ත විල්ගමුව මහතාට උපදෙස් ලබා දුන්නේ උපමාලිකා ක‍්‍රීඩිකාවගේ දඹුල්ලේ පිහිටි නිවසට ගොස් තොරතුරු සොයා බලන ලෙසයි. එම තොරතුරුවලට අනුව උපමාලිකා ක‍්‍රීඩිකාවගේ නිවාස ගැටළුවට කඩිනමින් විසඳුම් ලබා දීමට ඇමතිවරයා තීරණය කළේය.

මෙහිදී අදහස් දැක් වූ උපමාලිකා රත්නකුමාරි ක‍්‍රීඩිකාව කියා සිටියේ තමන්ට ස්ථිර නිවසක් ලැබුණු පසු ව දැඩි මානසික ශක්තියක් යටතේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් තරග කිරීමට හැකි බවයි. මගේ අසරණකම දැකලා පිහිටවීම ගැන මේ රජයට ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන් ම අසරණ තත්ත්වයට පත් ව සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට උදව් කිරීම ඉතා වැදගත්. තවදුරටත් රට වෙනුවෙන් ජයග‍්‍රහණ ලබාදෙන්න මං අනිවාර්යයෙන් ම කැප වෙනවා යනුවෙන් ද උපමාලිකා රත්නකුමාරි ක‍්‍රීඩිකාව මෙහි දී වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

මෙම සාකච්ඡාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී මේජර් ජනරාල් වසන්ත කුමාර,  ඕෂන් විව් ආයතනයේ සභාපති ජගත් පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත‍්‍රික් කළමනාකරු ජයන්ත විල්ගමුව මහත්වරු ද සහභාගි වූහ.

NDH