Thursday, Apr 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා අයිසීසී සම්මාන උළෙලේ සංගක්කාරට සම්මාන දෙකක්

අයිසීසී සම්මාන උළෙලේ සංගක්කාරට සම්මාන දෙකක්

  • පී.ඩී.එෆ් (PDF)
sangakkara
J_trot

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ජොනතන් ට්‍රොට්
2011 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සහ ජනප්‍රියතම ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයෙන් ඊයේ (12) ලන්ඩනයේ පැවති එල්ජී අයිසීසී ක්‍රිකට් සම්මාන උළෙලේ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර පිදුම් ලබා තිබේ.

වසරේ ක්‍රිකට් තරු සම්මානයට පාත්‍රවන මේ උළෙලේ සම්මාන දෙකක් දිනාගත් එක ම ක්‍රීඩකයා වන්නේ ද සංගක්කාරය. සංගක්කාර වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමිකර ගන්නේ ඔස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්, ඉන්දියාවේ ගෞතම් ගම්භීර් හා දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා අභිබවමිනි.

ඔස්ට්‍රේලියාව සමඟ මෙරට දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩා කිරීම නිසා සංගක්කාරට ඊයේ පැවති සම්මාන ප්‍රදාන උළෙලට සහභාගීවීමට නොහැකි විය.

මේ සම්බන්ධයෙන් තමාට සුවිශේෂී ආඩම්බරයක් දැනෙන බවත් එම කාලයේ දී කණ්ඩායම වෙනුවෙන් මහත් කැපවීමකින් ක්‍රීඩා කරමින් දායක වූ තම කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට සිය ස්තූතිය පුදකරන බවත් සංගක්කාර පවසා තිබේ.

2010 අගෝස්තු 11 සිට 2011 අගෝස්තු 03 දක්වා කාලය තුළ ලකුණු 1049ක් රැස්කරමින් 55.21ක සාමාන්‍යයක් පවත්වාගෙන තිබෙන සංගක්කාර කඩුලු රැකීමේ දී උඩපන්දු 26ක් රැකගනිමින් කඩුලු බිඳදැමීම් 10ක් ද සිදුකර තිබේ. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී සිය කණ්ඩායම අවසාන තරගය දක්වා ගෙන ආ ඔහු අනුශූරතාව ශ්‍රී ලංකාවට ලබාදීමට සමත්විය.

2011 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස එංගලන්ත පිලේ පිතිකරු ජොනතන් ට්‍රොට් ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පිදුම් ලැබීය. එංගලන්ත පිලේ ඇලෙස්ටයාර් කුක් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

ජොනතන් ට්‍රොට් ටෙස්ට් තරග 12කදී ලකුණු 1042ක් ලබා ගනිමින් 65.12ක සාමාන්‍යයක් පවත්වාගෙන ගොස් තිබේ. එයට ශතක 4ක් හා අර්ධශතක 3ක් ඇතුළත් වේ. එක්දින තරග 24කදී ඔහු ලකුණු 1064ක් ලබාගෙන ඇත්තේ ශතක දෙකක් සහ අර්ධ ශතක 9ක් වාර්තා කරමිනි.

ජගත් ක්‍රිකට් සම්මේලනය වාර්ෂික ව මෙම ක්‍රිකට් සම්මාන ප්‍රදානය සංවිධානය කරයි.  මෙවර සම්මාන ප්‍රදානය වෙනුවෙන් නම් නිර්දේශ කර ඇත්තේ ක්ලයිව් ලොයිඩ්, මයිකල් ඇතර්ටන්, සහිර් අබ්බාස් සහ ඩැනි මොරිසන් යන ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කමිටුවකිනි.

Hc