Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් දරුස්මාන් වාර්තාවේ තිබෙන කරුණු අසත්‍යයි

දරුස්මාන් වාර්තාවේ තිබෙන කරුණු අසත්‍යයි

  • පී.ඩී.එෆ් (PDF)
MP_wimal_weerawansa

ඇමති විමල් අල්ජසීරා රූපවාහිනියට පවසයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතාට උපදෙස් ලබාගැනීම සඳහා පත්කරගන්නා ලද දරුස්මාන් කමිටු වාර්තාව මඟින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවත් එම කමිටු වාර්තාවට විරෝධය දැක්වීම සඳහා රටවල් ගණනාවක් ම ශ‍්‍රී ලංකාව සමඟ එක් වී සිටින බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ අල්ජසීරා රූපවාහිනී නාලිකාව සමඟ පසුගියදා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

‘දරුස්මාන්  වාර්තාව මඟින් එල්ලකර තිබෙන සියලු චෝදනා අසත්‍යයි. එහි පිළිගත හැකි කිසිවක් නැහැ. ආරක්ෂක ලේකම්වරයාගේ නම පවා එහි සඳහන් කර තිබුණේ නිවැරදි ව නොවේ. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නම් කර තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා. එමඟින් ම පෙන්නුම් කරන්නේ දරුස්මාන් වාර්තාවේ තිබෙන වගකීම් රහිතභාවය. ත‍්‍රස්තවාදය පරාජය කර ශ‍්‍රී  ලංකාවට සාමය උදාකරගැනීම සඳහා නායකත්වය ලබාදුන් අතිගරු ජනාධිපතිතුමාට හා ආරක්ෂක අංශවලට මෙසේ අසත්‍ය චෝදනා එල්ල කිරීමට දරුස්මාන් කමිටුවට කිසිම අයිතියක් නැහැ’.

බෙදුම්වාදයට හිතවත් කණ්ඩායම්, ඇතැම් බටහිර රටවල් සමඟ එකතු වී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවට අසත්‍ය චෝදනා එල්ල කිරීමට එරෙහි ව ශ‍්‍රී ලංකාවට සහාය පළකිරීම සඳහා රටවල් රැසක් දැනටමත් අප සමඟ එක් ව සිටින බවත් පැවසීය.

යුධ අපරාධ ගැන යම් චෝදනාවක් ඇත්නම් එය උගත් පාඩම් හා සංහිදියා කොමිසමට පැමිණිලි කළ හැකි බවත් එම වාර්තාව නොබෝ දිනකින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත යැයි ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා එම වාර්තාව මඟින්  යම් යුධ අපරාධයක් සිදුවී ඇති බව සනාථ කළහොත් ඒ ගැන රට තුළ රටේ නීතිය අනුව අභ්‍යන්තර පරීක්ෂණයක්  සිදුකළ හැකි යැයි ද ප්‍රකාශ කළේය.

එසේ යුධ අපරාධ සිදුවුයේ නම් පුනරුත්ථාපනය වන එල්ටීටීඊ කිසිවෙකුත් ජීවතුන් අතර නැතිවෙන්න ඉඩ තිබුණු බවත් අපේ ආරක්ෂක අංශ ඉතා වගකීමෙන් ක‍්‍රියාකළ බව දෙමළ ජාතිකයින් ම ප‍්‍රකාශ කරනවා යැයි ද කීය.

මෙම අභියෝග සියල්ල හමුවේ පෙරටත් වඩා ශක්තියකින් ශ‍්‍රී ලංකාව ඉදිරියට ගමන් කරනවා යැයි ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සඳහා ලෝක සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අතිබහුතරයක් රටවල් අපත් සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා යැයි ද අල්ජසීරා රූපවාහිනී නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

DB