Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ඉන්දීය නිවාස 50000න් 1000ක වැඩ ආරම්භ කළා

ඉන්දීය නිවාස 50000න් 1000ක වැඩ ආරම්භ කළා

  • පී.ඩී.එෆ් (PDF)
Wimal

අමාත්‍ය විමල් වීරවංශ
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2010 ජූනි මස සිට සිදුකළ ඉන්දීය සංචාරයේ දී අත්සන් තැබූ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව ඉන්දීය රජය විසින් පූර්ණ ප්‍රදානයක් වශයෙන් ලබාදීමට නියමිත නිවාස 50000න් පළමු නිවාස 1000ක නියමු ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ඊයේ (20) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසී ය.

ඒ සඳහා ඉන්දීය රජය තෝරාගත් ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමද පැමිණ ඇති බවත් නිවාස 1000ක නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය සහ නිවාස ඉදිකළ යුතු ස්ථාන පිළිබඳ තොරතුරු ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ලබාදී තිබෙන බව ද පැවසීය.

මෙම ව්‍යාපෘතියේ ස්වභාවය ඉන්දියානු රජය මඟින් ප්‍රතිලාභීන් සඳහා ඉදිකර ප්‍රදානයක් වශයෙන් ලබාදීම බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දැනට ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී වැන්දඹුවන්, මවුපිය දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ඇති ගෘහ මූලික ආබාධිත පුද්ගලයින්, වයස්ගත නිසා දුබල වූවන්, තුවාලවීම් නිසා දුබල වූවන්, දරිද්‍රතා සීමාවෙන් පහළ ආදායම් ලබන පවුල්වලට ප්‍රමුඛත්වය ලබාදී ඉඩම් නොමැති නැවත පදිංචි කරන ලද පවුල්වලින් ප්‍රතිලාභීන් තෝරාගැනෙන බව අමාත්‍යවරයා පැවසී ය.

PR

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 21 වෙනි බදාදා, 07:05