Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් කොළඹ අනවසර පදිංචිකරුවන් පිටමන් කරන්නේ නෑ

කොළඹ අනවසර පදිංචිකරුවන් පිටමන් කරන්නේ නෑ

  • පී.ඩී.එෆ් (PDF)

නිවාස ඇමැති කියයි

කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වන හා අනවසර පදිංචිකරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ 5ක් පමණ වන බවත් අනවසර පදිංචිකරුවන් ඇතුළු සියලු ම දෙනා කොළඹින් පිටතට යැවීමට කටයුතු නොකරන බවත් කොළඹ නගරය තුළ ම එම පවුල්වලට වාසස්ථානයට සුදුසු ස්ථීර නිවාස වැඩපිළිවෙළක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක කර තිබෙන බවත් නිවාස, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ අඩු පහසුකම්  සහිත වතු නිවාස ඒකක 1410ක් තුළ පවුල් 50,000ක් සහ මහල් නිවාස ඒකක 200ක අඩු පහසුකම් සහිත ව සිටින පවුල් සංඛ්‍යාව 25,000ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ කොළඹින් එම පවුල් ඉවත්කිරීමට අවශ්‍යතාවක් තිබෙනවා නම් මේ ආකාරයෙන් නිවාස හිමිකම් ඔප්පු ලබාදීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (20) කොළඹ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එම ඔප්පු ලබාදීම තුළින් ම කොළඹ නගරයෙන් කිසිවෙකුත් පිටමං නොකරන බවට පිළිගත හැකි සහතිකයක් ලැබී තිබෙන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

‘අනවසර පදිංචිකරුවන් කිසිවෙකු කොළඹින් පිටමං කරන්න කටයුතු කරන්නේ නැහැ. කොළඹ වාණිජ නගරයේ ආර්ථිකයේ කොටසක් මෙම අනවසර පදිංචිකරුවන් නියෝජනය කරනවා. ඒක නිසා කොළඹ ලස්සන නගරයක් බවට පත්කරන ගමන් එහි ජීවත්වන සියලු ම පවුල්වල ජීවිත ලස්සන කිරීමේ වගකීම ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන නාගරික සංවර්ධන අධිකාරිය හා අපේ අමාත්‍යංශය මඟින් ඉටුකරනු ලබනවා’.

කොළඹ පදික වේදිකාව මගීන්ට ලබාදෙන ගමන් ම එහි වෙළෙඳාම් කළ වෙළෙඳුන්ට වෙළෙඳාම් කිරීම සඳහා නිසි ස්ථාන ලබාදී තිබෙන බවත් සිංගප්පූරුව ලස්සන නගරයක් බවට පත් කළේ එහි ජීවත්වුණු පැල්පත් ජනතාව ඉන් ඉවත් කොට බවත් පැවසු අමාත්‍යවරයා කොළඹ ලස්සන නගරයක් බවට පත්කරන්නේ නගරයේ ජීවත්වන මිනිස්සුන්ගේ ද ජීවිත ලස්සන කරමින් බවද පැවසීය.

කොළඹ නාගරික බල ප‍්‍රදේශය ඇතුළු ව  තවත්  නාගරික බල ප‍්‍රදේශ 5කට බල පැවැත්වෙන පරිදි  විශේෂ අධිකාරියක් පාර්ලිමේන්තුව මඟින් ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් එහි ප‍්‍රධානියා ලෙස ජනාධිපතිතුමා පත්කරන නිලධාරියෙකු කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

DB