Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනාවාස සතියක් නම් කෙරේ

ජනාවාස සතියක් නම් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
MP_wimal_weerawansa

ඔක්තෝම්බර්  03 වැනි දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය වෙනුවෙන් සැප්තැම්බර් 27 දින සිට ඔක්තෝම්බර්  03 දක්වා ‘ජනාවාස සතියක්’ නම් කිරීමට රජය තීරණය කර තිබේ.

එම සතිය තුළ ඊට අදාළ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධාන කර තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


ඒ වෙනුවෙන් සංවිධාන කිරීමට නියමිත පොදුජන සේවා වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් වෙන්කර ඇති බවත් එහි දී අඩු පහසුකම් ජනාවාස ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වැඩි අවධානයක් යොමුකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ආදිවාසී ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සංස්කෘතියට ගැළපෙන පරිදි නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සංස්කෘතික  හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ සහයෝගය ඇති ව  ක‍්‍රියාකරන බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව මේ  මස 29 වෙනිදා ආදිවාසී ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන පළමු නිවාස ව්‍යාපෘතිය වාකරේ දී ආරම්භ කිරීමට නියමිතය.

ජනාවාස සතියට සමගාමී ව නාගරික අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන දරුවන්ට ඉතිරි කිරීමේ බැංකු ගිණුම බැගින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ප‍්‍රථමයෙන් ම ජනාවාස දරුවන් 2000කට එම බැංකු ඉතුරුම් ගිණුම්  ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මීට අමතර ව සහාධිපත්‍ය දේපළ කළමනාකරණය කිරීම ගැන පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත. මහල් නිවාස සංකීර්ණවල තාක්ෂණික ගැටලු විසඳීම සඳහා ජංගම සේවා සහ දිවයින පුරා පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත‍්‍රික් කාර්යාල මඟින් ද වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

‘2009 වසරේ දී නිවාස වැඩසටහන් වෙනුවෙන් යෙදවු මුදල රුපියල් ලක්ෂ 1550ක් වන අතර අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක ‘ජනසෙවණ’ නිවාස වැඩසටහන සඳහා 2011 වසරේ දී පමණක් මේ වන විට යොදවා තිබෙන මුදල රුපියල් ලක්ෂ 40,000 ඉක්මවා ඇත’.

ඉදිරි වර්ෂයේ දී ඊට වඩා වැඩි මුදලක් රටේ නිවාස සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට සැලසුම් සකස්කර තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

DB