Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ලෝක ළමා දිනට සමගාමී ව ළමා චිත්‍රපට සතියක්

ලෝක ළමා දිනට සමගාමී ව ළමා චිත්‍රපට සතියක්

  • පී.ඩී.එෆ් (PDF)

මෙම වසරේ ලෝක ළමා දිනට සමගාමී ව ළමා චිත්‍රපට සතියක් පැවැත්වීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් සිදුකරයි.

ලබන 26 වනදා සිට 30 වනදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි NFC සිනමා ශාලාවේදී පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව 26 වන දා සෝමරත්න දිසානායක මහතාගේ ‘බිංදු’ චිත්‍රපටය ද, 27 වන දා අශෝක හඳගම මහතාගේ ‘විදූ’ චිත්‍රපටය ද, 28 වන දා සෝමරත්න දිසානායක මහතාගේ ‘සිරි රජ සිරි’ ද, 29 වන දා ‘Rio’ ඉංග්‍රීසි චිත්‍රපටය සහ 30 වන දා සෝමරත්න දිසානායක මහතා‍ගේ ‘සරෝජා’ චිත්‍රපටය ද ප්‍රදර්ශනය කෙරේ.

ළමා නිවාසවල නේවාසික ව සිටින ළමුන් සහ තෝරාගත් පාසැල් කිහිපයක ළමුන් සඳහා මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඊට අමතර ව දිනකට දරුවන් 75 දෙනෙකුට තම භාරකරුවකු සමග පැමිණ මෙම චිත්‍රපට නැරඹීම සඳහා අවස්ථාව හිමි වේ. අධිකාරියේ ශ්‍රී ලංකා ළමා උපකාරක ‍දූරකතන අංකය වන 1929 වෙත ඇමතීමෙන් ඒ සඳහා ආසන වෙන්කරවා ගත හැකිය.

පෞරුෂත්වයෙන් පිරිපුන් ළමුන් බිහිකිරීම සඳහා ඔවුන්ගේ කායික මෙන්ම මානසික සංවර්ධනය සමබර ව පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වන අතර ළමුන්ගේ රසඥතා මට්ටම ප්‍රගුණ කිරීම සඳහා අත්වැලක් සපයන එක් ක්‍රමවේදයක් වන්නේ චිත්‍රපට කලාවයි.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 05:33