Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් යාපනයට නව සිතියමක්

යාපනයට නව සිතියමක්

  • පී.ඩී.එෆ් (PDF)


MP_BR_Jaffna_Mapජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය ශ්‍රී ලංකා මිනුම් දෙපාර්තමේන්තුව සමග එක් ව යාපනය දිස්ත්‍රික්කය සඳහා ‍නිර්මාණය කළ  ඩිජිටල් සිතියම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පිළිගැන්වීම ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය.

ජපාන තානාපති කුනියෝ තකහෂි මහතා විසින් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ නිලධාරීන් ඉදිරියේදී එම සිතියම ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.

පසුගිය වසරේ මැයි මාසයේ දී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඩිජිටල් සිතියම සැකසීම සඳහා මූලික එකඟතාවකට පැමිණි අතර මේ සඳහා ජපන් යෙන් මිලියන 616ක් ප්‍රදානය කිරීමට ජයිකා ආයතනය එකඟ විය.

උතුරු පළාත සඳහා පවතින සිතියම දස වසරකට වඩා පැරණි එකක් වන අතර පැවති යුද වාතාවරණය හේතුකොට ගෙන එම සිතියම යාවත්කාලීන කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකා මිනුම් දෙපාර්තමේන්තුව මඟින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ආධාර මත නිර්මාණය කරනු ලැබූ මෙම සිතියම ගුවන් ඡායාරූප උපයෝගී කරගෙන GIS තාක්ෂණයට අනුව නිර්මාණය කර ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා කෙටි කාලයක් තුළ තාක්ෂණික වශයෙන් වටිනාකමක් ඇති මෙවන් සිතියමක් නිර්මාණය කිරීම පිළිබඳ ව ජයිකා ආයතනයට හා ශ්‍රී ලංකා මිනුම් දෙපාර්තමේන්තුවට සිය ස්තූතිය පළ කළේය.

උතුරේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා මෙම සිතියම විශාල පිටිවහලක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාලය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා තමා එම ප්‍රදේශවල කාලය ගත කළ බවද, වැව් අමුණු සමීක්ෂණය කිරීමේ දී, වාරිමාර්ග සහ මහාමාර්ග කටයුතු සංවර්ධනය කිරීමේ දී මෙවැනි සිතියමක අවශ්‍යතාව දැඩි ව පැන නැගුණ බවද පැවසීය.

යාපනය දිස්ත්‍රික්කයේ භූගෝලීය තොරතුරු ඇතුළත් වන ආකාරයෙන් සිතියමක් සකස් කිරීම තුළින් එම ප්‍රදේශයේ සිදු කරනු ලබන සංවර්ධන හා පුනරුත්ථාපන වැඩකටයුතු සඳහා ඉමහත් පහසුවක් සැලසෙනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


DB

MP_BR_Jaffna_Map_1MP_BR_Jaffna_Map_2

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 11:25