Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් බණ්ඩාරනායක ගුණ සමරුව අද හොරගොල්ලේ දී

බණ්ඩාරනායක ගුණ සමරුව අද හොරගොල්ලේ දී

  • පී.ඩී.එෆ් (PDF)
swrd_Bandaranaike
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 52 වැනි ගුණ සමරුව නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී අද (26) පෙරවරුවේ පැවැත්වේ.

එයට සමගාමී ව සහ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ 11 වැනි ගුණ සමරුව සහ අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරුව ද අද එහිදී පැවැත්වේ.

1956 දී මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් කරමින් බලයට පත් වූ මහජන එක්සත් පෙරමුණු රජයේ නායකයා වූයේ බණ්ඩාරනායක මැතිතුමන්ය.

1899 ජනවාරි මස 08 වැනි දා උපත ලබා ගල්කිස්ස සාන්ත තෝමස් හා මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද බණ්ඩාරනායක මැතිතුමා වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් තේරී පත් විය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී එතුමා බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, විප්ලවකාරී සමසමාජ පක්ෂය හා භාෂා පෙරමුණ එක් ව ගොඩනැඟූ 1956 දී බලයට පත් මහජන එක්සත් පෙරමුණ, රාජ්‍ය පාලනයේ දී පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඓතිහාසික පියවර රැසක් ගනු ලැබිණි.

ශ්‍රමණ වෙසින් පෙනී සිටි අයකුගේ වෙඩි පහරින් 1959 සැප්තැම්බර් මස 26 වෙනිදා එතුමා අභාවප්‍රාප්ත විය.

බණ්ඩාරනායක අගමැතිතුමාගෙන් පසු ව දේශපාලනයට පිවිසි ලෝකයේ පළමු අග්‍රාමාත්‍ය ධූරයට පත් කාන්තාව ලෙස ඉතිහාසගත වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 11 වැනි ගුණ සමරුව ද අද හොරගොල්ල සමාධිය අසල දී පැවැත්වේ.

බණ්ඩාරනායක දෙපළගේ එක ම පුතනුවන් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක, විපක්ෂ නායක සහ අමාත්‍ය තනතුරු රැසක් හෙබ වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරුව ද අද එම ස්ථානයේ දී ම පැවැත්වෙන බව වාර්තා වේ.

මේ ගුණසමරු උළෙලට සර්ව ආගමික පූජක උතුමන් වහන්සේලා ද අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ද රජයේ මැති ඇමැතිවරුන් ද සහභාගිවීමට නියමිතය.