Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ ග්‍රන්ථය එළි දකී

‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ ග්‍රන්ථය එළි දකී

  • පී.ඩී.එෆ් (PDF)
Saddajeewa_himi

ඇමරිකාවේ නිව්යෝර්ක් ලෝන්ග් අයිලන්ඩ් විහාරයෙහි විහාරාධිකාරී පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් විසින් රචනා කරන ලද ‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ පර්යේෂණ ග්‍රන්ථය ඊයේ (25) සවස නුගේගොඩ, නාවල වික්‍රමසිංහාරාමයේ දී එළි දැක්විණ.

එහිදී ‘ළමයි හිතුවක්කාර වන්නේ ඇයි’ යන මැයෙන් සද්ධාජීව හිමියන්ගේ විශේෂ දේශනයක් පැවැත්වුණි. එහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ තම පර්යේෂණයන් අනුව පාසල් ළමුන්ගේ විනය බිඳ වැටීමේ පූර්ව ලක්ෂණ  අද වැඩි වශයෙන් දක්නට ලැබෙන නිසා එය වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බවයි. මෙම කෘතියේ ඇතුළත් සිද්ධීන් සියල්ල සත්‍ය සිදුවීම් වේ. මෙම බිඳ වැටීම් වත්මන් තාක්ෂණික වැඩීමත් සමඟ සමාජ ආර්ථික, දේශපාලනික වශයෙන් මෙන් ම විවිධ දාර්ශනික පැතිකඩ ඔස්සේ සිදුවන බව උන්වහන්සේ පෙන්වා දෙති.

සද්ධාජීව හිමියන් විසින් මීට පෙර කෘතීන් 5ක් එළි දක්වා ඇත.

මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් විසිනි. මෙහිදී පවුල තුළ දරුවන් තනි වී සිටීමත්, අන්තර්ජාලයට නතුවීමත් ළමා විනය බිඳ වැටීම සඳහා බලපාන බව අබේසුන්දරයන් අවධාරණය කළේය.

මේ උත්සවයට එක් ව සිටි කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසුවේ තම අත්දැකීම් අනුව දෙමාපියන් දරුවන් පිළිබඳ සොයා නොබැලීමත්, දරුවන් කුඩා කළ සිට අපට උරුම සාර ධර්මයන්ට හුරු නොකිරීමත් නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි.


මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත්, සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය ස්වර්ණලතා පෙරේරා, අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එන්.කේ. පුෂ්පකුමාර, විශාරද නන්දා මාලනී, චිත්‍රපට අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් යන මහත්ම මහත්මීන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගි වී සිටියහ.

Saku

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 09:12