Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදයි

  • පී.ඩී.එෆ් (PDF)
cmb_wall_painting_3

ලෝක සංචාරක දිනය සැමරීමේ ප‍්‍රධාන උත්සවය අද (27) කොළඹ බේරේ වැව ආශ‍්‍රිත කලාපයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ප‍්‍රධාන උත්සවයට අමතර ව එයට සමගාමී ව පළාත් සංචාරක අමාත්‍යාංශ සහ හෝටල් සංගම් නියෝජනය කරමින් දිවයිනේ සෑම පළාතක් ම ආවරණය වන පරිදි සැමරුම් උත්සව පැවැත්වීමට ද නියමිතය.

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සංචරණය මඟින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එහි වැදගත්කම පැහැදිලි කරයි.

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද, සංස්කෘතීන් සබැඳීම යන තේමාව යටතේ මේ වසරේ ලෝක සංචාරක දිනය අදට (27) යෙදී ඇත.

සංචරණයේ වටිනාකම හා එහි සංස්කෘතික වටිනාකම පිළිබඳ ව ජාත්‍යන්තර ප‍්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමත්, සංස්කෘතික විවිධත්වය පිළිබඳ ව අවබෝධාත්මක අත්දැකීම් ලබාගැනීමත් මෙම වසරේ තේමාව මගින් අවධානය යොමුකර ඇත.

සංචාරක කර්මාන්තය වෘත්තියක් ලෙස සිය වෘත්තීයමය සංවර්ධනය සඳහා සලකා බැලීමට තරුණ පිරිස් බලගැන්වීමත් එ මඟින් රටේ සංවර්ධනයට දායකවීමෙන් අවසානයේ ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමත් මෙම වසරේ ප‍්‍රධාන අවධානයට යොමු වී ඇති කරුණුය. මෙහි මූලික අදහස වන්නේ වෙනත් වෘත්තීන් හා සම ව පවතින සංචාරක කර්මාන්තයට සම්බන්ධ කරගැනීමට උනන්දු කරවීමත්, මේ පිළිබඳ ව රටේ අනාගත නායකයන් දැනුවත් කිරීම මෙන් ම බුද්ධි ගලනය අවම කිරීමත්ය.

ලෝක සංචාරක දිනයට සමගාමී ව කොළඹ මධ්‍යයේ පිහිටි බේරේ වැව අසල දී (උත්තරානන්ද මාවතේ සිට පෙරහැර මාවත දක්වා) සංචාරක කලාපයක් පැවැත්වීම මෙවර විශේෂත්වයකි. රෝඩ් ටු පැරඩයිස්  යන තේමාව යටතේ ක‍්‍රියාත්මක මේ සැමරුම් කලාපයේදී කිලෝමීටරයක් දිගින් යුත් චිත‍්‍රයක් පසුගිය 25 වැනි දා සිට බස්නාහිර පළාත් පාසැල් සිසුන්ගේ අතින් නිර්මාණය කෙරිණ. බස්නාහිර පළාතේ පාසැල් 110ක් නියෝජනය කරමින් සිසුන් 2000කට වැඩි සංඛ්‍යාවක් ඊට සහභාගී වන අතර “කොළඹ තාප්පය” ලෙස එය නම් කර ඇත. වේගයෙන් සංවර්ධනය වන කොළඹ නගරය අනාගත දරු දැරියන් දකින ආකාරය මේ දරුවන්ගේ අතින් සිතුවමට නැගීම විශේෂත්වයකි.

මීට අමතර ව රෝඩ් ටු පැරඩයිස් සංචාරක කලාපය දේශීය ආහාර වීදියකින් ද සමන්විත වේ. කොළඹ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය මෙරට සියලු සංස්කෘතීන්ට අයත් ආහාර රටා මෙම ස්ථානයේදී සැකසීමට කටයුතු සංවිධානය කර තිබේ. ලෝක සංචාරක දින තේමාව වන  ‘සංස්කෘතීන්ගේ බැඳීම‘ හා ඒකාබද්ධ කරමින් මෙම දේශීය ආහාර වීදිය ක‍්‍රියාවට නැංවේ.

ලෝක සංචාරක දිනයට සමගාමී ව අද උදෑසන සංචාරක ප‍්‍රවර්ධනයට අදාළ තේමා 8ක් මුල් කරගනිමින් මුද්දර 10ක් සහ ඡායාරූ තැපැල්පත් (Picture Postcards) 10ක් නිකුත් කෙරේ. ඒ අනුව රුපියල් 5 මුද්දර 4ක්, රුපියල් 15 මුද්දර 2ක් සහ රුපියල් 30, 35, 40 සහ 45 වටිනාකමින් යුත් ගුවන් ලිපි (Airmail) සඳහා මුද්දර හතරක් ද නිකුත් කිරීමට නියමිතය.

මීට අමතර ව 27-28 දෙදින සංචාරක හා හෝටල් ක්ෂේත‍්‍රයට අදාළ වෘත්තීය පුහුණු වැඩසටහන් රැසක් පාසැල් සිසුන් හා තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් රෝඩ් ටු පැරඩයිස් සැමරුම් කලාපයේදී ක‍්‍රියාත්මක වනු ඇත. අද හා හෙට දිනවල සවස විශේෂ සංස්කෘතික ප‍්‍රසංග ද ලෝක සංචාරක දිනයට සමගාමී ව පැවැත්වේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන් ක‍්‍රියාවට නංවනු ලබන අතර තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සංචාරක ක්ෂේත‍්‍රයට අදාළ ආයතනය රැසක දායකත්වය ඊට හිමි ව තිබේ.

මේ වසරේ ලෝක සංචාරක දිනය, ක්ෂේත‍්‍රයට අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ එකමුතුවෙන්  දිවයිනේ සියලු පළාත්වල විවිධ ක‍්‍රියාකාරකම් සමඟින් උද්යෝගිමත් ව සැමරීමට කටයුතු යොදා තිබීම මෙවර ලෝක සංචාරක දිනයේ තවත් විශේෂත්වයකි.

සමස්ත දිවයින ම ආවරණය වන පරිදි මෙවර ලෝක සංචාරක දිනය සැමරීම විශේෂත්වයකි. මෙම ක‍්‍රියාකාරකම් තෝරාගැනීමේ දී මානව සම්පත් සංවර්ධනය වැනි අංශ පිළිබඳ ව වැඩි අවධානයක් යොමුකර ඇත. සංචාරක දිනයේ තේමාව වන සංස්කෘතීන් එක්කිරීම වැනි වැඩසටහන්වලට අමතර ව දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි තරුණ පිරිස් සහ පාසල් දරුවන් අනාගත සංචාරක කර්මාන්තයේ පවතින අවස්ථා පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

saku