අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
පසුගියදා පැවති දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සමරු උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ හා විවිධ පක්ෂවල පිරිස් පැමිණ සිටි බවත් එය දෙව්දත් නිකායේ පිරිසක් දෙව්රම් වෙහෙරට පැමිණියා වගේ දෙයක් බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය, සභා නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ අද (28) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා ජාතික වශයෙන් මෙන් ම ප්‍රාදේශීය වශයෙන් ද බණ්ඩාරනායක ගුණ සමරු උත්සව පැවැත්වූණා. පසුගියදා හොරගොල්ලේ පැවති ගුණ සමරු උත්සවයේ දී අමුතු සිද්ධියක් වුණා. මෙතෙක් කලක් පැවති බණ්ඩාරනායක ගුණ සමරු උත්සවවලට එක්සත් ජාතික පක්ෂයෙන් සහභාගී වුණේ නැහැ. නමුත් මේ සැරේ එජාප පිරිස් ද පැමිණි සිටි බව සඳහන් කළේය.
බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ නායකයින් සිටි එජාපයේ පිරිස් අද බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ වැඳ වැටී පටු දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ දරන බව පැවසූ ඒ මහතා මෙම සමාධිය දේශපාලන වාසි ලබා ගන්නා වේදිකාවක් නොවන බව අවධාරණයෙන් ප්‍රකාශ කළේය.
NDH