Friday, Oct 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් තෙත් බිම් විගණනයට පරිසර අධිකාරිය සැරසෙයි

තෙත් බිම් විගණනයට පරිසර අධිකාරිය සැරසෙයි

  • පී.ඩී.එෆ් (PDF)
Charitha_Herath

තෙත් බිම් විගණනය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ ව අවධානය යොමු වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා පවසයි.

වසර 2012 පෙබරවාරි 02 වැනි දිනට යෙදී තිබෙන ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන ''තෙත් බිම් නැණ පැන'' දීප ව්‍යාප්ත පාසල් ප්‍රශ්න විචාරාත්මක  වැඩසටහන පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය. මාධ්‍ය සාකච්ඡාව අද (28) බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

තෙත් බිම් ආරක්ෂා කිරීම වනයක් ආරක්ෂා කිරීම තරම්ම වැදගත්. මේ සඳහා අලුත් කථිකාවකට යා යුතු ව තිබෙනවා.තෙත් බිම් සංරක්ෂණය කරන්නන් ආරක්ෂා කිරීමට ද කටයුතු කළ යුතුයි යන අදහස මධ්‍යම පරිසර අධිකාරියට තිබෙනවා.

අද පරිසර සංරක්ෂණය හා කළමනාකරණය දේශපාලන බලය වෙනස් කරන ප්‍රධාන සාධකයක් බවට පත්වෙලා. මුළු ලෝකය ම පරිසර කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කරන අනිවාර්ය කරුණක් බවට පත් වී ඇතැයි ද හේරත් මහතා පැවසී ය.

ලෝක මට්ටමින් තෙත්බිම් සුරැකීම උදෙසා ගත් ඓතිහාසික රැම්සා තීන්දුවත් සමඟ ශ්‍රී ලංකාවේ බූන්දල තෙත් බිම ප්‍රථම රැම්සා තෙත් බිම වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි. අද මෙරට ආනවිලුන්දාව, මාදු ගඟ, වන්කාලෙයි සහ කුමන තෙත්බිම් සංරක්ෂිත තෙත් බිම් ලෙස ගැසට් කර ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

තෙත් බිම් නැණ පැන පාසල් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා පාසල් 2800ක් නියෝජනය වන පරිදි අධ්‍යාපන කලාප, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් තරඟ පැවැත් වේ. සෑම පාසලකින් ම 10 වසරේ සිට 13 වසර දක්වා නියෝජනය වන පරිදි එක් පාසලකින් එක් සිසුවියක හෝ සිසුවෙකුට සහභාගි විය හැකිය.

මින් ජාතික මට්ටමින් ජයගන්නා තරගකරුවන්ට ලබන වසරේ පෙබරවාරි මස 02 දින මධ්‍යම පරිසර අධිකාරියේ පැවැත්වෙන ලෝක තෙත්බිම් දින සැමරුම් උත්සවයේ දී ත්‍යාග හා සහතික පත් පිරිනැමීම සිදු කෙරේ. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය සිලෝන් බිස්කට් සමාගම විසින් ලබාදෙනු ඇත.

මෙ අවස්ථාවට සිලෝන් බිස්කට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) නදීප කරුණාතිලක, ජ්‍යෙෂ්ඨ වෙළෙඳ නාම කළමනාකාර නිලුපුල් ද සිල්වා, මධ්‍යම පරිසර අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රා මුතුකුඩ ආරච්චි, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. රත්නායක  යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

PR