Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ජාත්‍යන්තර ළමා දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් කොළඹ දී

ජාත්‍යන්තර ළමා දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් කොළඹ දී

  • පී.ඩී.එෆ් (PDF)

"මේ දරු කාගේ- නුඹගේ අපගේ- සුරකිමු රට දැය වාගේ"
2011 වසරේ ජාත්‍යන්තර ළමා දින ජාතික සැමරුම් උත්සවය ලබන 01 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය නිල පුවත් වෙබ් අඩවියට දැනුම් දෙයි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහත්වරුන්ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය විසින් සංවිධාන කටයුතු සිදු කරනු ලබන මෙම සැමරුම් උත්සවයේ තේමාව වන්නේ "මේ දරු කාගේ- නුඹගේ අපගේ- සුරකිමු රට දැය වාගේ" යන්නයි.

ජාතික උත්සවයට සමගාමී ව එදින ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවයට පාසල් ළමුන් 1000ක් පමණ සහභාගී වනු ඇත. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, තානාපතිවරු හා ළමා සංවර්ධන ක්ෂේත්‍රයේ සේවා සපයන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නියෝජිතවරුන්, විදුහල්පතිවරු, ගුරුවරු හා දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

ළමා දිනය නිමිති කර ගෙන ළමුන් වෙනුවෙන් ජාතික ළමා ගීතයක් හා ළමා කොඩියක් හඳුන්වාදීම මෙවර සිදු වන විශේෂ අවස්ථාවක් වන අතර මෙවර ද ළමා දින සැමරුම් මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු කෙරේ. මෙම සමරු මුද්දරයේ අන්තර්ගත කරන්නේ පාසල් සිසුන් අතර තරගයක් පවත්වා එයින් තෝරා ගත් චිත්‍රයකි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය හා විද්වත් පුද්ගලයින්ගේ ළමා කාලය අළලා සැකසූ ග්‍රන්ථයක් එළි දැක්වීම ද මෙදින සිදු කරන අතර  වර්තමාන ජනාධිපතිතුමාගේ හා තවත් විද්වත් පුද්ගලයින් 41 දෙනෙකුගේ තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.

'පිපි තඹරණ' යනුවෙන් නම් කර ඇති මේ කෘතියට පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, අර්නස්ට් පෝරුතොට පියතුමන්, මුත්තයියා මුරලිදරන්, සුසන්තිකා ජයසිංහ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, මාලනී ෆොන්සේකා, නන්දා මාලනී, ඊවා ජයසුන්දර, සෝමවීර සේනානායක, සෝමා කොටකදෙනිය ඇතුළු තවත් පිරිසකගේ ළමා කාලය පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

ළමා දින ජාතික සමරු දේශනය සිදු කරනු ලබන්නේ ආචාර්ය චාරිකා මාරසිංහ මහත්මිය විසිනි. ළමා ලෝකයේ සුන්දරත්වය, අවිහිංසක බව, අව්‍යාජ බව, සතුට, සිනහව, උත්සාහය, ධෛර්යය හා උදාර බව විදහාපාන අපේ රටේ දරුවන්ගේ ඡායාරූප ඇතුළත් ග්‍රන්ථයක් "අපි අනාගතයට ආදරය කරමු" (We Love Our Future) යනුවෙන් නම් කර ඇති අතර ජාත්‍යන්තර වශයෙන් බෙදාහැරීමට ද කටයුතු සැලසුම් කර ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.

NDH