Friday, Jul 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් මේ වසරේ දී ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට

මේ වසරේ දී ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට

  • පී.ඩී.එෆ් (PDF)
mitripala_sirisena-

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පත මේ වසර තුළදී ම පාර්ලිමේන්තුවට ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මීට අමතර ව වැදගත් කරුණු රාශියක් අඩංගුවන තවත් පනත් හතක් සංශෝධනය කිරීම් ඉදිරි මාස තුන ඇතුළත සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව හෙළි කළේ අද (30) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ  පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට සම්බන්ධ ව ඖෂධ ප්‍රතිපත්තියක් ගෙන ඒම මහින්ද රාජපක්ෂ රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර මේ වනවිට අදාළ කෙටුම්පත් නීති කෙටුම්පත් දෙපර්තමේන්තුවේ සකස් කර අවසන් බව කීය. ඒ අනුව පනත මඟින් ඖෂධ අධිකාරියක් පිහිටු වේ.

සංශෝධනය වන පනත් පිළිබඳ ව කරුණු පැහැදිළි කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය, දුම්පානය, මද්‍යසාර සඳහා දැනට ඇති නීතී දැඩි කිරීමට පියවර ගන්නා බව කීය. මේ පිළිබඳ ව සිදු කරන දැන්වීම්වලදී මේවා භාවිත කිරීමේ දී මහජනතාව ඍජු ව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇතුළත් කෙරේ.

එමෙන් ම මදුරු මර්දන පනත සංශෝධනය කෙරෙන අතර නඩු පැනවීමේ කාලය දින හතේ සිට දින 3 දක්වා කාලයකට අඩු කෙරෙන බව පැවසී ය.

මෙම නීති මහජනතාවගේ යහපත සඳහා සිදු කෙරෙන බවත් පෞද්ගලික රෝහල් නියාමන සභාව පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් එමඟින් පෞද්ගලික රෝහල්වල ඇතැම් කටයුතු පාලනය කිරීමට හැකි බව ද පැවසී ය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රජය විශාල මුදල් සම්භාරයක් ආයෝජනය කරන බව පැවසී ය.
PR