Friday, Jul 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් විද්‍යුත් සංචරණ අනුමැතිය ගැන තානාපතිවරු දැනුවත් කෙරේ

විද්‍යුත් සංචරණ අනුමැතිය ගැන තානාපතිවරු දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
3

ආගමන වීසා සඳහා “විද්‍යුත් සංචරණ අනුමැතිය” (Electronic Travel Authorization - ETA) ලබා දීමේ ක‍්‍රමවේදය පිළිබඳ ව තානාපතිවරුන් දැනුවත් කිරීම අද (30) පෙරවරුවේ ගෝල් ෆේස් හෝටලයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙය කෙටිකාලීන අවශ්‍යතාවන් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා ශ‍්‍රී ලංකාව හරහා ගමන් කරන විදේශීය ජාතිකයන් උදෙසා අන්තර්ජාලය ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබා දීමේ නව ක‍්‍රමවේදයකි.

ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා විසින් අදාළ නව ක‍්‍රමවේදය පිළිබඳ ව අදහස් දක්වමින් කියා සිටියේ මෙය සංචාරකයින්ගේ කටයුතු පහසු කිරීමක් පමණක් නො ව ඔවුන්ට කරන ආදරණීය ඇරයුමක් බවයි. එනම් ලොව පිළිගත් මෙවන්  පහසු ක්‍රමවේදයන් නිසා ශ්‍රී ලංකාවට ඇදී එන පිරිස වැඩිවන බව ඒ මහතාගේ අදහසයි.

ශ්‍රී ලංකා සංචරණයේ සභාපති නාලක ගොඩහේවා මහතා; ‘අප සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා නිතර ම කැපවන අතර මෙවැනි ප්‍රායෝගික ක්‍රමවේදයන් වෙත යොමුවීම සංචාරක ඉලක්ක සපුරා ගැනීමට පමණක් නො ව නවීන ලෝකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉදිරියට ගෙන යෑමටත් වැදගත් වන බව‘ පැවසීය.

සංචාරක කටයුතු, වෛද්‍ය ප‍්‍රතිකාර, ක‍්‍රීඩා තරග නැරඹීම, සංස්කෘතික සංදර්ශන නැරඹීම, ව්‍යාපාරික සමුළු හා සාකච්ඡා, පුහුණු වැඩසටහන් සහ සම්මන්ත‍්‍රණවලට සහභාගී වීම වැනි කෙටිකාලීන අවශ්‍යතා සඳහා පැමිණෙන ඕනෑ ම විදේශීය ජාතිකයෙකුට නියමිත ගාස්තු ගෙවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති www.eta.gov.lk යන අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ විද්‍යුත් සංචරණ අනුමැතිය ඉල්ලුම් කළ හැකිය.

මේ පිළිබඳ මූලික තොරතුරු ජාත්‍යන්තර භාෂා 09කින් ලබා ගත හැකිය. අයදුම් පත‍්‍රය යොමු කළ යුත්තේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණකි. අයදුම් පත‍්‍රය යොමු කිරීමට ක‍්‍රමවේදයන් 06ක් හඳුන්වා දී ඇත. අයදුම්කරු විසින්, අයදුම්කරු වෙනුවෙන් තෙවන පාර්ශ්වයක් මඟින්, ලියාපදිංචි කර ඇති නියෝජිත ආයතනයක් මඟින්, ශ‍්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාලයක් මඟින් හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය මඟින් හෝ ඉහත ක‍්‍රමවේදයන් මඟින් පූර්ව අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී පැමිණි විදේශිකයෙකුට එම අය ගොඩ බසින ලද ශ‍්‍රී ලංකාවේ තොටුපොළේ ස්ථාපිත කර ඇති කවුළුවකින් හෝ අයදුම්පතක් ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා පූර්ව අනුමැතිය ලබා ගත හැකි බව ද මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

මේ අවස්ථාවට විදෙස් තානාපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වී සිටියහ.

saku

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 10:23