Monday, Nov 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ලෝක ළමා හා වැඩිහිටි දිනය අද

ලෝක ළමා හා වැඩිහිටි දිනය අද

  • පී.ඩී.එෆ් (PDF)
world_childrens_day

අදට (01) යෙදී තිබෙන ලෝක ළමා හා වැඩිහිටි දිනය ලොව පුරා සියලු රටවල උත්කර්ෂවත් ව සැමරෙයි.

ශ්‍රී ලංකාවේ ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

මෙම සැමරුම් උත්සවයේ තේමාව වන්නේ ‘මේ දරු කාගේ- නුඹගේ අපගේ - සුරකිමු රට දැය වාගේ’ යන්නයි.

‘වැඩිහිටි ලෝකය එළිය කරමු’ යන තේමාවෙන් මෙවර ජගත් වැඩිහිටි දිනය ශ්‍රී ලංකාව අද සමරයි.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද (01) උදේ 9.00 ට සමාජ සේවා ඇමැති ෆිලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ දී පැවැත්වේ.


අරලියගහ මැඳුරේ පැවැත්වෙන ළමා දින ජාතික සැමරුම් උත්සවයට පාසල් ළමුන් 1000ක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, තානාපතිවරුන් හා ළමා සංවර්ධන ක්ෂේත්‍රයේ සේවා සපයන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නියෝජිතවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමාපියන් ද සහභාගි වීමට නියමිතය.

ජාතික උත්සවයට සමගාමී ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයින පුරා වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කෙරේ.

ළමා දිනය නිමිති කරගෙන ළමුන් වෙනුවෙන් ජාතික ළමා ගීතයක් හා ළමා කොඩියක් හඳුන්වාදීම මෙවර ඇති විශේෂත්වයකි. තව ද ළමා දින සැමරුම් මුද්දරයක් නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇත.

මෙරට ජනප්‍රිය හා විද්වත් පුද්ගලයන්ගේ ළමා කාලය අළලා සැකසූ ‘පිපි තඹරණ’ නම් වූ ග්‍රන්ථය එළිදැක්වීම ද අද සිදුකෙරේ. වර්තමාන ජනාධිපතිතුමාගේ හා තවත් විද්වත් පුද්ගලයන් 41 දෙනෙකුගේ තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.

මේ අතර බරපතළ අවදානමට ලක්විය හැකි ළමුන් සිටින පවුල් හඳුනාගැනීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ද සිදුකෙරෙන අතර පාසල් නොයන හා කඩින් කඩ පාසල් යන දරුවන් පාසල්ගත කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කුඩා දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනය සඳහා දෙමාපිය කාර්යභාරය යන මැයෙන් දෙමාපියන් හා දරුවන් රැකබලා ගන්නවුන් දැනුවත් කිරීමක් ද සිදු කෙරේ.

KMB