Saturday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

අබලන් දුම්රිය අපේ තාක්ෂණයෙන් පණ ලබයි

  • පී.ඩී.එෆ් (PDF)
Image

වසර 06කට ආසන්න කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ ප්‍රංශයේ නිෂ්පාදනය කළ එම්. 9 වර්ගයේ  දුම්රිය එන්ජින් දේශීය විද්‍යාඥයන්ගේ හා ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් නැවත පණ ගැන්වීමට හැකි වී තිබේ.

 

දුම්රිය දෙපාර්තමේන්තුව සතු අක්‍රීය දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවේ දී ම අලුත්වැඩියා කිරීම පිළිබඳ සිදු කළ තාක්ෂණික හා ඉංජිනේරුමය කාර්යභාරය පිළිබඳ ව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යන අමාත්‍යවරුන්ගේ උපදේශකත්වය යටතේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා කාර්මික හා තාක්ෂණ ආයතනය යන ආයතනවල විද්‍යාඥයන් හා ඉංජිනේරුවන්ගේ එකමුතුවෙන් මෙය සිදු කෙරිණි.

කිසිදු විදේශීය තාක්ෂණික උපදේශයකින් තොර ව මෙවැනි දුම්රිය එන්ජිමක් යළි පණ ගැන්වීම මෙරට තාක්ෂණික ඥානයෙන් ම සිදු කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

වසර 2000 දී  ALSTOM (AD32c) වර්ගයේ  දුම්රිය එන්ජින් 10ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර  එක් දුම්රිය එන්ජිමක් සඳහා රුපියල් මිලියන 200ක් පමණ වැය වී තිබේ. ඉන් එන්ජින් 07ක් පරිගණක දෝෂ හේතුවෙන් පසුකාලීන ව ධාවනයෙන් ඉවත් කිරීමට සිදු විය.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට, රටට විශාල මුදලක් ඉතිරි කර දීමට සමත් වූ බව එම අවස්ථාවට එක් වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.

මේ අවස්ථාවට සහභාගී වූ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ, මෙය ඉතා ඉහළ මට්ටමෙන් සිදු කළ තාක්ෂණික ක්‍රියාවක් බවයි. ඒ අනුව ඉදිරියේ දී මෙවැනි අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අනුව, ඉදිරියේ දී මෙම එන්ජින් ධාවනයට යොදාගත හැකි යැයි ප්‍රකාශ කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ආරියරත්න මහතා, තවත් මෙවැනි ම එන්ජින් 02ක් නැවත පණ ගැන්වීමට ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සමඟ කටයුතු කරමින් සිටින බවත් ඉදිරි මාස 06 ඇතුළත මෙය එන්ජින් 08ක් දක්වා වර්ධනය කර ගත හැකි බව ද පැවසීය.

PR