Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

දිවංගත රාජ නීතීඥ එච්. නිශ්ශංක මහතාගේ ගුණ සැමරේ

  • පී.ඩී.එෆ් (PDF)

පාට, පක්ෂ, කුල හා පංති භේද පසෙකලා සියලු දෙනා එක් ව මාතෘභූමිය ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට එක් ව කටයුතු කිරීම සැමගේ වගකීම බවත් එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ශ්‍රී නිශ්ශංක, ඩී. ඒ.රාජපක්ෂ, පිලිප් ගුණවර්ධන  වැනි නායකයින් බලාපොරොත්තු වූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට අප බැඳී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිවංගත රාජ නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 57 වන ගුණානුස්මරණ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති තුමා එසේ පැවසීය. මෙම සැමරුම් උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද (26) වැල්ලවත්ත, මායා මාවතේ යමුනා සදහම් ආරාමයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා බුද්ධ සාසනයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සිදු කළ අමරණීය යුග මෙහෙවර සමරනු වස් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිතුමා; මෙය මේ රටේ සිටිය රට ගැන ජාතිය ගැන කැක්කුමකින් කටයුතු කළ පරිත්‍යාගශීලී නායකයකුගේ ගුණ සමරන අවස්ථාව. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟන්න මූලික සාකච්ඡා සිදු කළේ මෙම ස්ථානයේ දී යි.

‘අප පිදිය යුත්තන් පිදිය යුතුයි. සැලකිලි ලැබිය යුත්තන්ට අපි සැලකීම් දැක්විය යුතුයි. අප එසේ කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්, ඔවුන් සමාජයට ආදරය කරන පිරිසක් බවට පත් කිරීමට.

එක් යුගයක මේ රටේ සිංහලකම, බෞද්ධකම, ඒකීය රටක් කියන්නට නොහැකි යුගයක් තිබුණා. අද ඒ යුගය පසු කර අවසන්. එදා මේ රටේ විශාල බලවේග එකතු කරන්නට හැකි වුණා. එදා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම ආරම්භ කර තිබෙනවා. ඒ ඉදිරි ගමන වළක්වන්නට කිසිවෙකුටත් බැහැ.

මෙරට ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර බලවේගවලට යට නො වී ඉදිරියට ගෙන සමාජයට අද හැකි වී තිබෙනවා. රට නිදහසින් පසු රටේ ජනතාව සැපවත් කරන  දුප්පත්කම දුරුකර රට සංවර්ධනය කිරීමේ වගකීම තිබෙනවා. රට සංවර්ධිත රටක් බවට පත් කරන්නට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

තුන් මහල් ගුණානුස්මරණ භාවනා මන්දිරයක් සඳහා මුල්ගලතැබීම  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු විය.

එ මෙන් ම වැල්ලවත්ත, ''මායා මාවත''   ''රාජ නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක මාවත'' නමින් නම් කරනු ලැබීය. සමරු දේශනය හිටපු පාර්ලිමේන්තු මහලේකම් සෑම් විජේසිංහ මහතා විසින් සිදු කරන ලදී.

මේ අවස්ථාවට අමරපුර මහ නිකායේ අඹගහපිටිය පාර්ශවයේ මහනායක ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය හීනටියන නන්ද තිස්ස හිමිපාණන්, අතිපූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය ද  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් ද ශ්‍රී නිශ්ශංක සමරු පදනමේ සභාපති උදාර විජයමුණි සොයිසා යන මහත්වරු ඇතුළු  හිටපු රාජ නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ පවුලේ සාමාජිකයින්  සහ සමරු පදනමේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

PR