Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

  • පී.ඩී.එෆ් (PDF)
emergency_release_parli
emergency_release_parli_1


ප්‍රජාතන්ත්‍රවාදී ව රටේ ඉදිරි කටයුතු සාමාන්‍ය නීතිය යටතේ පවත්වා ගැනීමට හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ  අද (25) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රටේ පාලන කටයුතු සඳහා හදිසි නීතියේ අවශ්‍යතාවක් මේ වන විට නොමැති බවට සෑහීමකට පත් වී ඇති නිසා මෙම යෝජනාව ගෙනෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා 1983 කළු ජූලිය සමඟ රටේ පූජනීය ස්ථාන, ජන ජීවිත හා  දේපොළ  විනාශ කිරීම් මඟින් එල්ටීටීඊ ය ප්‍රවේශ වූ ත්‍රස්තවාදය හේතුවෙන් හදිසි නීතිය මත රට පාලනය කිරීමට අවාසනාවන්ත පරිසරයක් ගොඩනැගුණු බවද ප්‍රකාශ කළේය.

2010 වන විට ආර්ථික වර්ධන වේගය 8%ක් දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව පැවසු ජනාධිපතිතුමා සංචාරකයන්ගේ පැමිණීම ද මේ වන විට වර්ධනය වී ඇති බව කීය.

2009 වසර මැයි මාසයේ දී ත්‍රස්තවාදී ක්‍රියා අවසන් වීමෙන් පසු මේ දක්වා කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් රටේ වාර්ත‍ා වී නොමැත. එම කාලය තුළ මැතිවරණ කිහිපයක් ම පවත්වා ඇති අතර එම මැතිවරණයන් ඉතා සාමකාමී හා  සාධාරණ බවට සමාජය පිළිගෙන තිබෙන බවද ජනාධිපතිතුමා පැවසීය.

'ඒ නිසාම පසුගිය කාලය තුළ  හදිසි නීතියේ විවිධ කොන්දේසි ඉවත් කරමින්  අපේ සමාජය සාමාන්‍ය පරිපාලනයකට ගෙන ඒමට අප සමත්වී තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා වාර්තා නොවන බව පිළිගෙන තිබෙනවා. එපමණක් නොව ත්‍රස්තවාදීන් පෝෂණය කරන මුල්‍ය ගනුදෙනු, භාණ්ඩ  හුවමාරු කිරීම්, මත්ද්‍රව්‍ය, මුල්‍ය හා බැංකු ක්ෂේත්‍රවල අවදානම් වළක්වාගත හැකි ජාත්‍යන්තර ව පිළිගනු ලබන නීති රීති රාශියක් ද අප විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට අමතර ව  එම නීති රීති මඟින් ත්‍රස්තවාදය ඇති වීමට ඇති ඉඩප්‍රස්ථා වළක්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගෙන පාර්ලිමේන්තුව මඟින් සම්මත කරගෙන ඇති නීති රීති මඟින් නීතිය හා සාමය රැකීමට අපේ රජයට හැකිවී තිබීම ගැන සඳහන් කරන්නේ ඉතා ආඩම්බරයෙන්’

වසර ගණනකට පසු ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීම අපේ වගකීමක් වන බවත්, නීතිය අතට ගනිමින් අවිචාරාත්මක ලෙස ක්‍රියාත්මක වන්නන්ට රටේ නීතිය තුළ කිසිදු ඉඩක් ඇති නොවීමට රාජ්‍ය පරිපාලනය හා පොලීසිය සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වීම ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ප්‍රකාශ කළ ජනාධිපතිතුමා
ඒ ජයග්‍රහණය මේ රටට ලබා ගත හැකි වූයේ වීරෝදාර රණවිරුවන් දැඩි වු කැපවීමෙන් මානුෂීය මෙහෙයුම අවසන් කළ නිසා මෙන් ම ඒ සඳහා මේ රටේ ජනතාව ඉවසිලිවන්ත ව පරිත්‍යාගශීලී ව කටයුතු කළ නිසා බවත් පැවසීය.

‘වසර ගණනාවක පටන් සෑම මාසයක ම හදිසි නීතිය සම්මත කළා. ඇතැම් අය එයට විරුද්ධව ඡන්දය දෙනු ලැබුවා. ඇතැම් අය ඡන්දය දීමෙන් වැළකී සිටියා’.

ප්‍රථම වරට ත්‍රස්තවාදී බලපෑම්වලින් තොර ව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපේ රටේ පවත්නා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපට අවස්ථාවක් ලැබී තිබෙනවා යැයි පැවසූ ජනාධිපතිතුමා ඒ නිසා එම අවස්ථාව මේ රටට උදාකර දෙන ලෙස මේ රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ දී නැගී සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ ව කළ ප්‍රකාශයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් එය හොඳ ආරම්භයක් වනු ඇතැයි ද තමා විශ්වාස කරන බවත් පැවසීය.

DB