Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති සාර්ථක සංචාරයකින් පසු ජනපති යළි දිවයිනට

සාර්ථක සංචාරයකින් පසු ජනපති යළි දිවයිනට

  • පී.ඩී.එෆ් (PDF)
A_HE_mahinda_rajapakse

එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නිව් යෝර්ක් නුවර බලා පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දූත පිරිස සාර්ථක නිල සංචාරයකින් පසු අද (27) අලුයම දිවයිනට පැමිණියහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පසුගිය 19 වැනි දා දිවයිනෙන් පිටත් ව ගියේය.

මෙවර 66 වන මහා මණ්ඩල සැසිවාරය රටවල් 193ක රාජ්‍ය නායකයින් හා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 21 වැනි දා සිට 24 දක්වා නිව් යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්විණි.

සමුළුවට සහභාගී වීම සඳහා ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපොළට ළඟා වූ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගන්නා ලදී.

20 වැනි දා නිව්යෝර්ක් නුවර පැවැති ක්ලින්ටන් ගෝලීය සැසිවාරයට ජනාධිපතිතුමා සහභාගී වූ අතර, ඇමරිකානු එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා  ජනාධිපතිතුමාගේ පැමිණීමට ප‍්‍රසාදය පළ කරමින් ඉතා සුහද ව පිළිගන්නා ලදී.

අනතුරු ව ජනාධිපතිතුමා එදින පස්වරුවේ කිරිගිස්තාන් ජනාධිපති රෝසා ඔටුන්බයේවා (Roza Otunbayeva) මහත්මිය, ස්ලෝවේනියා ජනාධිපති ආචාර්ය ඩැනිලෝ ටර්ක් (Dr. Danilo Turk) නයිජීරියා ජනාධිපති ගුඩ්ලක් ජොනතන් (Dr. Danilo Turk) යන රාජ්‍ය නායක නායිකාවන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

එදිනම දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්  ඕ. බ්ලේක් මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වී සාකච්ඡාවක නිරත විය.

21 වන දින ජනාධිපතිතුමා නේපාල අගමැති ආචාර්ය බාබුරාම් භට්ට‍්‍රායි (Dr. Baburam Bhattarai) මැතිතුමා, කොළොම්බියා ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටොස් කැල්ඩරොන් (Juan Manuel Santos Calderon) මැතිතුමා, ඉරාන ජනාධිපති මහ්මුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) මැතිතුමා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

22 වන දින ජනාධිපතිතුමා තවත් රාජ්‍ය නායකයින් තිදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය. ඒ අතර, කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ශික් හමාඩ් බින් කලිෆා (Sheikh Hamad Bin Khalifa) මැතිතුමා, උගන්ඩා උප ජනාධිපති එඩ්වඩ් සෙකන්ඩායි (Edward Ssekandi) මැතිතුමා සහ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් (Mahmoud Abbas) මැතිතුමා යන රාජ්‍ය නායකයින් විය.

ශ‍්‍රී ලංකාව වර්තමානයේ අත්පත් කර ගෙන තිබෙන ආර්ථික ජයග‍්‍රහණ පිළිබඳවත්, රට තුළ ක‍්‍රියාත්මක දැවැන්ත සංවර්ධන වැඩසටහන් පිළිබඳවත්, ශ‍්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින වෙළෙඳ හා ආයෝජන අවස්ථා පිළිබඳවත්, උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ ප‍්‍රගතිය පිළිබඳවත්, අභ්‍යන්තර අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ සාර්ථකත්වය පිළිබඳවත් ජනාධිපතිතුමා, එම සාකච්ඡාවල දී මේ රාජ්‍ය නායකයින් දැනුවත් කළේය.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාව අත්පත් කර ගෙන තිබෙන ජයග‍්‍රහණ පිළිබඳ ව මෙම රාජ්‍ය නායකයෝ ජනාධිපතිතුමාට සිය ප‍්‍රසාදය පළ කර සිටියහ.

මෙම සංචාරයේ දී නව රාජ්‍යයන් රැසක් සමඟ මිත‍්‍ර සබඳතා ඇති කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හැකි විය.

23 වැනි දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ජනාධිපතිතුමා හුදෙක් ශ‍්‍රී ලංකාව පිළිබඳ ව පමණක් නො ව සමස්ත සංවර්ධනය වෙමින් පවතින රටවල ආරක්‍ෂාව පිළිබඳ ව සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු කරමින් කාලීන දේශනයක් පැවැත්වීය.

ත‍්‍රස්තවාදයට එරෙහි අරගලය මෙන් ම සාමය සඳහා වූ සටන ද ඉතා වැදගත් මෙන් ම දුෂ්කර කාර්යයක් බව එහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදයෙන් එල්ල වන තර්ජනයන්ට ඉතා ම ධනවත් හා බලගතු ජාතීන් පවා ගොදුරු විය හැකි බැවින් ව්‍යාජ සංවිධානවල වෙස් මුහුණු පැළඳ ගෙන නිරතුරු ව කටයුතු කරන ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලට නීත්‍යානුකූල බව පිරිනැමීම ත‍්‍රස්තවාදීන්ට පහසුකම් හා ධෛර්යය සැපයීමක් බව ද පෙන්වා දුන්නේය.

සමුළුව ඇමතීමෙන් අනතුරු ව එදින පස්වරුවේ ජනාධිපතිතුමා ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. දෙරටට මෙන් ම කලාපීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් මෙහිදී නායකයින් දෙපොළගේ අවධානයට යොමු විණි.

සමුළුවට සහභාගී වූ මාල දිවයින් උප ජනාධිපති මොහොමඩ් වහීඩ් හසන් මැතිතුමා  සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කළහ.

මෙහිදී කමලේෂ් ශර්මා මහතා තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව පිළිබඳ ව ජනාධිපතිතුමා සමග කරුණු සාකච්ඡා කළේය.

24 වන දින ඇමරිකානු එක්සත් ජනපද කොංග‍්‍රස් සභිකයින් වන කැරොලීන් බී. මැලෝනි (Caroline B. Maloney) මහත්මිය සහ රොබට් ඇඩර්හොෆ් (Robert Aderholf) මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වී සුහද පිළිසඳරක නිරත විය.

අනතුරුව එදින පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා හමු වී සාකච්ඡාවක  නිරත වූයේ ය.

නිව්යෝර්ක්හි ශ‍්‍රී ලංකා දූත මණ්ඩලයට හෝ ශ‍්‍රී ලංකා රජයට දැනුම් දීමක් නොකර දරුස්මාන් වාර්තාව මානව අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය වෙත යවා තිබීම පිළිබඳ ව ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මහ ලේකම්වරයා පිළිබඳ අවධානය යොමු කළේය. රාජ්‍ය සබඳතා චාරිත‍්‍ර විධි කඩ කර තිබීම පිළිබඳවත්, නිසි ක‍්‍රියාමාර්ග හා කාර්ය පරිපාටි අනුගමනය කර නොතිබීම සම්බන්ධයෙනුත් නොසතුට පළ කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වාසනීයත්වය කෙරෙහි බලපෑමක් සිදු වන බව ද එහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී මහ ලේකම්වරයාගේ කණ්ඩායම සන්නිවේදනයේ යම් අඩුපාඩුවක් සිදු වී ඇති බව පිළිගත් අතර, වඩා හොඳ ප‍්‍රගතියක් කරා යාමටත්, අවශ්‍ය ප‍්‍රතිසන්ධාන කටයුතු කරමින් ඉදිරියට ගමන් කළ යුතු බවටත් දෙපාර්ශවය විසින් මෙහිදී එකඟත්වයකට එළැඹිනි.

මෙම සංචාරය සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පරිසර අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා, පා.ම. සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරුන් ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

HC/NP-PMU