Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති විද්‍යුත් සංචරණ අනුමැතිය ගැන ජනපති දැනුවත් කෙරේ

විද්‍යුත් සංචරණ අනුමැතිය ගැන ජනපති දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
mahinda

කෙටිකාලීන අවශ්‍යතාවන් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා ශ‍්‍රී ලංකාව හරහා ගමන් කරන විදේශීය ජාතිකයන් උදෙසා අන්තර්ජාලය ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබා දීමේ නව ක‍්‍රමවේදයක් වන ”විද්‍යුත් සංචරණ අනුමැතිය” (Electronic Travel Authorization - ETA) ලබා දීමේ ක‍්‍රමවේදය අද (29) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත හඳුන්වා දෙනු ලැබීය.

ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා විසින් අදාළ නව ක‍්‍රමවේදය පිළිබඳ ව මෙහි දී ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.

මෙම ක‍්‍රමවේදය මඟින් මෙරටට පැමිණෙන සංචාරකයින් පිළිබඳවත්, ඔවුන් ශ‍්‍රී ලංකාව තුළ සංචාරය කරන ස්ථාන පිළිබඳවත් සියලු තොරතුරු රැස් කර ගැනීමේ හැකියාව පවතී.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා, මේ වන විට වීසා අනුමැතියකින් තොර ව නොයෙකුත් ක‍්‍රමවලින් මෙරටට පැමිණ රැකියාවල නිරත වන මෙන් ම ව්‍යාපාර කටයුතුවල ද යෙදෙන විදේශිකයන් පිළිබඳ ව ද විශාල වශයෙන් තොරතුරු දැන ගන්නට ලැබී ඇති බැවින් ඒ පිළිබඳ ව අවධානයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේ ය.

නව ක‍්‍රමවේදයේ විශේෂතා පිළිබඳ ව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

සංචාරක කටයුතු, වෛද්‍ය ප‍්‍රතිකාර, ක‍්‍රීඩා තරග නැරඹීම, සංස්කෘතික සංදර්ශන නැරඹීම, ව්‍යාපාරික සමුළු හා සාකච්ඡා, පුහුණු වැඩසටහන් සහ සම්මන්ත‍්‍රණවලට සහභාගී වීම වැනි කෙටිකාලීන අවශ්‍යතා සඳහා පැමිණෙන ඕනෑ ම විදේශීය ජාතිකයෙකුට නියමිත ගාස්තු ගෙවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති www.eta.gov.lk යන අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ විද්‍යුත් සංචරණ අනුමැතිය ඉල්ලුම් කළ හැකිය.

ඒ අනුව දැනට රටවල් 78ක ජාතීන් උදෙසා ක‍්‍රියාත්මක වන කෙටිකාලීන වීසා ලබා දීමේ ක‍්‍රමවේදය වඩාත් කාර්යක්‍ෂම හා ඵලදායී වේ.

මේ පිළිබඳ මූලික තොරතුරු ජාත්‍යන්තර භාෂා 09කින් ලබා ගත හැකිය. අයදුම් පත‍්‍රය යොමු කළ යුත්තේ ඉංග‍්‍රීසි භාෂාවන් පමණකි. අයදුම් පත‍්‍රය යොමු කිරීමට ක‍්‍රමවේදයන් 06ක් හඳුන්වා දී ඇත. අයදුම්කරු විසින්, අයදුම්කරු වෙනුවෙන් තෙවන පාර්ශ්වයක් මඟින්, ලියාපදිංචි කර ඇති නියෝජිත ආයතනයක් මඟින්, ශ‍්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාලයක් මඟින් හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය මඟින් හෝ ඉහත ක‍්‍රමවේදයන් මඟින් පූර්ව අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී පැමිණි විදේශිකයෙකුට එම අය ගොඩ බසින ලද ශ‍්‍රී ලංකාවේ තොටුපොළේ ස්ථාපිත කර ඇති කවුළුවකින් හෝ අයදුම්පතක් ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා පූර්ව අනුමැතිය ලබා ගත හැකි බව ද මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරුන් ද, ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Hc