Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන රජය අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.12.08

අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.12.08

  • පී.ඩී.එෆ් (PDF)
Cabinet_press

අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.12.08


යුක්රේනය සමඟ ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කෙරේ.

* යුක්රේනය සහ ශ්‍රී ලංකාව අතර 2010/2011 ශීත සෘතුවේදී ගුවන් සේවා ඇරඹීමට හැකිවන පරිදි ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

* මෙම ගිවිසුම ප්‍රකාරව දෙපාර්ශවය විසින් ශීත සෘතුවේ (Winter) දෙරට අතර සතියකට නිශ්චිත මාර්ග ඔස්සේ ගුවන් ගමන් හත බැගින් පවත්වනු ලැබේ.
* වරාය හා ගුවන් සේවා අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා කළ යෝජනාවක් අනුව මෙය 2011 ග්‍රීස්ම සෘතු (Summer) කාලයේදී සතියකට ගුවන් ගමන් වාර 14 දක්වා වැඩිකිරීමටද සලකා බලනු ලැබේ.

ශ්‍රවණ හා කථන අය සඳහා ජාතික මධ්‍යස්ථානයක් කොළඹදී

* ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රවණ හා කථන  දුබලතා ඇති පුද්ගලයන් වෙත ප්‍රතිකාර කිරීමේ පූර්ණ පහසුකම් සහිත ජාතික මධ්‍යස්ථානයක් කොළඹ නාරාහේන්පිට පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
* මේ සඳහා පූර්ණ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් රජය‍ වෙත ප්‍රදානය කිරීමට ඩ‍යලොග් ඇක්සිආටා පීඑල්සී ආයතනය කැමැත්ත පළ කර සිටියි.
* ඒ අනුව එම ආයතනයේ රුපියල් මිලියන 120 ක මූල්‍ය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නාරාහේන්පිට ඉඩමක තෙමහල් ‍ගොඩනැගිල්ලක් ඉදි කෙරේ.
* මෙහි බිම් මහල ජාතික පිළිකා වැළකීමේ සහ කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය සඳහා වෙන් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවක් මත මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

මත්තල යෝජිත අන්තර්ජාතික ගුවන් තොටුප‍ළේදී ගුවන් යානාවලට ඉන්ධන සැපයීමේ පහසුකම්

* මත්තල ඉදි කරනු ලබන නව දක්ෂිණ ගුවන් තොටුපොළේදී ගුවන් යානාවලට ඉන්ධන සැපයීමේ අංගනයක් නිර්මාණ සැලසුම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
* විදුලිබල අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ යෝජනාවක් මෙම පහසුකම් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිපාදන යොදා ඉදි කෙරෙන අතර එහි ඉදි කිරීම් කටයුතු දැනට ගුවන් තොටුපොළේ ඉදිකිරීම් කටයුතුවල නිරත ආයතනය වෙතම පැවරේ.

ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතා නව වන සැසියේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමක්

* ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමේ නව වන සැසිය සැප්තැම්බරයේදී කොළඹදී සාර්ථකව නිමවිය.
* ඉරානය, ශ්‍රී ලංකාවේ හය වන ප්‍රධාන වෙළඳ පාර්ශවකරුවකු වන අතර දෙරට අතර 2009 වසරේ පැවති වෙළඳ ගණුදෙනුවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 992 කි.
* ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයනය වන තේ සඳහා වාර්ෂික පදනම මත ප්‍රමුඛතා තීරු බදු සහන සලාකයක් හදුන්වා දීමට ඉරානය එකඟ වී ඇත.
* මෙම බදු සහන යටතේම ශ්‍රී ලංකා තේ ඇසුරුම් කිරීමේ ව්‍යාපෘති ඉරාන නිදහස් වෙළද කලාපයේ ආරම්භ කිරීමටත් ශ්‍රී ලංකා සමාගම විසින් තනිව හෝ ඒකාබද්ධ ආයෝජන ලෙස ඇරඹීමට ඉරානය කැමැත්ත පළ කර ඇත.
* කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතාගේ යෝජනාවක් මත, ඉරාන - ශ්‍රී ලංකා නව වන ආර්ථික සහයෝගිතා සාකච්ඡාව මත සාමූහිකව එකඟ වූ විෂයන් ආවරණය කරමින් දෙරට අතර වෙළඳ කටයුතු සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය ලැබිණි.

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සඳහා ස්වාභාවික ගෑස් හදුන්වා දෙයි.

* ලොව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා ස්වාභාවික වායුව ප්‍රවාහන හා විදුලිබල උත්පාදනය සඳහා භාවිතා කළ හැකි බව හදුනාගෙන තිබේ. මෙය විවිධාකාර රසායනික ද්‍රව්‍ය සඳහා අමුද්‍රව්‍ය වශයෙන්ද භාවිතා කෙරේ.
* ස්වාභාවික වායු ශ්‍රී ලංකාවට හදුන්වා දීමෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය, බලශක්ති ක්ෂේත්‍රය ,පොහොර සහනාධාර වැඩසටහන් හා ගෘහ හා කර්මාන්ත ක්ෂේත්‍රවලට ප්‍රතිලාභ ඇතිවනු ඇතැයි අධ්‍යයනය කර තිබේ.
* එහෙයින් ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි වන පරිදි ස්වාභාවික වායු දීර්ඝ කාලීන පදනම මත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳව සොයා බැලීම සදහා ඉහළ පෙළේ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
* විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හා ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක කිරීමෙන් විදුලිබල , පොහොර සහනාධාර , ප්‍රවාහන ගෘහ හා කර්මාන්ත ක්ෂේත්‍රවලින් ඇ.ඩොලර් මිලියන 572 ක් පමණ වාර්ෂිකව ඉතිරි කර ගත හැකි වේ යැයි ඇස්තමේන්තු ගත කොට තිබේ.

වී අලෙවි මණ්ඩලයේ වී මෙ.ටොන් 70,000 ක් සහල් කර වෙළදපො‍ළට නිකුත් කෙරේ.

* වී අලෙවි මණ්ඩලය මගින් 2009/2010 මහ කන්නයේදී මිලට ගත් වී මෙ.ටොන් 70,000 ක් සහල් කර වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරන ලදී.
* සමූපකාර හා අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවක් මත මෙම සහල් ලක් සතොස සිල්ලර වෙළඳසැල් සහ දිවයින පුරා පිහිටි සමූපකාර ශාඛා වෙත නිකුත් කෙරේ.

වවුනියාව දිසා මහ රෝහලට ඇඳන් 200 ක් සහිත නව වාට්ටු සංකීර්ණයක්

* වවුනියාව දිසා මහ රෝහල මගින් ප්‍රදේශයේ දෙලක්ෂයක් පමණ ජනතාවට මෙන්ම අභ්‍යන්තරව අවතැන් වී එම දිස්ත්‍රික්කයේ වෙසෙන ලක්ෂයක් පමණ ජනතාවටද සෞඛ්‍ය සේවා සපයයි.
* මුලතිව් , මන්නාරම හා කිළිනොච්චි දිස්ත්‍රික් ජනතාවටද මෙම රෝහල මගින් සෙත සැලසෙන බැවින් මෙහි සේවා තත්ත්වය වැඩිදියුණු කරනු වස් ඇඳන් 200 ක් සහිත වාට්ටු අටක් ස්ථාපනය කිරීම සඳහා වවුනියාව මහ රෝහල සඳහා තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කෙරේ.
* සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන  මහතාගේ යෝජනාවක් මත ක්‍රියාත්මක මෙහි මුළු වියදම වන රුපියල් මිලියන 209 ක් ඉන්දියානු රජය මගින් ලබා දීමට නියමිතය.

මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය

* පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එල්.එම්.අතාවුල්ලා මහතාගේ යෝජනාවක් අනුව ඉහත ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඇ.ඩොලර් මිලියන 116.63 ක ණය ආධාරයක් ලැබී තිබේ.
* මලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් නාගරික පරිසරය හා මහ ‍කොළඹ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි.
* ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය සඳහා චීනයෙන් ඇ.ඩොලර් මිලියන 259.8 ක ණය ආධාර

* මෙම ණය පහසුකම් චීනයේ අපනයන හා ආනයන බැංකුව මගින් සැපයේ. එමගින් පහත සඳහන් මාර්ග සංවර්ධනය කරනු ලැබේ.

* නාවට්කුලි - කරයිතිවු මන්නාරම (A 032) මාර්ග‍යේ කි.මීටර 67 ක් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම.
* පුත්තලම මාරිචිකඩේ මන්නාරම (B 379 හා බී 403) මාර්ගයේ කි.මී. 113 ක
* දක්ෂිණ සංවර්ධන අධිවේගී මාර්ගයේ පින්නදු - කෝදාගොඩ කි.මී. 15 කෝදාගොඩ - ගොඩගම දක්වා කි.මී. 15 ක්
* ගාලු වරායේ පිවිසුම් මාර්ග

මේ සඳහා චීනයේ EXIM බැංකුව සමග අවබෝධතා ගිවිසුම් හතරකට එළඹීමට අවසර ලැබිණි.

මෙයට අමතරව

* ප්‍රමුඛත්වයෙහි ලා සැලකෙන මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම සඳහා චීන සංවර්ධන බැංකු සමාගම වෙතින් ඇ.ඩො.මිලියන 500 ක ණය පහසුකම් ලබා ගැනීමටද තීරණය විය.
* මෙම ණය ආධාර යටතේ 2010 වසර සඳහා ඇ.ඩොලර් මිලියන 158.2 ක් මාර්ග පුනරුත්ථාපනය සඳහා ලබා ගැනීමට හැකිවන පරිදි අදාළ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතයි.
* ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් දිවයින පුරා මාර්ග කි.මීටර 1,174 ක දුර ප්‍රමාණයක් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කෙරේ.

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කෙරේ.

* රටේ සියළුම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ හා සහන සැලසීම පිළිබඳ සොයා බලා අවශ්‍යම පියවර නිර්දේශ කිරීම සඳහා ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කළේය.

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්