අමාත්‍ය මණ්ඩල තීරණ - 2010.12.15

ශ්‍රී ලංකාවේ ජාතික ආපදා අවස්ථා පිළිබඳ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ප්‍රවර්ධනය කෙරේ

* යුරෝ මිලියන 6.5 ක වියදමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.


* දිස්ත්‍රික්ක දහයක් ආවරණය වන පරිදි ස්ථාපිත මෙහි
o ගුවන් විදුලි පණිවිඩ ජාල
o පූර්ව අනතුරු ඇඟවීම් (සුනාමි වැනි) සංඥා කිරීමේ කුළුණු 50 ක්
o ඇමතුම් මධ්‍යස්ථාන 50 ක් පිහිටුවා ඇත.
* ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත්වල ද ආපදාවලින් බේරා ගැනීමේ හැකියා සහ ආපදා පිළිබඳ පූර්ව අනතුරු පණිවිඩ සන්නිවේදනය කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අවශ්‍යතාවයද පැන නැගී තිබේ.
* මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙයට පෙර ලබාදී තිබු අතර ඒ මගින් පළමු අදියර ක්‍රියාව‍ට නංවා තිබේ.
* දෙවන අදියර ක්‍රියාත්මක වීමත් සමඟ දිවයින පුරා පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු 100 ක් සහ අංග සම්පූර්ණ ගිනි නිවන මධ්‍යස්ථාන 26 කින් සමන්විත හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ ජාලයක් ඇති කරනු ලැබේ.
* මේ සඳහා නෙදර්ලන්තයේ ආයතනයක් විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව පිළිගැනීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.


කියෝතෝ සන්ධානයේ අනුවර්තනීය අරමුදලේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ආයතනයක්

* දේශගුණික විපර්යාසය පිළිබද එක්සත් ජාතින්ගේ රාමුගත සම්මුතිය සහ එහි කියෝතෝ සන්ධානය, දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම පිණිස ගෝලීය ප්‍රජාව විසින් සාමුහිකව සම්මත කරගෙන ඇති ප්‍රධාන ජාත්‍යන්තර සම්මුතීන් වේ.
* නියඟය , ගංවතුර , කෘෂිකාර්මික ඵලදායිතාව අහිමිවීම , ධාරානිපාත වර්ෂා , මුහුදු මට්ටම ඉහළ යාම ආදී ශ්‍රී ලංකාවට බලපාන දේශගුණික විපර්යාස වශයෙන් සැලකිය හැක.
* කියෝතෝ සන්ධානයේ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකාව ඇතුළු දියුණුවන රටවලට එහි අනුවර්තනීය අරමුදල වෙතින් සෘජුව මූල්‍ය ආධාර ලබා ගත හැකිය.
* පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ යෝජනාවක් අනුව මෙම අනුවර්තනීය අරමුදලේ ජාතික ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය නම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

ආබාධිත රණවිරුවන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වත්තල හැඳලදී

* ආබාධිත රණවිරුවන් සඳහා රාගම පිහිටි රණවිරු මධ්‍යස්ථානය විශාල රණවිරුවන් සංඛ්‍යාවකට පහසුකම් සැලසීමට ප්‍රමාණවත් නොවන බව හදුනාගන්නා ලදී. හැඳල හේකිත්ත පාරේ පිහිටි රජයේ රෝහලේ පහසුකම් වැඩිදියුණු කර සංවර්ධනය කිරීමෙන් මෙම අඩුපාඩු මගහැරවීමට රජය තීරණය කර ඇත.
* එහෙයින් ආබාධිත රණවිරුවන් හට තිබෙන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් හැඳල හේකිත්ත පාරේ පිහිටි ර‍ජයේ රෝහල් පරිශ්‍රය සහ එහි ඉඩම රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට හැකිවන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත පැවරීමට තිරණය කළේය.
* ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති මහින්ද ර‍ාජපක්ෂ මැතිතුමා විසින් කරන ලද මෙම යෝජනාව අනුව මෙම රෝහලේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 30 ක මුදලක්ද වෙන් කෙරේ.

ශ්‍රී ලංකාවේ රූපවාහිනි විකාශන සඳහා ඩිජිටල් තාක්ෂණය හදුන්වා දෙයි

* තාක්ෂණ දියුණුවේ ලෝක ප්‍රවණතා අනුව ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාව තුළ ගුවන් විදුලි විකාශය ඩිජිටල් තාක්ෂණයට හැරවීමට යෝජනා කර තිබේ. මේ සඳහා DVB-T2 තාක්ෂණය යොදා ගැනීම ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම් ඩබ්.බී.ගනේගල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික විද්‍යුත් සහ විදුලි සං‍දේශ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව විසින් නිර්දේශ කර ඇත.
* මෙමගින් තනි සංඛ්‍යාතයක් (Frequency) හරහා ‍බොහෝ නාලිකා විකාශය කිරීමේ හැකියාවක් ඇතිවන අතර මෙය තුළින් රූපවාහිනී විකාශය සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන සංඛ්‍යා ධාරිතාවය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත. රූපවාහිනී විකාශන අවස්ථා තවතවත් පුළුල් කිරීමට තිබෙන තාක්ෂණික බාධකද මෙමගින් ඉවත් කර ගත හැක.
* ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ යෝජනාවක් මත ලොව බොහෝ රටවල සහ ආසියානු කලාපයේ රටවල මෙන් ශ්‍රී ලංකාවේද රූපවාහිනි සම්ප්‍රේෂණ තාක්ෂණය සඳහා අංකන හෙවත් ඩිජිටල් තාක්ෂණය හදුන්වා දී එය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
* 2011 – 2017 කාලය තුළ මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය.

කොළඹ පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතියේ කඩුවෙල - කඩවත දක්වා කොටස සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනේ.

* කොළඹ පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතියේ කි.මී.8.9 දුරක කඩුවෙල සිට කඩවත දක්වා උතුරු දිග කොටස - 1 ව්‍යාපෘතිය ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මකයි.
* මෙම වටරවුමේ මහාමාර්ග කොළඹින් ආරම්භ කර මහරගම , කඩුවෙල , බියගම, මහර සහ වත්තල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හරහා ගමන් කර කෙරවළපිටියෙන් අවසන් වේ. කොළඹ - කටුනායක , කොළඹ - මහනුවර සහ දකුණු අධිවේගී මාර්ගය යා කරන මෙහි සමස්ත දුර ප්‍රමාණය කි.මී.29.1 කි.
* ඒ අනුව ඒ සඳහා මිළ ගණන් ඉදිරිපත් කර ඇති ජපානයේ තායිසෙයි කෝපරේෂන් සමග ඉහත කොන්ත්‍රාත්තුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට වරාය හා මහාමාර්ග අමාත්‍යතුමන්ගේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නාවික මගී ප්‍රවාහන සේවාවක් පිහිටුවීම සඳහා  අවබෝධතා ගිවිසුමක්

* ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරිකයන්, සංචාරකයන් , වන්දනාකරුවන් සහ අධ්‍යාපන කටයුතු සඳහා ගමන් කරන්නන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් ඔවුන්ගේ පහසුව උදෙසා මෙම නාවික මගී ප්‍රවාහන සේවය ආරම්භ කිරීමට යෝජිතය.
* මෙම මගී ප්‍රවාහන සේවාව ප්‍රථමයෙන්
o තලෛමන්නාරම සහ රාමේෂ්වරම් අතර
o ටියුටිකෝර්න් සහ කොළඹ වරාය අතර ද පවත්වනු ලබන අතර ඉදිරියේදී දෙපාර්ශවයේ එකගත්වය මත දෙරටේ අනෙකුත් වරායන් අතරද ආරම්භ කිරීමට යෝජිතය.
* වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කරන ලද යෝජනාවක් අනුව මෙම නාවික මගී ප්‍රවාහන සේවාව පවත්වාගෙන යාම සඳහා දැනටමත් කෙටුම්පත් කර ඇති දෙරට අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.


කලාකරුවන්ගේ නිර්මාණ සදහා මුල්‍යමය ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කරයි
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල සහ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිසාඩ් බදියුදීන් යන මැතිතුමන් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ කලාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස නව රෙගුලාසිය පිළිගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි.

විද්‍යුත් මාධ්යය මගින් විකාශය කරනු ලබන ගීත නිර්මාණ සදහා පද රචනය, සංගීතය හා ගායනය සදහා දායක වූ නිර්මාණකරුවන්ට  එකී ගීතයන් විකාශය කරනු ලබන සෑම අවස්ථාවකදී මූල්‍යමය ප්‍රතිලාභ ලබාදීමට යෝජනා කර තිබේ.

ඒ අනුව
1 (අ) ගුවන් විදුලියේ විකාශය වන ගීතයක් සම්බන්ධයෙන් එක් විකාශන වාරයක් සදහා
(i)    පද හෝ එහි සැලකිය යුතු කොටසක් සදහා            -    රු. 3.00ක්
(ii)    සංගීතමය කෘතියක් හෝ එහි සැලකිය යුතු කොටසක් සදහා    -    රු. 3.00ක්
(iii)    ගායනයක් හෝ එහි සැලකිය යුතු කොටසක් සදහා        -    රු. 3.00ක්
(ආ) ගුවන් විදුලියෙන් විකාශය වන සංගීතමය කෘතියක් හෝ එහි සැලකිය යුතු
කොටසක් එක් විකාශන වාරයක් සදහා                        -    රු. 3.00ක්

2(ආ) රූපවාහිනියේ විකාශනය වන ගීතයක් සම්බන්ධයෙන් එක් විකාශනයක් සදහා
(i)    පද හෝ එහි සැලකිය යුතු කොටසක් සදහා            -    රු. 10.00ක්
(ii)    සංගීතමය කෘතියක් හෝ එහි සැලකිය යුතු කොටසක් සදහා    -    රු. 10.00ක්
(iii)    ගායනයක් හෝ එහි සැලකිය යුතු කොටසක් සදහා        -    රු. 10.00ක්
(ආ) පද ආශ්රිත නොවූ සංගීතමය කෘතියක් හෝ එහි සැලකිය යුතු
කොටසක් එක් විකාශන වාරයක් සදහා                    -    රු. 10.00ක්

3(1)     ගීතයක් රූප රචනය කර එහි රූපවාහිනියෙන් වරක් විකාශනය වන අවස්ථාවක එම රූප රචනයේ නිෂ්පාදකයාට -    රු. 10.00ක්
2) පද ආශ්රිත නොවූ සංගීත කෘතියක් හෝ එහි සැලකිය යුතු  කොටසක් රූපවාහිනියෙන් වරක් විකාශනය වන අවස්ථාවක  එම රූප රචනයේ නිෂ්පාදකයාට            -    රු. 10.00ක්


මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්