අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.01.12

1/12  උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයක් ස්ථාපිත කෙරේ.

§ ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම මගින් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස පිළිගෙන ඇත.

§ මෙම ආයතනය මගින් වසරකට ශිෂ්‍යයන් 10,000 ක් පමණ පුහුණු කරනු ලබයි.

§ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙහි පවත්නා සීමාවන් හේතු කොට ගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගත නොහැකි සිසුන් හට පහසුකම් පුළුල් කරනුවස් එන්.අයි.බී.එම් ආයතනය යටතේ ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයක් නමින් නව ආයතනයක් ආරම්භ කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණ.

§ මෙම ආයතනයට උපාධි සහ වෙනත් උසස් අධ්‍යාපනික සහතික පිරිනැමීමේ බලතලද හිමි වේ.

§ යෞවන කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ යෝජනාවකට අනුව මෙම ආයතනය සදහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් හෝමාගම, පිටිපන ප්‍රදේශයෙන් අක්කර 50 ක ඉඩමක් පවරා දෙනු ලැබේ.

§ ජාතික මට්ටමේ අංග සම්පූර්ණ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට අපේක්ෂිත මෙම ස්වයං - මුල්‍ය ආයතනය වෙත ප්‍රාග්ධනය ගොඩනැගීම සදහා දේශිය හා විදේශීය බැංකුවලින් රුපියල් බිලියන 3.5 ක පහසු ණයක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

 

2/15  2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීම සදහා තවදුරටත් කටයුතු කිරීමට තීරණය කරයි.

§ 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම සදහා අයදුම්කර ඇත.

§ මේ සදහා අවශ්‍ය අභිලාෂය (ඊඕඅයි) පළ කිරීමේ ප්‍රකාශයක් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

§ හම්බන්තොට නගරය මේ සදහා තෝරා ගැනීමට යෝජිත අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ යෝජනාවක් මත මෙහි මූලික සංවිධාන කටයුතු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණ.

 

3/16  ලාහුගල නීලගිරි මහ සෑය සංරක්ෂණයට පියවර

§ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වන රක්ෂිතය තුළ පිහිටි මෙම සෑය නැගෙනහිර පළාතේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම චෛත්‍ය ලෙස හදුනාගෙන ඇත.

§ පසුගිය වසර 30 ක කාලයක් මුළුල්ලේ පැවති ත්‍රස්ත තර්ජනය හේතුවෙන් කිසිදු සංරක්ෂණයක් මෙහි සිදුකිරීමට නොහැකි විය.

§ එහෙයින් ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසූරිය මහතාගේ යෝජනාවක් අනුව නීලගිරි මහ සෑය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇරඹීම සදහා අනුමැතිය ලබා දෙන ලදී.

 

4/20  හම්බන්තොට සහ නුවරඑළිය දිසා මහ රෝහල් යූරෝ මිලියන 86.49 ක නෙදර්ලන්ත ආධාර යටතේ සංවර්ධනය‍ කෙරේ.

§ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සංවර්ධන කටයුතු පිණිස සහනදායි ණය පදනම යටතේ අධාර සැපයීමට නෙදර්ලන්ත රජය කැමැත්ත ප්‍රකාශ කර ඇත.

§ ඒ අනුව නෙදර්ලන්තයේ රබෝ බැංකුව හරහා හම්බන්තොට හා නුවරඑළිය දිසා මහ රෝහල් දෙක දියුණු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණ.

§ මෙම‍ රෝහල් දෙකට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු වෛද්‍ය උපකරණ සැපයීම නෙදර්ලන්තයේ සේවා සැපයුම්කරු වන එන්රග් නෝනියස් සමාගම වෙත පැවරීමට තීරණය කරන ලදී.

 

5/30  ලිබියානු රජය සමග අවබෝධතා ගිවිසුම් 03 ක් අත්සන් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබේ.

§ ශ්‍රී ලංකාව ලිබියාවේ විශාල වෙළද සහකරු වන අතර ලිබියාවට අවශ්‍ය තේ වලින් 90 % ක් පමණ ආනයන කරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙනි.

§ නොබැදි ජාතින්ගේ පුරෝගාමී රට වශයෙන් ශ්‍රී ලංකාව සහ ලිබියානු රජය අතර ඉතා සුහද මිත්‍රත්වයක් පවතින අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය අධාර පැකේජයක් ලබා දීමට ලිබියානු රජය එකග වී ඇත.

§ ජනාධිපතිතුමා ලිබියාවේ සංචාරය කළ අවස්ථාවේදී එකග වූ මෙම ණය පහසුකම් යටතේ. උතුරු නැගෙනහිර සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, සන්නිවේදන හා සංචාරක ‍කේෂ්ත්‍රයේ සංවර්ධනය සදහා අධාර ලබා ගැනීම පිණිස ලිබියානු රජය සමග 2009 දී අත්සන් තබන ලද​ අවබෝධතා ගිවිසුම් 03 කට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණ.

 

6/32  කොළඹ නග‍රයේ අලුතෙන් තරු පහේ හෝටලයක් සහ බහුකාර්ය සංකීර්ණයක් ඉදිකිරීමේ ආයෝජන ව්‍යාපෘතියට අනුමැතිය

§ ගාලු මුවදොර යුධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති ෂැන්ග්‍රීලා සංචාරක හෝටල් ව්‍යාපෘති ඉඩමට යාබදව ඇ.ඩො.මි 500 ක ආයෝජනයක තවත් නව ආකර්ෂණීය ආයෝජනයක් සිදු කිරීමට ‍යෝජිතයි.

§ කොළඹ නගරය මධ්‍යම ආදායම් වාණිජ නගරයක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අරමුණයි.

§ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාවක් අනුව චයිනා නැෂනල් ඒරෝ ටෙක්නොලොජි කෝපරේෂන් විසින් හදුනාගත් මෙම ප්‍රදේශයේ තරුපහේ හෝටලයක් හා බහු කාර්යය සංකීර්ණයක් ඇති කිරීමේ අයෝජන යොජනාවලියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදෙන ලදී.

§ ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ යෝජිත මෙම ආයෝජන දෙක මගින් ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක සෘජු ආයෝජනයක් සිදු කරනු ඇත.

 

7/33  දැනට පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය පිළිබද අමාත්‍ය මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරයි.

§ රටේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපාන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ වනවිට පවුල් 254,637 කට අයත් පුද්ගලයන් 954,204 ක් පීඩාවට පත්ව ඇති අතර 18 දෙනෙකු මරුමුවට පත්වී ඇති බවද වාර්තා විය.

§ සම්පූර්ණයෙන් විනාශ වී ඇති නිවාස ගණන 1727 කි.

§ අර්ධ වශයෙන් විනාශ වී ඇති නිවාස ගණන 12152 කි.

§ පුද්ගලයන් 195,000 කට වැඩි ගණනක් කදවුරුවල සිටිති. වැඩිම බලපෑම සිදුව ඇත්තේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලටයි.

§ මෙම ආපදාවට පත්වූවන් වෙත සහන සැලසීම පිණිස ඊයේ වනවිට රුපියල් මිලියන 80 කට වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කර ඇති අතර හදිසි මිලදීගැනීම් සදහා තවත් මිලියන 20 ක් වැයකර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කළේය.

§ මෙම අසාමාන්‍ය කාලගුණික තත්ත්වය නිවර්තන ශාන්තිකර සාගරයේ 2010 අප්‍රේල් සිට පවතින දැඩි ලා-නිනා කාලගුණික තත්ත්වය නිසා ඇති වූවක් යැයි විශ්වාස කෙරේ.

§ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සැපයීම ජනපති නියමයෙන් දැනටමත් ආරම්භකර ඇත.

§ විපතටපත් ජනතාවගේ ජීවනෝපාය, කෘෂිකාර්මික කටයුතු මෙන්ම අදාළ ප්‍රදේශයන්හි විනාශයට පත්ව ඇති වැව් අමුණු පිළිසකර කිරීම ඇතුළුව සියලු යටිතල පහසුකම් යථා තත්වයට පත් කිරීම සදහා අවශ්‍ය සියලු මෙහෙයුම් කාර්යයන් වහා දියත් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන කිසිදු බාධාවකින් තොරව මහා භාණ්ඩාගාරය වෙතින් ලබාදෙන බවට පොරොන්දු විය.

§ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සහ විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැගීම සදහා වහා අවශ්‍ය පියවර ගැනීම පිළිබදව ජනාධිපතිතුමා වෙත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ප්‍රසංශා පළ කළහ.

 

8/26 දැයට කිරුළ 2011ට සමගාමීව මොණරාගල ජල සැපයුම පුළුල් කෙරේ.

§ දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව බුත්තල ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීමට තීරණය කර තිබෙනවා.

§ මොණරාගල දිස්ත්‍රික්කයේ නක්කල - මැදගම , බුත්තල - කතරගම මාර්ගය, බුත්තල - බඩල්කුඹුර මාර්ගය, කුඹුක්කන - ඔක්කම්පිටිය මාර්ගය, බුත්තල - හෙළගම මාර්ගය හා තණමල්විල - උඩවලව මාර්ගයට ජලය සැපයීම සදහා දැනකට ජලය ඝන මීටර් 3700ක් නිපදවීම අපේක්ෂා කෙරේ.

§ ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ යෝජනාවකට අනුව ඉහත ප්‍රදේශයන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළුව බුත්තල ජල සම්පාදන ක්‍රමයේ වැඩි දියුණුව සදහා රු.මිලියන 175ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට තීරණය කළේය.

 

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්