Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන රජය අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.09.07

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.09.07

  • පී.ඩී.එෆ් (PDF)

1./ 07 හක්මන ජල  සැපයුම් ව්‍යාපෘතිය පුළුල් කෙරේ
නාගරික සංවර්ධන අධිකාරිය විසින් හක්මන නගරය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

ජල සම්පාදන හා ජල පවාහන  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකට අනුව රු.මිලියන 383.36 ක වියදමින් හක්මන ජල සැපයුම් ව්‍යාපෘතිය පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

මෙම ව්‍යාපෘතිය මඟින් හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 13 හි ජල සැපයුම් පහසුකම් වැඩි දියුණු කෙරේ.

 

2./ 22 එක්සත් ජාතින් ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමී ව "සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා, තරුණ ප්‍රජාවගේ දායකත්වය" යනුවෙන් නිව් යෝර්ක් නුවරදී තරුණ වැඩ සටහනක්

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාවකට අනුව, මෙම මස නිව් යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 65 වන මහා සමුළුවට සමගාමී ව "සංවර්ධන න්‍යාය පත්‍රයේ, තරුණ පිරිස්" යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

ජගත් ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් 2014 පැවැත්වීමට යෝජිත ලෝක තරුණ සමුළු සංකල්පය හඳුන්වා දීමට අවස්ථාවක් ලබා ගැනීම,

ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව විවිධ ජාතින් දැනුවත් කිරීම සහ

ජගත් තරුණ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථා සැලැස්වීම.

නිව්යෝක් නුවර පැවැත්වීමට සංවිධානය කරනු ලබන මෙම වැඩ සටහනේ ප්‍රධාන අරමුණු වේ.

 

3./ 24 ජෝන් ද සිල්වා සමරු රඟහල සහ ජාතික කලා භවනේ ගොඩනැගිලි පරිශ්‍රය නවීකරණය කෙරේ

සංස්කෘතික අමාත්‍ය ටී.බී ඒකනායක මහතාගේ යෝජනාවකට අනුව ජෝන් ද සිල්වා සමරු රඟහලේ සහ ජාතික කලාභවනේ සංස්කෘතික හා කලා කටයුතු සඳහා එහි පරිශ්‍රය හා පහසුකම් නවීකරණය කර සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

මෙහි පැමිණෙන මහජනතාවට වඩාත් හොඳ පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 322.7 ක් වැය කෙරේ.

 

4./ 35 ත්‍රිපෝෂ වැඩ සටහන සඳහා දේශීය කිරි පිටි මෙ.ටො 187 ක්

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන කිරි පිටි දේශීය නිෂ්පාදිතයන් ගෙන්  මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දෙන ලදි.

මන්ද පෝෂිත දරුවන්, ගර්භණී මාතාවන්, කිරි දෙන මව්වරුන් හට පෝෂ්‍යදායී ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නොමිලේ ලබා දෙන මෙම වැඩසටහන සඳහා 2011 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා අවශ්‍ය වන සම්පුර්ණ යොදය සහිත කිරි පිටි මෙ.ටො 1ක් මිලදී ගැනීම සඳහා රු.මිලියන 100.79ක් වෙන් කෙරේ.

 

5./ 39 ගෝලීය ක්‍රියාකරිත්වය සඳහා වන පාර්ලිමේන්තු කණ්ඩායමේ 33 වන වාර්ෂික සංසඳය ඔක්තෝම්බර් 28-30 කොළඹ දී.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඒකාබද්ධ ව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව ඔක්තෝම්බර් මස 28 සිට 30 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත ගෝලීය  ක්‍රියාකාරිත්වය සඳහා වන පාර්ලිමේන්තු කණ්ඩායමේ 33 වන සැසි වාරයට අදාළ සියලු පාර්ශ්වයන් ගේ සහයෝගය ලබා ගැනීමට තීරණය කරන ලදි.

ගෝලීය ක්‍රියාකාරිත්වය සඳහා වන පාර්ලිමේන්තු කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරන ලද ජාතික ව්‍යවස්ථාදායකයන්ගෙන් සැදුම්ලත් ලොව එක ම ජාත්‍යන්තර සංවිධානයයි.

එහි ජාලයට රටවල් 105ක ආණ්ඩු පක්ෂක හා විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 1350 දෙනෙකු ඇතුළත් ය.


සාමය ඇති කිරීම, සාමය ආරක්ෂා කිරීම, තිරසාර සංවර්ධනය හා ජනගහණය, මානව හිමිකම් සහ නීතියේ අධිපත්‍ය වැනි ජාත්‍යන්තර ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිත්වයන් වේ, එමෙන් ම සාමාජික රටවල ප්‍රජාතාන්ත්‍රික ආයතන ශත්තිමත් කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ව ද මෙම සංවිධානයේ අවධානය යොමුවේ.

 

06 / 40 එල් සැල්වදෝර් ජනරජය සමඟ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කරයි

මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝර් ජනරජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට ඇත.

එල් සැල්වදෝර් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික හා බහු පාර්ශවික වශයෙන් මිත්‍රත්වය හා සහයෝගිතාවය වර්ධනය කිරීම උදෙසා ශ්‍රී ලංකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කර ගැනීමේ අපේක්ෂාව එරට විසින් ශ්‍රී  ලංකාව වෙත මෑතදී දැනුම් දී තිබිණි.

දෙරට අතර පසුගිය පස්වසරක කාලය තුළ වෙළෙඳ කටයුතුවල වර්ධනයක් ඇති වී තිබෙන අතර  ‍වෙළෙඳ ශේෂය ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් පවතී. ශ්‍රී ලංකාවෙන් දැනට අපනයනය කරනු ලබන කුළුබඩු එළවළු ටයර් සහ රබර් නිෂ්පාදනයන්හි වර්ධනයක් ඇති කිරීමට මෙමඟින් අවස්ථාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟාමී අක්තගැන්වීම මත එල් සැල්වදෝර් ජනරජය සඳහා ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබේ.