Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන රජය අමාත්‍ය මණ්ඩල තීරණ - 2011/09/15

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011/09/15

  • පී.ඩී.එෆ් (PDF)
cabinet_decisions_100_40

2011/09/14 දින පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී එළැඹී තීරණ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී වැඩබලන ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලද තීරණ මෙසේ ය.

තෝරාගත් රෝහල් 16ක් සඳහා කිලෝ වෝල්ට් ඇම්පියර් 1000/500  විදුලි ජනන යන්ත්‍ර ස්ථාපනය කෙරේ

·        සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ යෝජනාවක් අනුව තෝරාගත් රෝහල් 16ක් සඳහා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩ ව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ඔස්ට්‍රියන් ආධාර යටතේ කිලෝ වෝල්ට් ඇම්පියර් 1000/500 විදුලි ජනන යන්ත්‍ර ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

·        මේ යටතේ උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, මහරගම ජාතික පිළිකා රෝහල, කරවනැල්ල මුලික රෝහල, කළුතර දිස්ත්‍රික් රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් රෝහල, තංගල්ල මුලික රෝහල, රත්නපුර මහ රෝහල, ඇඹිලිපිටිය මුලික රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, මොණරාගල දිස්ත්‍රික් රෝහල, පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල හා අනුරාධපුර ශික්ෂණ රෝහල් සඳහා මෙසේ විදුලි ජනන යන්ත්‍ර ලබා දීමට නියමිතය.

·        මෙම ව්‍යාපෘතිය සඳහා ඔස්ට්‍රියානු රජය සමඟ ණය ගිවිසුමකට එළැඹීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

මහ කොළඹ ප්‍රදේශයේ සනීපාරක්ෂක පහසුකම් නංවාලීම සඳහා  කඩිනම් වැඩපිළිවෙළක්

·        ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කළ යෝජනාවකට අනුව මහ කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස සඳහා මළ පවාහන නල සම්බන්ධතා පහසුකම් වැඩි කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.‍

·        ඒ අනුව දෙහිවල, රත්මලාන, මොරටුව, කොළොන්නාව, ජා ඇල සහ ඒකල යන ප්‍රදේශයන් හි වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 15,407කට පමණ සෙත සැලසීමට එම නිවාස සඳහා මළ පවාහන  සම්බන්ධතා ලබා දීමට මෙමඟින් යෝජනා කෙරේ.

·        මේ ව්‍යාපෘතියට ඇ.ඩො.මි 9.96ක් (රු.මි. 1096ක්) වැය වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ සඳහා රු.මිලියන 584.20කට සමාන මුදලක් ලෝක බැංකු ප්‍රදාන යටතේ ලැබෙනු ඇත.

ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් 3දා සැමරේ

·        1986 වසරේ සිට සෑම වසරක ම ඔක්තෝබර් මස පළමු මස සඳුදා දින සමරනු ලබන ලෝක ජනාවාස දිනය මෙවර ඔක්තෝබර් 03 දින සැමරීමට තීරණය කර ඇත.

·        ඒ අනුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා කළ යෝජනාවට අනුව සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 3 දක්වා ‘ජනාවාස හා දේශගුණික වෙනස්කම්’ යන තේමාව යටතේ ලෝක ජනවාස දිනය සැමරීමට හා ඒ යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

·        ලෝක ජනාවාස දිනය සැමරීමේ මුලික අරමුණ වනුයේ  නිවාස හා ජනාවාස සම්බන්ධයෙන් පවතින්නා වු ගැටලු, විකල්ප විසඳුම් හා ක්‍රියාමාර්ග පිළිබඳ ව ජනාවාස ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන්ගෙන් අවධානයට යොමු කරවීමත් ජාතික මට්ටමේ සංවාදයක් තුළින් ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් කරලීම මෙන් ම ඒවායේ ප්‍රතිලාභ කඩිනමින් රටෙහි ජනතාව වෙත ළඟා කරවීමත් වේ.

මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක්

·        රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මැතිතුමා කළ යෝජනාවක් අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රු.මි. 97.5ක වියදමින් නව තෙමහල් ‍ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීණ.

තැපැල් කාර්යාල ජාල ව්‍යාපෘතිය නිම කිරීම සඳහා රු.මි. 348.8ක්

·        ජනතාවට කාර්යක්ෂම හා විශ්වාසනීය තැපැල් සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 648ක් ජාලගත කිරීමේ ව්‍යාපෘතිය 2008 වසරේ දී ආරම්භ කරන ලදු ව ක්‍රියාත්මක වෙමින් පවතී.

·        තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මැතිතුමා කළ යෝජනාවක් අනුව මෙම ජාල ව්‍යාපෘතිය සඳහා මෙයට පෙර වෙන් කරන ලද රු.මිලියන 300ට අමතර ව මෙම ව්‍යාපෘතිය නිම කිරීමට තවත් රු.මි. 348.8ක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

·        තැපැල් කාර්යාල ජාල පද්ධතිය අවසන් කිරීමෙන් පසු ව එම දෙපාර්තමේන්තුව මඟින් දැනට සිදු කරනු ලබන ‍සේවාවන්ට අමතර ව නියෝජිත සේවාවන් හා නව සේවා රැසක් ද හදුන්වාදීමට අපේක්ෂා කෙරේ.

‘දැයට සෙවණ’ ජාතික රුක් රෝපණ වැඩ සටහන නොවැම්බර් 15 අනුරාධපුරයේ දී

·        පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා කළ යෝජනාවක් අනුව 2011 වර්ෂය සඳහා වන ‘දැයට සෙවණ’ ජාතික රුක් රෝපණ දිනය නොවැම්බර් 15 දින අනුරාධපුර රණවිරු උපහාර ‘සඳහිරු සෑය’ අභියසදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

·        මෙම යෝජිත ජාතික දැවැන්ත රුක් රෝපණ වැඩසටහන මධ්‍යම රජයේ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය ආයතන මෙන් ම පළාත් සභා හා පළාත් පාලන ආයතන හා දිස්ත්‍රික් පරිපාලනයේ ද සහභාගීත්වයෙන් දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

·        රාජ්‍ය අංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ද මෙම වැඩසටහනට ලබා ගැනේ.

කොළඹ අඩු ආදායම් ලාභීන් සඳහා තවත් නිවාස ඒකක 500ක්

·        ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවක් අනුව කොළඹ ප්‍රදේශයේ අඩු පහසුකම් නිවාස ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස 500ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ ‍කොන්ත්‍රාත්තුව සතුට ගොඩනැගිලිකරුවෝ පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

·        අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ ප්‍රකාර ව (මි. 952ක්) රු. 952,621,941.75කට මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කෙරේ.

·        කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 1000ක් ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යට‍තේ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස ඒකක 320ක් ඉදිකර කොම්පඤ්ඤ වීදියෙන් ඉවත්කරන ලද අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස වෙන් කර තිබේ.

ඔක්තෝම්බර් 3 - 9 දක්වා ජාතික සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත් කෙරේ

·        සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ යෝජනාවක් අනුව  ‘මහින්ද චින්තන ඉදිරි දැක්මට’ පෙර දැරි ව ශ්‍රී ලංකාව පුරා නිදහස් සෞඛ්‍ය සේවයක් සැලසීම පිණිස කරන ලද දැවැන්ත ආයෝජන හා සේවා පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජාතික සෞඛ්‍ය සතියක් ඔක්තෝම්බර් 03 සිට 09දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

·        ප්‍රථම වතාවට පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ සුපරිසිදු දවස, දැනුවත් දවස, විපරම් දවස, නිවාරණ දවස, අගයන දවස , සැමරුම් දවස හා වින්දන දවස යනුවෙන් ඒ ඒ දින අනුව අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ ව දැනුවත් කිරීම හා ඇගයීම් කටයුතු දීප ව්‍යාප්ත ව සිදු කරනු ලැබේ.

පිලිපීන - ශ්‍රී ලංකා තානාපති සබඳතාවේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් අලි පැටවෙකු පරිත්‍යාග කෙරේ

·        පිලිපීන රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර 50 වසරක් සම්පුර්ණ වීම නිමිත්තෙන් මැනිලා නගරාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි මැනිලා සත්වෝද්‍යානයට අලි පැ‍ටවෙකු පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.